මම ලොකුවට ගොසිප් ගණන් ගන්නෙ නැහැ-නවිදි රැපියෙල්




සංසාරිණි නාට්‍යය බලන කෙනෙක් නම් ඔබ එහි එන අමෝදී ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. කටකාරකමින් වගේම හැඩකාර රංගනයෙන් ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ඉන්න අමෝදී මේ දිනවල ජනප්‍රිය චරිතයක්. ඉතින් අපි හිතුවා අමෝදීට ජිවය දෙන නවිදි රැපියෙල්ගේ කලා කටයුතු වගේම ඉදිරි අනාගතය දැනගන්න.


නවිදි මුලින්ම ඔබ ගැන විස්තර කළොත්?


මම ඉන්නේ කොළඹ. අම්මා තාත්තා සහ මල්ලි තමයි මගේ පවුලේ ඉන්නේ. මගේ තාත්තා ශිවන්ත නීල්. ඔහු වෘත්තියෙන් සංගීතඥයෙක්. ඒ වගේම ඉස්සර ඉඳලා හිටලා රඟපාලත් තියෙනවා. අම්මා ගෘහිණියක්. මගේ මල්ලි විහඟ රැපියෙල්. එයත් මට කලින් ඉඳලම රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. මම මේ ක්ෂේත්‍රයට එන්නේ ගිය අවුරුද්දේ. මම පාසල් ගියේ ඒෂියන් ග්‍රැමර් ස්කුල් එකට. දැන් ICBT යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා.


රංගනයට එන්නේ ගිය අවුරුද්දේ වුණාට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය තුළ ඔබ කාලයක් තිස්සෙ ඉන්නවා නේද?


ඔව්. මම පොඩි කාලේ සිටම වෙළෙඳ දැන්වීම් කළා. මුල්ම වෙළෙඳ දැන්වීම කරද්දී මගෙ වයස අවුරුදු හතයි. මගේ මුල්ම නාට්‍යය වුණේ ප්‍රදීප් ධර්මදාස මහතා අධ්‍යක්ෂණය කළ දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ තුශී කියන චරිතය. ඒ අතරතුර සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා මට පාරදිගේ නාට්‍යයට ආරාධනා කළා. ගොඩක් ආසාවෙන් ඒ නිර්මාණයටත් සම්බන්ධ වුණා. ඒ එක්කම සංසාරිණි නාට්‍යයේ අමෝදී වෙන්නත් මට අවස්ථාව ලැබුණා.


මේ දිනවල අමෝදිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයින් මුලින්ම මාව හඳුනා ගත්තේ තුෂි විදිහට. දැන් මාව දන්නේ අමෝදී විදිහට. අමෝදී කියන මගේ චරිතය ටිකක් දඟකාර නිසා සමහර අය නම් බණිනවා. බණින්නෙත් මම ඒ චරිතයට සාධාරණයක් කරන නිසානේ. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර භාරගෙන ඉන්නවා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


මේ කාලේ භාරගෙන තියෙන්නේ සංසාරිණි නාට්‍යය විතරයි. සංසාරිණි නාට්‍යය ඉවර වුණාම හොඳ නිර්මාණයකට ඇරයුම් ලැබුණොත් භාර ගන්නවා.


දිගටම කලාවේ රැඳී සිටින්න ආසාවක් නැද්ද?


මම කලා ක්ෂේත්‍රයට කැමැතියි. මම ඉගෙන ගන්නේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය. ඒ හින්දා ඒ පැත්තෙනුත් යන ගමන් කලා නිර්මාණවලට දායක වෙනවා.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


අම්මා තාත්තයි සහයෝගයක් දෙනවා. මල්ලියි මමයි පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ කලා පසුබිම එක්ක. ගෙදර හැම වෙලේම සංගීතය ඇහෙනවා. අපි දෙන්නා මොන දේ කළත් අම්මා තාත්තා වගේම සීයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


නවිදි කියන්නෙ ෆැෂන්වලට වැඩි කැමැත්තක් තියෙන කෙනෙක් ද?


ෆැෂන් කියන ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්නේ නැහැ මම. මම කැමැති විදිහට මම අඳිනවා. මම අඳින ඇඳුම මට පහසු වෙන්න ඕනේ.


නවිදිට කලා ක්ෂේත්‍රයේ ඉන්න හොඳම යෙහෙළිය කවුද?


එහෙම විශේෂ කෙනෙක් නැහැ. මෙතෙක් මා එක්ක වැඩ කරපු හැම කෙනෙක්ම මගේ හොඳ මිතුරු මිතුරියන්.


රංගනයට සීමාවන් තියෙනවද?


චරිතවලට නම් සීමාවන් නැහැ. මම ආස එකිනෙකට වෙනස් චරිත කරන්න. ඉස්සරහට තව වෙනස් චරිත ලැබෙයි කියලා මම හිතනවා.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?


ඒ අත්දැකීම මට තාම අලුත් දෙයක්. ඒ ආදරේට මම හරි කැමැතියි.


ජිවිතේ ආදරේට කොයි තරම් ඉඩක් දීලා තියෙනවද?


ආදරේ කියන්නේ තවම නම් අම්මාගේ තාත්තාගේ මල්ලිගේ සහ යාළුවන්ගේ ආදරේ තමයි ලබා ගෙන තියෙන්නේ. විශේෂ ආදරයක් ගැන තවම හිතලා නැහැ.


කටකතා ගොසිප් ගැන මොකද හිතෙන්නේ?


මුල් කාලේ නම් මමත් පොඩ්ඩක් දුක් වුණා ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියලා. හැබැයි මම හොයලා බලද්දී ලංකාවේ සිස්ටම් එකේ ඕනෙම කෙනෙක්ට ගොසිප් හැදෙනවා. ඒ නිසා දැන් නම් මම ගොසිප් ලොකුවට ගණන් ගන්නේ නැහැ. හොඳ දේවල් විතරක් අරගෙන තමන්ගේ ඉලක්කවලට යන එක තමයි මම දැන් කරන්නේ.


සමාජ මාධ්‍යය භාවිත කරනවද?


ඔව්. හොඳ විදිහට භාවිත කරනවා නම් එහි වරදක් නැහැ. ෆේස්බුක්, ඉන්ස්ට්‍රාග්‍රෑම්, ට්විටර් සහ spotify කියන මියුසික් ඇප් එක්ක මම ඉන්නවා. ටික්ටෝක් නම් නැහැ. වැඩිපුරම ඉන්නේ ට්විටර් සහ spotify කියන මියුසික් ඇප් එක්කත් එක්ක.


අනාගත බලාපොරොත්තු මොනවද?


මම ඉගෙන ගන්න ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න තමයි මගේ ඉලක්කය. ඒකත් එක්ක මම කැමැතියි කලා නිර්මා‍ෙවලට සම්බන්ධ වෙන්න.


අනුෂා රණසිංහ




Previous Post Next Post