අලුත් අය එක්ක වැඩ කරන එක ලස්සන අත්දැකීමක්- අශිකා මතසිංහ




මීට දශක එක හමාරකට පමණ පෙර මෙරට තරුණයන්ගේ හිත් පැහැරගත් සොදුරු යුවතියක් විය. කැරලි ගැසුණු දිගු කෙස්වැටිය හා මුව සරසාගත් අවිහිංසක සිනහව නිසාවෙන්ම තරුණ හදවත්වල සුවිශේෂී තැනක් හිමිකර ගත් අෑ සිටින වෙළෙඳ දැන්වීම් එකල අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ එම සන්නාමවල අලෙවියද වැඩි කරමිනුයි. නමින් අශිකා මතසිංහ නම් වූ ඇය තරුණ සිත් සොරා ගත්තා වූ ඒ යුගය අවසන් කොට දශක එකහමාරක් පමණ ගතවූ තැන නැවතත් ලාංකික ප්‍රජාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව හිඳින්නීය.


ඉතිං අශිකා කොහොමද තොරතුරු?


ගොඩක් හොඳින් ඉන්නවා. මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය දෙකක රූපගත කිරීම් සිද්ධ වෙනවා. ඒවටත් සහභාගි වෙන ගමන් දරුවන්ගේ, සැමියගේ වැඩකටයුතුත් කරගෙන බොහොම සතුටින් ඉන්නවා.


කාලෙකට කලින් ඔබ තරුණ හිත්වල ‘සිහින යුවතිය’ වෙලා හිටියා. ඒ කාලයත් මතක් කරමු?


ඇත්තටම ඒ කාලේ මට එහෙම ජනප්‍රියත්වයක් තිබුණා කියන එක ගැන මම දන්නේ මෑතකදී. මොකද ඔබ සඳහන් කරන මම සම්බන්ධ වුණු වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා රූපවාහිනිය හරහා විකාශනය වුණේ අද වගේ සමාජ මාධ්‍ය නැති යුගයක. ඉතිං ඒ කාලේ මට මෙතරම් ජනප්‍රියත්වයක් තිබුණා කියන දේ පවා මම දැනගන්නේ මෑතකදී. කාලයත් එක්ක සමාජ මාධ්‍යවලට ඇවිත් මගේ තොරතුරු බෙදා ගනිද්දී තමයි මට දැනෙන්න පටන් ගන්නේ මීට කාලෙකට කලින් මට ලොකු ජනප්‍රියත්වයක් තිබිලා තියෙනවා කියලා. ඉතිං ඒ ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේම අද වෙද්දිත් මගේ වටේට හොඳ ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වෙලා ඉන්නවා.


කාලෙකට කලින් කලාවෙන් පොඩි විරාමයක් ගත්තා නේද?


ඇත්තටම ගොඩක් අය හිතනවා මම කලාවෙන් විරාමයක් ගත්තා කියලා. නමුත්  ඇත්තටම එහෙම දෙයක් වුණේ නෑ. මම විවාහයෙන් පස්සේ මගේ දරුවෝ ලැබිලා ඉද්දි පවා කලාව පිළිබඳව හැදෑරීම් කළා. මම කාලයක් අනෝජා වීරසිංහ මහත්මිය යටතේ කලාව පිළිබඳව අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම පුළුවන් හැමවෙලේම කලාවට සම්බන්ධ වුණා. ඒ වගේම මිසිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානයත් දිනා ගත්තා. සමහර රූගත කිරීම්වලට මම ගියේ මගේ දරුවොත් අරගෙන. එක දිගටම නිර්මාණවලට සම්බන්ධ නොවුණත් මම කිසිම අවස්ථාවක  කලාව  අතහැරියේ නෑ. ඒ කාලය තුළ නිසි හැදෑරීමක් කරපු නිසා අද වෙද්දි මට රංගන ශිල්පිනියක් විදියට යම් තරමකට සාර්ථක වෙන්න හැකි වෙලා තියෙනවා.


නවකයන් බොහෝමයක් එක්ක වැඩ කරන බව පේනවා ඒ අත්දැකීම කොහොමද?


ඇත්තටම මට නම් ඒක බොහෝම සුන්දර අත්දැකීමක්. නවකයෙක් වේවා ප්‍රවීණයෙක් වේවා අපිට ඒ පුද්ගලයා සමඟ වැඩ කරන එක සම්බන්ධයෙන් හොඳක් හෝ නරකක් දැනෙනවා නම් මම හිතනවා ඒකට අපේ ගති ලක්ෂණත් බලපානවා කියලා. නවක ශිල්පීන් එක්ක වැඩ කරද්දී මට පේන දෙයක් තමයි ඔවුන් අපිට වඩා තාක්ෂණය අතින් ඉදිරියේ. ඉතිං ඔවුන් විවේක වෙලාවෙදී ටික්ටොක් කරනවා, සෙල්ෆි ගන්නවා. අපි ඒක වැරද්දක් විදිහට බැලුවොත් තමයි වරද. කාලයත් එක්ක ලෝකය වෙනස් වෙනවා. ඉතිං අපිට හැකියාව තියෙන්න ඕනි අලුත් පරම්පරාවත් එක්ක ඉදිරියට යන්න. එහෙම නොහැකි වුණොත් අපිට මඟ නතර වෙන්න වෙනවා. මම පෞද්ගලිකව නවකයෙක් වේවා ප්‍රවීණයෙක් වේවා ඒ කුමන හෝ කෙනෙක් ළඟ ගතයුතු හොඳ දෙයක් තියෙනවා නම් ඒ දේ ගන්නවා. ඉතිං මට නම් නවකයන් සමඟ වැඩ කරන්න ලැබීම හොඳ ලස්සන අත්දැකීමක්.


මෙරට කලාවේ අනාගතය සම්බන්ධයෙන් විවිධ අනාවැකි තියෙනවා. ඔබ හිතන විදිහට අපේ කලාවේ අනාගතයට කුමක් වෙයිද?


හරිම සරලයි. අපි හැම වෙලේම කියනවා ලංකාවේ කලාව විනාශ වෙයි කියලා. ඒක මීට අවුරුදු දහයකට කලිනුත් කිව්වා. විස්සකට තිහකට කලිනුත් කිව්වා. නමුත් අද වනතුරු එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ. උදාහරණයක් විදියට මම ක්ෂේත්‍රයට ආපු මුල්ම කාලයේ රූගත කිරීම් සිද්ධ වුණේ බොහෝදුරට එක කැමරාවකින්. නමුත් අද වෙද්දි රූගත කිරීම්වලදී කැමරා කිහිපයක් භාවිත කරනවා. අපේ කලාකරුවෝ ජාත්‍යන්තර ඇගැයීම්වලට පාත්‍ර වෙනවා වගේම අපේ බොහෝ කලා නිර්මාණත් ජාත්‍යන්තර ඇගැයීම්වලට පාත්‍ර වෙනවා. ඉතිං මීට කාලෙකට කලින් කියපු ආකාරයට අද වෙද්දි කලාව විනාශ වෙලා නෑ. මම හිතනවා ඉදිරියටත් ඒක එහෙමමයි. අපේ කලාව ඉදිරියට යනවා මිසක විනාශයට පත්වීමක් සිද්ධ වෙන්නේ නෑ. ලංකාවේ ඉතාමත් හොඳ නිර්මාණ බිහි වෙනවා. නමුත් අපි කරන්නේ හොඳ ඒවා අගය නොකර නරක ඒවට බනින එක. අන්න ඒ දේ වෙනස් කරගන්නවා නම් අපිට ලංකාවේ කලාවේ අනාගතය ගැන මීට වඩා සුබදායි අනාවැකි කියන්න පුළුවන් වෙයි.


දරුවෝ තුන් දෙනෙක් එක්ක කලාවයි ගෙදර වැඩයි සේරම කළමනාකරණය කරගන්නේ කොහොමද?


හැමදේටම බලපාන්නේ හිත. අපිට උනන්දුව උත්සාහය තියෙනවා නම් කරන්න නොහැකි කිසිම දෙයක් නෑ. මම මගේ ගෙදර සියලු දේම මගේ අත්දෙකෙන් තනියම කරන කෙනෙක්. ඒ වගේම සමහර වෙලාවට මවුපියන්ගේ යුතුකම් වගකීම් ඉෂ්ට කරන්නත් වෙනවා. ගොඩක්ම කාර්යබහුල වෙලාවට මම කරන්නේ නිදාගන්න කාලයෙන් පොඩි ප්‍රමාණයක් කැප කරන එක. ඉතිං එහෙම අවස්ථාවලදී නින්ද අඩු කරලා වැඩවලට ප්‍රමුඛත්වය දෙනවා. මටත් සමහර අවස්ථා එනවා කම්මැළි හිතෙන. එහෙම වෙලාවට මම කරන්නේ මෝටිවේෂන් ස්පීච් එකක් අහන එක. ගොඩක් වෙලාවට ගෙදර වැඩ කරද්දි මම මෝටිවේෂන් වීඩියෝ එකක් ප්ලේ වෙන්න දාලා තමයි වැඩ ටික කරගන්නේ. ගෙදර කටයුතු, කලා කටයුතුවලට අමතරව මම විවිධ නිරූපණ තරගවල විනිශ්චයවරියක් විදියටත් කටයුතු කරනවා. කොතරම් කාර්යබහුල වුණත් අපිට වුවමනාවක් තියෙනවා නම් අවශ්‍ය දේ කරන්න කාලය හොයාගන්න එක අමාරු නෑ.


මේ හැමදේටම සහාය දෙන කෙනා ගැනත් මතක් කරමු?


ඇත්තටම ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනි දෙයක්. මගේ සැමියා නොසිටින්න අද අශිකා මතසිංහ කියලා කෙනෙක් නෑ. ඔහු තමයි මගේ ලොකුම ශක්තිය, මගේ ලෝකයේ වීරයා. ඇත්තටම මම වාසනාවන්තයි ඔහු වගේ සැමියෙක් ලබන්න. මම ඉදිරියට තියෙන හැම අඩියකටම සහාය දෙන්නේ ඔහු. ඔහු මගේ පෙර පිනකට ලැබුණු කෙනෙක්.


අක්ෂි මාපා වීරසිංහ





Previous Post Next Post