ලාංකික සමාජය තුළ ස්ත්‍රිය ගැන තියෙන සාම්ප්‍රදායික අදහස වෙනස් විය යුතුයි - ඩිනාරා පුංචිහේවා

 




ඇය ලාංකික සිනමා ක්ෂේත්‍රය තුළ කුලුදුල් නිර්මාණයෙන්ම තම අනන්‍යතාව සනිටුහන් කළ රංගන ශිල්පිනියක්. වේදිකාව තුළින් පන්නරය ලබමින් සිනමා ක්ෂේත්‍රයට පැමිණි ඇය නාට්‍යවේදය පිළිබඳව එංගලන්තයේදී හැදෑරූ තැනැත්තියක්. ඇගේ ඇකඩමික දැනුම් සම්භාරය කවරේද යත් ඈ රංගනයෙහි යෙදෙන චරිත තුළින් වෑහෙන්නේ ඒ දැනුම් සම්භාරය බව කිව හැකිය. අද අප හා  එක් වන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන ඩිනාරා පුංචිහේවා. 


න්‍යායාත්මක හැදෑරීමක් ලබා ගැනීම රංගන ශිල්පිනියකට වැදගත් වන්නේ කෙසේද?


මම මගේ උපාධිය ලෙස හැදෑරුවේ නාට්‍ය හා රංග කලාව. එහිදී මට රංගනය පිළිබඳව න්‍යායාත්මක හැදෑරීමක් ලැබුණා. මම රංගනයේ යෙදෙන විට එම හැදෑරීම විශාල පිටිවහලක් වෙනවා. නමුත් හැමෝටම එහෙම හැදෑරීමක් අවශ්‍යයි කියන තැන මම නැහැ. සමහර රංගන ශිල්පීන්ට උත්පත්තියෙන්ම ගෙනා රංගන හැකියාවක් තිබෙනවා. ඔවුන් හැදෑරීමකින් තොරවම ඉතාමත් දක්ෂ ලෙස රංගනයෙහි යෙදෙනවා. රංගනය පිළිබඳව හැදෑරීමක් තිබෙන එක ඉතා වැදගත් වෙනවා.


වත්මන් ලාංකික ඇකඩමියාව පිළිබඳ ඔබේ අදහස?


මම රංගනය පිළිබඳව හැදෑරුවේ එංගලන්තයේදී. ලංකාවේ නාට්‍යවේදීන් වන රුවන්ති ඩී. චිකේරා, ජෙහාන් ඇලෝෂියස්, අනුෂ්කා සේනානායක සමඟ කලා ආයතනවල පුහුණුවීම් සිදුකරලා තිබෙනවා. මේවායින් මම විසල් දැනුමක් ලබා ගත්තා. ලාංකික ඇකඩමියාව තවත් පුළුල් වූවා නම් මේ ක්ෂේත්‍රයට පැමිණෙන පිරිසට එය පහසුවක් වෙයි. ලංකාව තුළ ඇකඩමික හැදෑරීමක් සිදුකිරීමට තිබෙන තැන් අවමයි. මහේන්ද්‍ර පෙරේරාගේ ඇක්ටින් ස්කූල් එක, දමයන්ති ෆොන්සේකාගේ ඇක්ටින් ස්කූල් එක වගේ ආයතන කිහිපයක් තිබෙනවා. විශ්වවිද්‍යාලය තුළ අපේ විද්‍යාර්ථයන්ට මොන තරම් දැනුම් සම්භාරයක් ලැබෙනවාද කියන දෙය පිළිබඳව ලාංකික වේදිකා නාට්‍ය දෙස බැලූ විට තේරුම් යනවා. අපිට මේ දේවල් ඉටුකිරීමට පහසුකම් නැහැ. එංගලන්තය, ඉන්දියාව වැනි රටවල් ගත් විට අපිට විශාල කර්මාන්තයක් නැහැ. අපිට තිබෙන්නෙ පුංචි රටක්. අපිට තිබෙන්නේ පුංචි කලාවක්. ඒ අනුව බලන විට අපි අනෙක් රටවල් හා සාපේක්ෂව ඉදිරියෙන් සිටිනවා.


ඔබට සිංහල, දමිළ ඉංගී්‍රසි යන භාෂා ත්‍රිත්වය පිළිබඳවම හැදෑරීමක් තිබෙනවා. මේ හැකියාව රංගන ශිල්පිනියකට වැදගත් වන අයුරු ගැන කතා කරමු?


මම හිතන්නේ භාෂාවක් දැන ගැනීම ඉතා වැදගත් දෙයක්. මම දමිළ භාෂාව වගේම හින්දි භාෂාවත් දන්නවා. රංගනය කියන්නේ භාෂාව අභිභවා ගිය දෙයක්. එය හැඟීම් තුළින් කරන කර්තව්‍යයක්. රංගන ශිල්පිනියක් කියන්නේ හොඳින් කටපාඩම් කළ හැකි තැනැත්තියක්. මේ නිසාවෙන් භාෂාව කවරක් වුණත් ඇයට ඒ රංගන කාර්ය ඉටු කිරීමට පුළුවන්. භාෂාත්මක හැකියාව තිබෙන විට මනස දියුණුවනවා සේම විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමේ හැකියාව ලැබෙනවා.


වේදිකාව තුළ රංගන ශිල්පිනියක් ලබන පන්නරය සිනමාව තුළදී බලපාන්නේ කෙසේද?


වේදිකාව සහ සිනමාව කියන්නේ විශාල වෙනස්කම් තිබෙන නිර්මාණ මාධ්‍යයන් දෙකක්. වේදිකාව කියන්නේ ඉතා සජීවී කලා මාධ්‍යයක්. සිනමාව කියන්නේ ජීවිතයට වඩා විශාල දෙයක්. එය අපේ ඇතුළාන්තය තුළ හැඟීම් කලඹවන දෙයක්. සිනමාව තුළදී එක් ඇස් පිල්ලමකින් පවා අපේ ජීවිතයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබෙනවා. මම වසර දෙකකින් විතර වේදිකා නාට්‍යයක වැඩ කරලා නැහැ. මම වේදිකාව තුළින් පැමිණි කෙනෙක්. ඒ පන්නරය තමයි මට විසල් බලපෑමක් කළේ.


ඔබ කැමැතිම නාට්‍යවේදියා ගැන කතා කරමු?


මම කැමැතිම නාට්‍යවේදිනිය ලෙස රුවන්ති ඩී. චිකේරා පෙන්වා දෙන්න පුළුවන්. මම ඇය අධ්‍යක්ෂණය කළ Dear Children Sincerely කියන නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඇය ඉතා දක්ෂ, සුහදශීලී සහ විනයගරුක නාට්‍යවේදිනියක්. ඇය ලංකාවේ විවිධ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් ගෙන්වාගෙන තමයි ඇගේ පුහුණුවීම් සිදුකරන්නේ. අරගල යුගයේදීත් අපි නාට්‍යයක් කළා. ඇය සමාජ ප්‍රශ්න පිළිබඳව නිර්මාණය කරන නාට්‍යවලට මම ඉතා කැමැතියි. ඒවා ඉතා බරපතළ නිර්මාණ.


‘ගාඩි’ සිනමාපටයේ ටිකිරි කියන චරිතය ඔබට අභියෝගයක් වූ අයුරු සහ ලාංකික කුල ධූරාවලිය පිළිබඳ ඔබේ අදහස?


‘ගාඩි’ තුළ මම රඟ දක්වන්නේ 1815 පමණ දිවි ගෙවූ ස්ත්‍රියකගේ චරිතයක්. තමන් නොකළ වරදකට ඇය වරදකාරියක් වෙනවා. අවසානයේ ඇය රොඩී රැහැට පිටුවහල් වෙනවා. මට මෙය විශාල අභියෝගයක් වුණා. ඒ අතීත කාන්තාවගේ හැසිරීම මට හදාරන්න සිදුවුණා. ඇය හැසිරෙන ආකාරය, වත්මන් කාන්තාව හැසිරෙන ආකාරයට ඉ¾දුරාම වෙනස් වෙනවා. මම මාස අටක් මෙම චරිතය සඳහා පුහුණුවීම් සිදුකළා. ඒ වගේම ගාඩි මාස දෙකහමාරක් රූගත කිරීම් සිදුකළා. කැලෑවක රූගත කිරීම් සිදුකරන විට අපි විශාල අභියෝග රැසකට මුහුණපෑවා. කුල ක්‍රමය කියන දෙය මුලිනුපුටා දැමිය යුතුයි. ඒ වගේම ආදරය වගේ දෙයකට කුලය බලපාන්නෙ නැහැ. නමුත් ලංකාව තුළ අදටත් කුල ක්‍රමය දැක ගන්න පුළුවන්. එය විවිධ සංස්ථාවන් තුළ අදටත් නොනැසී පවතිනවා. අපි ගාඩි සිනමාපටයේ නුවර දර්ශනයකට සහභාගි වූ අවස්ථාවේ රොඩී කුලයේ කාන්තාවන් දෙදෙනෙක් මා ගාවට ඇවිත් කතා කළා. ඔවුන් මට අපි රොඩී කුලයේ කියලා කියපු එක මාව කම්පා කළා. අපි කුල ගැන කතා කරන්නෙ නැහැ. ඔවුන් ඒ විධියට හිතන එකට මම එකඟ නැහැ. මට කුලය ගැන තිබෙන්නේ විශාල කනගාටුවක්.


ඩිනාරා පුංචිහේවාට ස්ත්‍රීවාදය ගැන තිබෙන අදහස?


මම සමාන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. ගැහැනිය සහ පිරිමියා ජීව විද්‍යාත්මකව වෙනස් වූ පමණින් පිරිමියාට වඩා කාන්තාව පහත් වන්නේ නැහැ. සමාජයක් ලෙස අපි එය තේරුම් ගත යුතුයි. සිනමා කර්මාන්තය තුළ පවා විශාල පිරිසක් සිටින්නේ පුරුෂයන්. පසුගියදා රූගත කිරීම් සිදුකළ රුක්මල් නිරෝෂ්ගෙ ‘අවාළු පැහැ වලාකුළක්’ සිනමාපටයට කාන්තාවක් ලෙස දායක වුණේ මම පමණයි. මම ඒ දවස් කිහිපය තනියම ගත කළා. ලාංකික සමාජය තුළ ස්ත්‍රිය පිළිබඳව ඇති සාම්ප්‍රදායික අදහස වෙනස් විය යුතුයි. එය ඉදිරියේදී වෙනස් වෙයි කියලා මම සිතනවා. කාන්තාවන් පිළිබඳව වැඩිපුර සිතනවා නම් ඔවුන් මේ ක්ෂේත්‍රයට නොබියව දායක වෙයි කියලා මම සිතනවා.


ඩිනාරා පුංචිහේවාගෙ ජීවිතය වෙනස් වීමට බලපෑම් කළ නිර්මාණයක් ගැන කතා කරමු?


බි්‍රතාන්‍ය ටෙලිනාට්‍ය නිර්මාණයක් වන Good Karma Hospital නිර්මාණයේ මම වැඩ කළා. එහි රූගත කිරීම් සිදුකළේ ගාල්ලෙදි. මේ නිර්මාණය මගේ ජීවිතයේ ලොකු වෙනසක් කළා. මම වැඩ කළේ කැමරාවෙන් පිටිපස්සේ. කැමරාව පිටුපස සිටින පිරිස මොනතරම් කැපකිරීමක් කරනවාද කියන එක මට තේරුම් ගියේ මේ නිර්මාණයට දායක වූවාට පසුව. මෙම නිර්මාණය කැමරාව පසුපස සිටින අනෙකුත් ශිල්පීන් පිළිබඳව සංවේදනයෙන් යුතුව සිතීමට කියා දුන්නා. මීට අමතරව ගාඩි සිනමාපටය මගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු කළා. ප්‍රසන්න විතානගේ කියන විශිෂ්ට අධ්‍යක්ෂවරයා එහි ප්‍රධාන චරිතය ලෙස මා තෝරා ගැනීම මගේ ජීවිතයේ ලද විශාල භාග්‍යයක් ලෙස දකිනවා.


ගිහාන් සචින්ත





Previous Post Next Post