සන්තුෂ් නිසා මං ගොඩක් බැණුම් ඇහුවා-මංජිත තෙන්නකෝන්




කාලෙකදි බැණ බැණ හිටපු චරිතයකට දැන් හැමෝම ආදරේ කරන්න පටන් අරන්. රැල්ල වෙරළට ආදරේයි ටෙලි නාට්‍යයේ සන්තුෂ්ගේ චරිතයට සිදු වූ පෙරළිකාර වෙනස නිසාම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් උඩු යටිකුරු වෙලා. ඒ සොඳුරු වෙනසත් එක්ක කලා කටයුතුවල අලුත් විස්තර දැනගන්න අප මංජිත තෙන්නකෝන් එක්ක කතා කළා


කොහොමද මේ දවස්වල ජීවිතේ?


මේ දවස්වල ජීවිතය සාමාන්‍ය විදිහට ගෙවෙනවා. මම සංගීත කණ්ඩායමකත් වැඩ කටයුතු කරන නිසා අවුරුද්දේ අන්තිම සීසන් එකට සූදානම් වෙනවා .ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය‍යේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. මේ දිනවල රාජ්‍ය නාට්‍ය උ‍ලෙළ තිබෙන නිසා වේදිකා නාට්‍ය බලනවා. නාට්‍ය හා රංග කලාව සම්බන්ධ පොත්පත් කියවනවා, වගේම රංගනය පිළිබඳව ස්වයං අධ්‍යයනයක යෙදෙනවා. ඊළඟ අවුරුද්ද වෙද්දී සින්දු කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඉඩක් ලැබුණු සැණින් අම්මත් එක්ක කාලය ගත කරනවා.


සංගීත කණ්ඩායම ගැන විස්තර කිව්වොත්?


මං ඉන්න සංගීත කණ්ඩායමේ නම “ඕමි”. එහි බේස් ගිටාරිස්ට් ලෙස මම කටයුතු කරනවා. මේ දිනවල සංගීත ප්‍රසංග බොහොමයක් තිබෙන නිසා තරමක් කාර්ය බහුලයි.


ඔබ කලාවට සම්බන්ධ පවුල් පරිසරයකින් පැවත එන බව බොහෝදෙනා නොදන්නා කරුණක්. ඇයි එය රහසක් විදියට තියාගන්නෙ….


ඔය ප්‍රශ්නය මගෙන් බොහෝ දෙනා අහනවා . අම්මයි තාත්තයි කලාවට සම්බන්ධ වුණත් මං කලාවට සම්බන්ධ නැත්තේ ඇයි කියලා. පුංචි කාලේ ඉඳන්ම කලාවට සම්බන්ධ දැවැන්ත චරිත ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිසා කලාව මට කුඩා කාලයේදීම සාමාන්‍යකරණය වුණා. මං ගොඩක් කැමති වුණේ සංගීතයට .මම මුලදී ගායනයට කැමති වුණේ නැහැ. මං කැමති වුණේ වාදනය කරන්නයි. දැනට අවුරුදු දෙකකට උඩදීයි මගේ ඇතුළේ ඉන්න රංගන ශිල්පියා මම අඳුරගන්නේ. රත්නා ලාලනීගේ හා සම්පත් තෙන්නකෝන්ගේ පුතා මංජිත තෙන්නකෝන් කියනවට වඩා මං කැමැතියි මංජිත තෙන්නකෝන් කියන්නේ රත්නාලාලනී ගේයි සම්පත් තෙන්නකෝන් ගේයි පුතා කියනවට. අම්මගේ තාත්තගේ ජනප්‍රියත්වයෙන් ඉදිරියට යනවට වඩා මගේම ගමනක් යන්න මං කැමැතියි. මට කුඩා කාලයේ පටන්ම ගායනයට රංගනයට ආරාධනා ලැබුණා. නමුත් ගායනයට හා රංගනයට ගොඩක් ලැජ්ජ නිසා ඒ අවස්ථා මම මඟ හැරියා.


රංගන ශිල්පියෙකුට හැදෑරීම කොතෙක් දුරට වැදගත් ද ?


ඕනෑම ක්ෂේත්‍රයක හැදෑරීම වැදගත් වගේම අත්‍යවශ්‍යයි කියන මතයක මම ඉන්නවා. එය මගේ ක්ෂේත්‍රයන් වන සංගීතය වගේම රංගනය කියන ක්ෂේත්‍රයන්ටත් පොදුයි. පුහුණුව හා අධ්‍යයනය ඕනම ක්ෂේත්‍රයක පූර්ණත්වයට වගේම වෘත්තීය මට්ටමකට ඔසවා තබනවා. ඒ නිසා හැදෑරීම හා පුහුණුව දීර්ඝ කාලීන පැවැත්මට වැදගත් වෙනවා යැයි මම හිතනවා.


රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ සන්තුෂ්ගේ චරිතය දැන් වෙනස්ම මානයකට යොමු වී තිබෙනවා .කොහොමද එකී වෙනසත් සමඟ ලැබෙන ප්‍රතිචාර …


සන්තූෂ්ගේ චරිතය මුල් කාලෙදි ගොඩක් සෙල්ලක්කාර, දඩබ්බර ඇමති පුතෙකුගෙ චරිතයක්. දැන් එය අවංක ආදරවන්තයකු ගේ චරිතය දක්වා වෙනස් වී තිබෙනවා. ඉස්සර සන්තූෂ් නිසා මං ගොඩක් බැණුම් ඇහුවා. නමුත් මේ වෙනකොට ප්‍රේක්ෂකයන් ඔහුට ගොඩක් අනුකම්පා කරනවා. මිනිස්සු ඒ චරිත තුළ ජීවත් වෙනවා කියලා දැනෙද්දි ලොකු සතුටක් දැනෙනවා .


විවේක පාඩුවේ ඉන්න හැම වෙලාවකම අම්මා බයිට් කරන එකද ඔයාගෙ විනෝදාංශය ද?


අම්මා කිව්වේ නැති වුණාට අම්මව අවුස්සන එකට අම්මා හරි කැමතියි. අම්මයි මායි විතරයි දැන් ගෙදර ඉන්නේ. ඒ නිසා අම්මා මාව බයිට් කරනවා වගේම මාත් අම්මව බයිට් කරනවා. ඒක තමයි දැන් අපේ තියෙන එකම විනෝදාංශය. අම්මා ගුරු වෘත්තියෙන් ඉදිරියේදී විශ්‍රාම යන නිසා ඇයත් මේ දිනවල රංගන කටයුතු එක්ක තරමක් කාර්යබහුලයි. අපි දෙන්නම කාර්යබහුල නිසා ගෙදර ඇතුළේ අපිට අප මුණගැහෙන්නෙ හරිම කලාතුරකින් .ඒ ලැබෙන සුළු කාලය තුළ අපි සතුටින් වගේම විනෝදයෙන් සිටිනවා .


කලාවේ තිබෙන අර්බුදකාරී තත්ත්වයන් මත තරුණයෙක්ට කලාව තුළින් ආර්ථිකය ගොඩනඟා ගන්න පුළුවන්ද


කලාව තුළින් ආර්ථිකය ගොඩනඟා ගන්න සැලසුම් කරොත් අපිට කලාව තුළ මතක හිටින චරිතයක් වෙන්න අපහසුයි. කලාවෙන් ආර්ථිකය ශක්තිමත් කරගන්න නම් අපට දකින දකින චරිතය නිරූපණය කරන්න වෙනවා .


එවිට අපේ වටිනාකම නැතිවෙනවා. ආර්ථිකය ශක්තිමත් කරගෙන කලාවට පිවිසුණොත් ස්වයං වාරණයකින් යුතුව නිර්මාණ තෝර බේරාගෙන දායක වෙන්න පුළුවන් . සල්ලි නැති නිසා කලාව කළොත් එයින් වෘත්තිය ගුණාත්මක බව ගිලිහෙනවා .ඒ නිසා ආර්ථික පරමාර්ථයකින් තොරව කලා කටයුතු කළොත් සැහැල්ලු මනසකින් එය කළ හැකියි .


මංජිත පෙම්වතෙක් ද


මම සෑමවිටම ආදරය ලබනවා. කලට වේලාවට ඒ ආදරයත් මට හිමිවෙයි කියලා මම හිතෙනවා. මගේ ජීවිත අරමුණුවලට ළඟා වෙනකොට මගේ ළඟින් ඉන්න පුළුවන් කෙනෙක් මගේ ළඟ රැඳෙයි . එතකම් මම බලන් ඉන්නවා .


විශ්මි ප්‍රනාන්දු




Previous Post Next Post