ආදරය කරනවා නම් එයාව හිර කරගන්නේ නැතිව අතහැරලා දාන්න ඕනේ-කාවිංග පෙරේරා



කාවිංග පෙරේරා කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂ නළුවෙක් වගේම ජනප්‍රිය නිවේදකයෙක්. හැබැයි ළඟකදී ඉඳන් කාවිංග රඟපාන ටෙලි නාට්‍ය අඩුවීමක් දකින්න තියනවා. රසඳුන අපි තීරණය කළා කාවිංගගෙන් ඒ ගැන අහන්න. ඒ එක්කම කාවිංග කියන සැහැල්ලු චරිතය ඇතුළේ ජීවිතය ගැන බොහෝම ගැඹුරින් බලන කාවිංග කෙනෙක්ව අපිට හමුවුණා.


ඔබ ටෙලි නාට්‍ය නළුවෙක් විදිහට තමයි අපිට මුලින්ම හමු වෙන්නේ. ඒ ගැන මතක් කළොත්?


ඇත්තටම මම මුලින්ම වැඩකටයුතු පටන් ගන්නේ නම් නිවේදකයෙක් විදිහට මැක්ස් ටීවී එකෙන්. ඒ කාලේ මැක්ස් ටිවී එකේ හිටපු චමුදිත සමරවික්‍රම සහ ජනක රාමනායක කියන මහත්වරුන් තමයි මට ආරාධනා කළේ. එගොල්ලන්ගේ චැනල් එකට එන්න කියලා. ඔය අතරේ තමයි සුසිල නිෂ්පාදන ආයතනයේ රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂතුමාවයි තරංග දිසානායක කියන නිෂ්පාදන කළමනාකාරතුමාවයි මට හමුවෙන්නේ. ඒ මගේ වැඩසටහනකට ඒ අය ආපු නිසා. ඊට පස්සේ එතැනදී ලැබුණු ආරාධනාවක් නිසා තමයි අලුතින් කරන ටෙලි නාට්‍යයක් වුණ


“අපි අපි වගේ“ කියන නාට්‍යට මම සම්බන්ධ වෙන්නේ. ඔය විදිහට තමයි මගේ ටෙලි නාට්‍ය ජීවිතය පටන් ගන්නේ සහ ඒකට මූලික අඩිතාලම දාන්නේ.


ඔබ රඟපෑ ටෙලි නාට්‍යවලින් වඩාත් කැමැති චරිතය මොකක්ද ?


එහෙම කියලා එකක් නෑ. මම හරිම ආසාවෙන් හැම ටෙලියකම රඟපෑවේ. හැබැයි ඒ අතරින් විශේෂයෙන්ම කැමැති නාට්‍යක් තියනවා. ඒ තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශණය වුණු අඟුරු සිත්තම්. ඒක අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ අධ්‍යක්ෂ සිවගුරුනාදන් මහතා. මම ඒ නාට්‍යයේ රැඟපෑවේ ලොකු බලාපොරොත්තු ගොඩාක් එක්ක. මම හිතන්නේ ඒ නාට්‍යයේ චරිතය තමයි මම වඩාත් ආසාවෙන්ම රඟපෑ චරිතය වෙන්නේ.


ඇයි දැන් නාට්‍යවල පෙන්න නැත්තේ?


ඒකට හේතුවක් තියනවා. මම දැනට හිරු ටිවී නාලිකාවේ නිවේදකයෙක් විදිහට කටයුතු කරනවා නිදහස් සාමාජිකයෙක් විදිහට. කීප දෙනෙක් කතාවක් හැදුවා මම දැන් හිරු එකේ පූර්ණ කාලීන සාමාජිකයෙක් විදිහට ඉන්නවා. ඒ නිසා රඟපාන්නේ නෑ කියලා. ඒ විදිහ යම් යම් පුද්ගලයන් ඒ විදිහේ කතාවක් නිර්මාණය කළා. මම ඒ අයගේ නම් කියන්න කැමැති නෑ. නමුත් ඒ කතාවත් එක්ක ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු එයාලගේ නිර්මාණවලට මට කතා කරන එක අඩුවුණා. ඒ එක්කම මම ළඟදි ටෙලි නාට්‍යයක් කළා චන්දික නානායක්කාර මහතාගේ ගගන පියවර කියලා. මම හැම වෙලාවෙම කියපු එකක් තමයි එහෙම කවුරුවත් කියන දේවල් අහන්න ඕනේ නෑ. මගේ නම්බර් එකක් තියනවා. ඒකට ඇමතුමක් අරන් ඇහුවා නම් මම කියනවා ටෙලි නාට්‍යවල රඟපානවාද නැද්ද කියලා. ඔය කටකතාවත් එක්ක තමයි හුඟක් ටෙලි නාට්‍යවල මාව දකින්න ලැබෙන්නේ නැත්තේ.


එතකොට දැන් කාවිංගව හඳුන්වන්න ඕනේ රංගන ශිල්පියෙක් විදිහටද නැත්නම් නිවේදකයෙක් විදිහටද ? මේ දෙකෙන් වඩාත්ම. කැමැති මොකටද?


මම නිවේදනය වගේම රංගන ශිල්පයටත් කැමැතියි. ඔය දෙකම මම ඉගෙන ගත්ත නිසා මට ඒ දෙකේ වටිනාකම් තේරෙනවා. ඒ නිසා ඒ වෘත්තියන් දෙකටම මම ආසයි ඒ වගේම කැමැතියි. හැබැයි මම රංගන ශිල්පයට ගොඩාක් ආදරෙයි.


කොහොමද නිවේදකයෙක් වුණේ?


මම ඉගෙන ගත්තේ කොළඹ DS සේනානායක විදුහලේ. මම උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිටියේ. නමුත් පාසැලේ සිංහල සාහිත්‍ය සංගමයේ හිටපු හැමදෙනාම නියෝජනය කළේ ගණිත අංශය සහ ජීව විද්‍යා අංශයේ අය. මමත් ඒ සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙක්. හැබැයි පාසැලේ දී නිවේදන කටයුතුවල වැඩිය හිටියේ නෑ. ඉංග්‍රිසි නාට්‍ය කණ්ඩායමේ හිටියා. මම හිතන්නේ මොකක් හරි වාසනාවක් තියෙන්න ඇති නිවේදන වෘත්තියට තේරෙන්න. ඔය විදිහට තමයි මගේ පටන්ගැන්ම වුණේ.


ඔය නිවේදන වැඩසටහන් අතරතුර අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද ?


මට හැම වැඩසටහනක්ම විශේෂයි. ඒ වගේම මට නිවේදකයෙක් විදිහට කටයුතු කරන කොට, මවුවරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය වගේ විශේෂ වැඩසටහන් කරද්දී, අනිත් හැමකෙනෙක්ගේම අම්මා හෝ තාත්තා මැදිරියට එනවනේ. නමුත් මගේ අම්මත් තාත්තත් මේ වෙනකොට ජීවතුන් අතර නැති නිසා, මට ඒක දැනෙනවා වැඩියි. ඒ තමයි මට අමතක නොවනම සහ සමීපතම සිදුවීම වෙන්නේ. ඒ වගේම මම ස්තුති කරනවා රේනෝ සිල්වා මහතාට සහ විරාජ් වැලිවත්ත මහතාට මාව විශ්වාස කරලා හිරු නාලිකාවේ වැඩසටහන් කරන්න මට අවස්ථාව දුන්න එකට.


ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණ සිදුවීම මොකක්ද?


මගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය තමයි මගේ අප්පච්චි නැතිවුණ දවස. මම හරිම සැහැල්ලුවෙන් ජීවිතය විඳපු කෙනෙක්. හැබැයි මාව පිටින් දැකලා තීරණය කරන අය දකින්නේ මම කිසිම වගකීමක් නැති නිකං දඟල දඟල ඉන්න චරිතයක් විදිහට. නමුත් මාව ළඟින්ම ආශ්‍රය කරන අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා. අප්පච්චිගේ මරණයෙන් පස්සේ ලොකුම ටර්නින් පොයින්ට් එකක් මගේ ජීවිතයේ සිදුවුණා. එතකොට මට තේරුණා ජීවිතයේ වගකීම් කියලා කොටසක් තියන බවත්, අපි හිතනවාට වඩා ජීවිතය බරපතළයි කියලා. අම්මා සහ නංගි ගේ සියලුම වගකීම් මගේ පිට පැටවෙනවා. අම්මා නැතිවෙන කොට මගේ ජීවිතය ආපහු අංශක 360ක් කැරකුණා. ඒ නංගිව බලා ගන්න ඕනේ කියන කාරණාවත් එක්ක සහ එයාගේ සියලුම වගකීම් මට පැවරෙනකොට මට හුඟක් දේවල් ගැන අලුතින් හිතන්න වුණා. ඔය සිද්ධි දෙක නිසා මගේ ජීවිතයේ ගොඩාක් දේවල් වෙනස් වුණා. නංගි මේ වන විට කසාද බැඳලා එයාගේ පවුලත් එක්ක අයර්ලන්තයේ ඉතාම හොඳින් ජීවත් වෙනවා.


ආදරය සහ ප්‍රේමය ගැන මොකද හිතන්නේ..?


ආදරය ගැන එක එක්කෙනාට වෙනස් විදිවලට නිර්වචනය කරන්න පුළුවන්. සමහර අයට ආදරය සුන්දර වෙන්න පුළුවන්. තව සමහර අයට ආදරය වේදනාවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ආදරය කියන්නේ සම්පූර්ණයෙන්ම පරිත්‍යාගයක්, කැපවීමක්. අපි අපේ දේවල්වලට වඩා ආදරය කරන කෙනාගේ දේවල්වලට මූලිකත්වය දීම තමයි මම දකින්නේ. එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයත් කියලා තියනවා නේ


“ප්‍රේමය අසනීය කුසුමක් වේ


රිසි වූ කෙනෙකුට පුජා කරනට


ලෝබ සිතින් තොර පිදුම මනා වේ


පෙරළා ලබනට නොතකා බිඳකුත්“


කියලා.. ඒ කියන්නේ ආදරය හරිම සුන්දර දෙයක්.එකිනෙකා අතර ගලපා ගැනීම සහ අනෙක් කෙනාගේ හැඟීම්වලට අදහස් වලට ගරු කිරීම තමයි මම නම් ආදරය කියලා හිතන්නේ. මට මෙහෙමත් හිතෙනවා. කෙනෙකුට ආදරය කරනවා නම් එයාව හිර කරගන්නේ නැතිව අතහැරලා දාන්න ඕනේ. එයාට නිදහස ලබා දෙන්න ඕනේ. සමහරු කියයි මේක අමාරු වැඩක් කියලා. ඔව් ඒක ලේසි නෑ. අමාරු වැඩක්. නමුත් එහෙම කළාම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනා තමන්‍ට ආදරෙයිද කියලා. ආදරේ නම් ඉඳියි.. නැත්නම් යයි.





Previous Post Next Post