ගොඩක් අය පිටකවරය බලලා තීරණය කරන්නේ -දිල්රුෆා ශානාස්

 


නිරූපණ ක්ෂේත්‍රයෙන් පස්සේ සිනමා රංගනයට ආ දිල්රුෆා ශානාස් සැබවින්ම සුන්දර යුවතියක්. දිල්රුෆා මුලින්ම රිදී තිරයෙන් දකින්න ලැබුණේ ගිනිමල් පොකුරු චිත්‍රපටයෙන්. ඒ එක්කම ඉදිරියට එන්න තියෙන සිනමා නිර්මාණ දෙකකින්ම දිල්රුෆා ශානාස්ව දැක ගන්න ලැබෙනවා. ඒ නිර්මාණ දෙක ගැන වගේම ඉදිරි කලා නිර්මාණ සහ පෞද්ගලික ජීවිතේ ගැන කළ කෙටි කතාබහයි මේ…


මේ දවස්වල මොකද වෙන්නේ?


මගේ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒවායේ වැඩ එක්ක තමයි ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වෙන්නේ. ඒ එක්කම තව චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවල් තවම භාර ගත්තේ නැහැ. මගේ සැලෝන් එකේ වැඩත් එක්ක ටිකක් කාර්යබහුල

වෙලා ඉන්නවා.



ඔබ ගිනිමල් පොකුරු හරහානේ චිත්‍රපට ක්ෂේත්‍රයට එන්නේ?


ඔව්. චුලක්ෂි කියන්නේ මගේ යාළුවෙක්. ඇය හරහා තමයි මට උදයකාන්ත මහතා හඳුනා ගන්න ලැබෙන්නේ. ගිනිමල් පොකුරු මගේ පළවෙනි සිනමා අත්දැකීම. එහි තිබ්බේ මට මානසික ආබාධ සහිත චරිතයක්. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණේ 69 චිත්‍රපටයට. එකේ මට ලැබුණේ මට වඩා වයසින් වැඩි කෙනෙක්ට ආදරේ කරන චරිතයක්. ජිගලෝ එකේ මට තිබ්බේ තරුණ පෙම්වතියගේ චරිතයක්. මුරලි 800 චිත්‍රපටයෙත් පොඩි කොටසක හිටියා.


සිනමාවෙන් ලැබුණු ඇරයුම් ගැන මොකද හිතෙන්නේ?


මම ආස නිසා තමයි මේ හැමදේම භාර ගත්තේ. මම අකමැති නම් මේ කිසි දෙයක් භාර ගන්නේ නැහැ. මට චිත්‍රපට ක්ෂේත්‍රය ගැන ලොකු අවබෝධයක් නැහැ. මම තවම අලුත් නිසා. නමුත් දැනට ලැබුණු චරිත ගැන මම තෘප්තිමත්.


වැඩි කැමැත්ත රංගනයට ද ව්‍යාපාර පැත්තට ද?


මම මේ ක්ෂේත්‍ර දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න කැමතියි. ලංකාව වගේ රටක එක දෙයක් පමණක් කරලා ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා අපිට හැකියාව තියෙනවා නම් මම හිතන්නේ ඒ දේවල් කරනවා නම් තමයි හොඳ.


දිල්රුෆාව බාහිරින් බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි දඟකාර චරිතයක් විදියට. ඇත්තටම දිල්රුෆා කොහොම චරිතයක් ද?


ගොඩක් අය පිටකවරය බලලා තීරණය කරන්නේ. ඒක තමයි මිනිසුන්ගේ වැරැද්ද. මටත් සාමාන්‍යය මනුස්සයෙක් විදියට කේන්ති යනවා. ඒ වගේම හොඳ ගති ගුණ තියෙනවා. මම කොතැනකදීවත් කියන්නේ නැහැ මම සර්ව සම්පූර්ණයි කියලා. මගේ හොඳ දේවල් සහ නරක දේවල් සමහර අයට පේනවා ඇති. මම ආස මගේ දේවල් කරගෙන පාඩුවේ ඉන්න. ඒකත් එක්ක මම ෆැෂන් කරලා සතුටින් ඉන්නවා.


රංගනයට නිරූපණ කටයුතුවලට සීමාවන් තියෙනවද?


මම සීමාවන් කියලා දකින්නේ ඒ දේ මට දැනෙන සහ මම ආස වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම කරන්නේ නැහැ. මම සාමාන්‍යය ජීවිතේ විවිධ රැකියාවන් කළා. ඒ එකක්වත් මට දැනුණේ නැහැ. ඒ නිසා මම රැකියාවන් කළේ කෙටි කාලයක් විතරයි. මගේ හැමදේකම සිමාවන් පනවා ගන්නේ මමම තමයි.


දිල්රුෆා ශානාස් කියන්නේ මුස්ලිම් කෙනෙක්නේ, කලාවට එද්දී ඔයාගේ පවුලෙන් කැමත්ත ලැබුණද?


මගේ අම්මා ගෘහණියක්. තාත්තා නාවික හමුදාවේ වැඩ කළේ. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. මම පවුලේ වැඩිමලා නිසාත් දෝෂාරෝපණ ආවා මේ ක්ෂේත්‍රයට එද්දී. ඊට අමතරව නෑදෑයින් නම් කවුරුත් කැමති වුණේ නැහැ. මුල් කාලෙදි මගේ ගෙදරින් කැමති වුණේ නැහැ. මම මුලින්ම ආවේ දෙරණ මිස් ශ්‍රී ලංකා පැජන්ට එකෙන්. මම මෙතනට එන්න ලොකු කට්ටක් කෑවා. පස්සේ කාලෙක තේරුම් ගත්තා මොන ක්ෂේත්‍රයට ගියත් වැරදි කරන අය වැරදි කරනවා කියලා. ගොඩක් අයගේ මතයක් තියෙනවා මේ ක්ෂේත්‍රයේ අය වැරදි කරනවා වැඩියි කියලා. එහෙම දෙයක් නැහැ. එකම දේ මේ ක්ෂේත්‍රයේ ඉන්න අයව දන්නවා මිනිස්සු හඳුනනවා. ඒ නිසා ගොඩක් අය මේ ක්ෂේත්‍රයට තරුණ ගැහැනු ළමයෙක් එවන්න කැමති නැහැ. ඒක නෙවෙයි වෙන්න ඕනේ. හැමදේම තේරුම් කරලා දෙන එකයි යුතුකම. ආගම් විදියට ගත්තොත් මම මේ කරන දේ හරි නැහැ. මම ඒ දේ නිවැරදි කරන්න යන්නෙත් නැහැ. ආගම් විදියට හැමෝම බලන්නේ හොඳ දෙයක් සමාජ ගත කරන්න. මම ලංකාවේ ඉපදිලා ලංකාවේ පරිසරය එක්ක හැදුනු වැඩුණු කෙනෙක්. මම හැම ආගමකටම ගරු කරනවා. මම ස්වාධීනව හිතන්න සහ ජීවත් වෙන්න කැමති කෙනෙක්.


ආදරේ දකින්නේ කොහොමද?


ඇත්තටම හරි ආදරයක් ලැබෙන්න ගැහැනියක් හෝ පිරිමියෙක් ලොකු පිනක් කරලා තියෙන්න ඕනේ. ගොඩක් මිනිසුන් ගොඩක් තැන්වලදී රැවටෙන්නේ නැහැ. එහෙම රැවටෙන්නේ නැති මිනිස්සු පවා ආදරේ කියන තැනදී ගොඩක් වෙලාවට රැවටෙනවා. මම හිතන්නේ අපි අවංකව ඉඳලා අපිව රැවට්ටුවොත් ඒක කවදා හරි රවට්ටන පුද්ගලයාට තියෙයි. ආදරේදි මමත් රැවටීම් වලට හසුවෙලා තියෙනවා. මගේ ජීවිතේ ඒ අයට කරපු වැරදි අතපසුවීම් තියෙනවා. ඒවත් එක්ක මම හිතන්නේ ආදරේ කියන්නේ හැමෝටම ලැබෙන්න ඕනේ දෙයක්. ඒ එක්කම ආදරේ ලබන්න වාසනාවත් තියෙන්න ඕනේ.


විවාහයක් ගැන හිතලා එහෙම නැද්ද?


විවාහ වෙයිද නැද්ද කියන්නත් බැහැ. විවාහ වෙන්නම ඕනේ කියලා හිතෙන්නෙත් නැහැ. හිත කියන්නේ නිතර වෙනස් වෙන දෙයක් නිසා සමහර වෙලාවට විවාහ වෙන්නත් පුළුවන්. ඒ ගැන දැන්ම හරියට මුකුත් කියන්න බැහැ. කාලයට භාරයි.


දිල්රුෆාට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති?


ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ මගේ අලුත් නිර්මාණ දෙක තිරගත වෙද්දී ඇවිත් බලන්න. මම ආසයි මගේ අඩුපාඩු හදාගන්න. මගේ අඩුපාඩු තියෙනවා නම් මම කැමතියි කමෙන්ට්ස්වලින් නැතුව මැසේජ් එකක් දාලා මට කියනවට. ප්‍රේක්ෂකයින් ඉන්නකම් තමයි අපිට කලාව තුළ රැ‍ෙඳන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මට ආදරේ කරන හැම ප්‍රේක්ෂකයින්ටම මමත් ආදරෙයි.


අනුෂා රණසිංහ



Previous Post Next Post