ICSE සමුළුව මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් - මිශෙල් දිල්හාරා



ඇය අප සතුව සිටිනා දුර්ලභ මාණික්‍යයකි. සමකාලීන තරුණියන් හා සැසඳීමේදී වෙනස්ම වූ මඟක ගමන් කරන ඇය තමා මෙන්ම ලොව පවතින අනෙකුත් සියලුම මනුෂ්‍ය ප්‍රාණීන්ටද, සතා සීපාවටද, ගහ වැලටද එක ලෙස ආදරය කරන්නියකි. ඒ මතුද නොව අනුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් තම කාලය, ශ්‍රමය හා ධනය යන සියල්ල වැය කරන්නීය.  අනාගතයේ දිනක තමාට මෙරට හොඳම චරිතාංග නිළියක් බවට පත්වීමේ විභවතාවක් ඇති බව මේ වනවිටත් පෙන්නුම් කර තිබෙන ඇය අන් කවරකුවත් නොව ඔබ අප කවුරුත් හොඳින් හදුනන මිශෙල් දිල්හාරාය. 


ගෙවුණු දවස් ගැන කතා කරමු?


පසුගිය දිනවල සතියක් පමණ මම ඉන්දියාවේ සිටියේ. ඊට පස්සේ ලංකාවට ආපු ගමන් සිදාදියේ සමනලියෝ නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කළා. ඒත් එක්කම සුපර් හීරෝ වැඩසටහනේ පටිගත කිරීම් සිදු වෙනවා. ඒ දේවල් එක්ක තමයි මේ දිනවල කාලය ගතවෙන්නේ.


ඔබ ඉන්දියාවට ගියේ අති විශේෂ කටයුත්තකටද?


ඔව්. පසුගිය දිනවල ඉන්දියාවට ගියේ ප්‍රධානවම දෙදහස් විසිතුන ICSE සමුළුවට සහභාගි වෙන්න. ඒ කියන්නේ තිරසර අධ්‍යාපනය පිළිබඳව ජාත්‍යන්තර සමුළුව.


එම සමුළුව ගැන පොඩ්ඩක් කතා කරමු?


එම සමුළුව පැවැත්වුණේ තිරසර අධ්‍යාපනය යන තේමාව යටතේ. UNICEF, UNESCO, UNEP, WWF වැනි ලොව ප්‍රමුඛ පෙළේ සංවිධාන ඇතුළු රටවල් 50ක නියෝජනයෙන් තමයි සමුළුව පැවැත්වුණේ. 4,000කට ආසන්න පිරිසක් සහභාගි වූ මෙම සමුළුවේදී තිරසර අධ්‍යාපනය ගැන ලංකාව නියෝජනය කරමින් දේශනයක් සිදු කිරීමට මට ආරාධනාවක් ලැබුණා. එමෙන්ම එම සමුළුව සමඟින් භෞතිකව එක් වූ පිරිසට අමතරව රටවල් 50ක පමණ විශ්වවිද්‍යාල ගණනාවක බොහෝ පිරිසක් ඔන්ලයින් තාක්ෂණයෙන් ඒ සමඟ එක් වුණා.


මෙම සුවිශේෂි සමුළුවට ඔබට ආරාධනා ලැබෙන්න බලපෑ හේතුව ගැනත් කතා කරමු?


2020 වර්ෂයේදී දැනට ලෝකයේ ලොකුම පාරිසරික සංවිධානයක් වන Earth Day Network සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති විදිහට වැඩ කිරීමට මට අවස්ථාවක් හිමිවුණා. ඒ සමඟම මට මෙරට රජයේ විශ්වවිද්‍යාල දහයක, එකොළහක පමණ සහ පාසල් මට්ටමින් පරිසරය ආශ්‍රිත ව්‍යාපෘති දෙසීයක් පමණ කිරීමට හැකියාව ලැබුණා. ඒ ඇරුණම තව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ගණනාවකත් දේශන පවත්වන්න ආරාධනා ලැබුණා. ඒ හරහා තමයි මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ප්‍රවිෂ්ට වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම දෙදහස් විස්ස සහ විසිඑක වර්ෂවල මෙම සමුළුවට ආරාධනා ලැබුණත් කොවිඩ් තත්ත්වය නිසා මාර්ගගත ක්‍රම හරහා තමයි දේශන පැවැත්වූයේ. ඒ වගේම පසුගිය වසරෙත් මෙම සමුළුව පැවැත්වුණා. මේ වසරෙත් මට ඒ වෙනුවෙන් ආරාධනා ලැබුණා.


දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනාව ගැනත් මතක් කරමු?


දිල්හි නුවර Delhi University එකේ Environment Department එකේ සහ Ramanujan විශ්වවිද්‍යාල විද්‍යායතනයේ පරිසරය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන්ට දේශන පවත්වන්න සහ රුක් රෝපණ වැඩසටහන් සඳහා ආරාධනා ලැබුණා.  මගේ ජීවිතයේ හිමිවූ සුවිශේෂී අවස්ථාවක් විධියට මම ඒක සලකනවා. දිල්හි විශ්වවිද්‍යාලය කියන්නේ සිසුන් ලක්ෂ ‍ෙදාළහකට අධික පිරිසක් ඉගනුම ලබන ස්ථානයක්. ඉතින් එවැනි විශ්වවිද්‍යාලයකින්් ආරාධනයක් ලැබීමම ලොකු භාග්‍යයක්. මම ඒ ආරධනාව බොහොම සතුටින් පිළිගෙන ඒ සඳහා සහභාගි වුණා.


ඔබට උතුම් දළදා මාලිගා භූමියේ වෘක්ෂයක් රෝපණය කරන්න අවස්ථාවක් හිමිවුණා නේද?


ඔව්. ඇත්තටම 2023 ලෝක සංචාරක දිනය තේමා කරගෙන ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. මේ වැඩසටහනට රටවල් 10ක් නියෝජනය කරමින් සංචාරකයන් 50ක් සහභාගි වුණා. එතැනදී ලංකාව නියෝජනය කරමින් අපේ රට ගැන සහ දළදා මාලිගාවෙ තිබෙන පෞරාණික වටිනාකම ගැන කතා කරන්න දළදා මාලිගාවේ මාධ්‍ය සහ විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ මයුර රොෂාන් මහතා මට ආරාධනා කළා. මේ වැඩසටහනට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාත් සහභාගි වුණා. මේ වැඩසටහන හරහා මගේ ජීවිතයට ලැබුණු ලොකුම භාග්‍යය තමයි ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැළයක් රෝපණය කරන්න අවස්ථාව හිමිවීම.


අන් අයට සාපේක්ෂව ඔබේ ගමන්මඟ බොහොම වෙනස්, ඒකට හේතුව මොකක්ද?


ඒකට හේතුව විධියට මම දකින්නේ අපි එකිනෙකාගේ අරමුණු වෙනස් වීම. මම හිතන විධියට නෙවෙයි තව කෙනෙක් හිතන්නේ. ලෝකයේ කිසිවෙක් එක සමාන නැහැ. අපි හිතන පතන විධිය, ක්‍රියා කරන විධිය එකිනෙකට වෙනස්. හැම කෙනෙක්ම තමන්ට සතුටු අරමුණු වෙනුවෙන් වැඩ කරනවා. මම වුණත් වැඩ කරන්නේ මම සතුටු වෙන, මට ඇචීව් කරන්න අවශ්‍ය ගෝල් එක වෙනුවෙන්. එතැනදී තමයි මම හිතන්නේ අපි එකිනෙකා වෙනස් වෙන්නේ. මොකද අපි හැමෝගෙම අරමුණු එකිනෙකට වෙනස්.


ඔබේ ආදායමෙන් කොටසක් සමාජ සේවය වෙනුවෙන් යොදවනවා කියන්නේ ඇත්තද?


රංගන ක්ෂේත්‍රයට එන්නත් කලින් ඉඳලම තමයි මම සමාජ සේවා පැත්තට යොමුවෙලා සිටියේ. නමුත් රංගන ශිල්පිනියක් වුණාට පසුව මාධ්‍ය සහයෝගය නිසා මට හැකි වුණා විශාල පිරිසකට ආමන්ත්‍රණය කරන්න. මම බොහෝ වෙලාවට කතා කළේ සමාජ අදෘශ්‍යමානතාව ගැන සහ එය අවම කළ හැකි ක්‍රම ගැන. රංගන ශිල්පිනියක් වුණාට පසුව එය පුළුල්ව කරන්න අවස්ථාව ලැබුණා. හඬක් නඟන්න බැරි පිරිස වෙනුවෙන් හඬක් නඟන්න කියන තේමාව ඔස්සේ. ඉතින් මම මට ලැබෙන ආදායමෙන් සියයට හැටක්  අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් යොදනවා. මම ඒක ප්‍රින්සිපල් එකක් විධියට ෆලෝ කරනවා.


මල්කි නර්ස් නෝනටයි, ත්‍රිලක්ෂි පොලිස් නෝනටයි ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ලොකු ප්‍රතිචාරයක් හිමිවෙනවා. සිදාදියේ සමනලියෝ නාට්‍යය පටන් ගත් දිනයේ ඉඳලා හැමෝම මාව දැනගෙන සිටියේ මල්කි නර්ස් නෝනා විධියට. නමුත් මීට කොටස් කිහිපයකට කලින් මල්කි ත්‍රිලක්ෂි විධියට ආවා. මේ සමඟම ලොකු කතාබහක් ඇති වුණා සහ නැරඹුම් වාර ගණනෙත් විශාල වෙනසක් සිදු වුණා. මම පළමුවැනි පාරට තමයි නර්ස් කෙනෙක්ගේ සහ පොලිස් නිලධාරිනියකගේ චරිතයක් කළේ. හරිම සතුටුයි එකම නාට්‍යයේ චරිත දෙකක් කරන්න හැකිවීම ගැන.


රංගන ශිල්පිනියක්ට හෝ ශිල්පියෙක්ට ප්‍රතිරූපය නඩත්තු කිරීම මොන තරම් වැදගත්ද?


රංගන ශිල්පිනියක් වූ විට සමාජයට ධනාත්මක  පණිවිඩයක් දෙන ප්‍රතිරූපයක් තිබුනොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. අද වෙනකොට දවසේ වෙන හැම සිදුවීමක්ම social mediaවල platform විශාල සංඛ්‍යාවක සංසරණය වන නිසා, අපි කතා කරන දේවල් සහ කරන ක්‍රියාවන් මේ මාද්‍ය වල සැරිසරන පොඩි ළමයිට සහ තරුණයින්ට ආදර්ශමත් වෙන ආකාරයට පල කළොත් හොඳයි කියලා මම හිතනවා.


ඉදිරි වැඩ කටයුතු ගැනත් මතක් කරමු?


ඉදිරියේදී විකාශනය වෙන්න නියමිත ටෙලි නාට්‍යයක් තියෙනවා. ඒ වගේම තව නාට්‍යය දෙකකට සම්බන්ධ වෙන්න තිබෙනවා. ඒ සමඟම තව චිත්‍රපටයක වැඩ කටයුතු සිද්ධ වෙනවා. බොහෝදුරට ඒකේ රූගත කිරීම් නුදුරේදීම අවසන් වෙයි. ඒ වගේම තව සුපර් හීරෝ වැඩසටහනේ පටිගත කිරීම් යෙදිලා තිබෙනවා.




Previous Post Next Post