මම ආයෙ කාලෙකට ආදරය කරන එකක් නෑ- විනූ පෙරේරා

 


ආකර්ෂණීය සිනාවකටත් හිමිකම් කියන මේ දවස්වල පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන “ශක්ති“ ටෙලි නාට්‍යයේ “රන්මලී” ඇයයි. ඉතාම කෙටි කාලයක් තුළදී ප්‍රේක්ෂක ආදරයට පාත්‍රව සිටින ඇය විනූ පෙරේරා.


ඔබේ ගමන ආරම්භ වෙන්නෙ කොහොමද?


මට නිළියක වීමේ සිහිනයක් කිසි දිනෙක තිබුණෙ නෑ. හෙදියක් වීමේ ආසාව තමා වැඩියෙන්ම තිබුණේ. පාසැල් ගියෙ වත්තල උස්වැටකෙයියාව සෙන් මේරිස් විද්‍යාලයට. හෙදියක් වෙන්න ආසාව තිබුණත් උසස් පෙළ ඉගෙන ගන්න වුණේ කලා විෂය ධාරාවෙන්. පසුව මම පෞද්ගලික හෙදි විද්‍යාලයකට සම්බන්ධ වෙලා අධ්‍යාපනය ලැබුවා. අනතුරුව නර්ස් කෙනෙක් වීමේ හීනය සැබෑවක් බවට පත් වුණා. මීගමුව පෞද්ගලික රෝහලක හෙදියක ලෙස රැකියාව ලැබෙන්නෙ ඒ විදිහටයි.


ඔබ රංගන ශිල්පිනියක් වෙන්නේ කොහොමද?


මම රංගනයට ප්‍රවේශ වෙන්නෙ හරිම අහඹු විදිහට. 2019 අවුරුද්දෙ ස්වාධීන රූපවාහිනි සේවයේ අවුරුදු කුමරිය තරගයෙ අවසන් දොළොස් දෙනා අතරට තේරෙනවා. අනතුරුව චන්දිමාල් ජයසිංහ සංවිධාන කරන අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙනවා. මේ හරහා විවිධ වැඩසටහන් සඳහා නොයෙකුත් ආරාධනා ලැබෙනවා. වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ වගේ දේවල් තමා වැඩියෙන්ම ලැබෙන්නෙ. ප්‍රභාත් චතුරංග සොයුරාගේ ආරාධනයෙන් සංගීතෙ ටෙලි නාට්‍යයේ චරිතයක් සඳහා තිර පරීක්ෂණයකට පෙනී ඉඳල විශාල පිරිසක් අතරින් මාව තෝරා ගැනෙනවා. ඒ තමා මගෙ පළමුවෙනි ඇරඹුම. 


බොහෝ මවුපියන් දුවක් නිළියක වෙනවාට විරුද්ධ වන අවස්ථා තියනවා. කොහොමද ඔබට මවුපියන්ගෙන් ලැබෙන සහයෝගය?


අම්මා තාත්තා සහ මල්ලී තමා මගෙ මුළු ජීවිතයම. මම මුල් තැන දෙන්නෙ එයාලත් එක්ක ආදරයෙන් ජීවත් වීම වෙනුවෙන්. තාත්තා වරායෙ වැඩ කළේ. දැන් විශ්‍රාමිකයි. අම්මා රැකියාවක් කරන්නෙ නෑ. මල්ලි තාම පාසල් යනවා. මගෙ පවුලෙ හැමෝම මගෙ ගමනට උදවු කරනවා. මට උයන පිහන දේවල් වල ඉඳන් මැහුම් ගෙතුම් වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒත් අම්මා නම් කියන්නෙ දුවෙක් අම්මා ළඟ ඉන්න කාලෙ විතරයි නිදහසේ ඉන්න තියෙන්නෙ ඒ නිසා වැඩ කරන්න ඕන නෑ කියලා.


ලස්සන තරුණියකගෙන් ආදරය හා සතුට ගැන ඇහුවෙ නැත්නම් ඒක අඩුපාඩුවක්. කාටද විනූ ඔබේ ආදරය?


ආදරය කියන්නෙ එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන දෙයක්. දැනට නම් මට ආදරයක් නෑ. නමුත් මම කාලයක් ආදරය විඳපු කෙනෙක්. හැබැයි මට හිතෙන්නෙ මම ආයෙ කාලෙකට ආදරය කරන එකක් නෑ. ආදරය අන්ධයි කියනවා නේ. මම හොඳටම ආදරේ කළා. නමුත් මට ඒ ආදරේ හඳුනා ගන්න බැරි වුණා.


හැබැයි හරියට ආදරේ කරන හිතක් හමු වුණොත් විවාහ වීම ගැන හිතනවා. අම්මා නම් නිතරම විවාහය ගැන මතක් කරනවා. සාමාන්‍යයෙන් ආදරය කරන කාලෙ හිටපු කෙනා නෙවේ විවාහයෙන් පසුව ඉන්නෙ. ඒක ලොකු ගැටලුවක්. ආදරේ කියාගෙන එන ආදරේ ලොකුවට පෙන්නන අය ඕන තරම් ඉන්නවා. එවැනි අය විශ්වාස කරන්නම බෑ. මාත් එක්කම ජීවිත ගමන යන්න පුළුවන් කියල තේරුණොත් දෙපාරක් හිතන්නෙ නෑතුව විවාහ වෙන්න පුළුවන්. එහෙම නැතුව ආදරය සතුටින් විඳින්න බෑ.


රංගන ක්ෂේත්‍රයේදී ඔබට ලැබෙන සහයෝගය මොන වගේද?


ක්ෂේත්‍රයෙ හැම කෙනෙකුගේම සහයෝගය ලබන්න තරම් මම වාසනාවන්තයි. මම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් වුණත් ඉතාම නිහතමානී සහයෝගයක් මට එයාලගෙන් ලැබෙනවා. ශක්ති රූප ගැන්වීම්වලදි කෝකිල අයියා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ඉෂාර හා තිළිණ අයියලාත් මට සහාය ලබා දෙනවා. ඉතිං මම මේ වෙලාවෙ එයාල හැමෝම සිහිපත් කරනවා.


ඒ වගේම විශේෂයෙන්ම මම අද මේ ඉන්න තැනට එන්න මට අවස්ථාව මඟ පෙන්වීම ලබා දුන්නෙ මම කලින් ආදරේ කරපු කෙනා සහ එයාගෙ මවුපියන්. එයාගෙ තාත්තාට තමා ඕනෑ වුණේ මම නිළියක ලෙස ජනප්‍රිය කෙනෙකු වෙනවා දකින්න. කුමන හෝ හේතුවක් මත ඒ ආදරේ අවසන් වුණත් මම එයාලට හදවතින්ම ස්තුතිය පිරිනමන්න කැමැතියි.


කවදහරි මම විවාහ වුණොත් රඟපෑමට සමු දෙනවා. මට ඕනෑ මගේ අම්මා වගේ කෙනෙක් වෙන්න. තමන්ගෙ පවුලට මුල් තැන දීල හැම වැඩක්ම මගෙ අතින්ම කරන්න. ඒ වගේම රඟපෑමෙන් සමුගත් කාලෙක මගෙම කියල ව්‍යාපාරයක් කරන්න කැමැතියි. රූපලාවන්‍ය ක්ෂෙත්‍රය තුළ ඒ සඳහා අධ්‍යාපනය ලබන්න මම හිතලා තියනවා.


ඔබ තව දුරටත් රඟපෑම ගැන ඉගෙන ගන්නවාද?


ඔව්. මට රඟපෑම වැඩි දුර ඉගෙන ගන්න ඉන්දියාවට යන්න ලොකු ආසාවක් තියනවා. මම රඟපෑමට අමතරව නර්තන කණ්ඩායමක් පවත්වාගෙන යන නිසා ඒ සඳහාත් ඉන්දියානු ගමන උදවුවක් වෙයි කියා සිතනවා. රංගනය වැඩිදුර හැදෑරීමෙන් හොඳ නිර්මාණයක් කරන්න පරිසරය හැදෙනවා. තමන්ගෙ විදිහට හොඳ ගමනක් යා යුතුයි. මේ ක්ෂේත්‍රයේ දි පොඩ්ඩක් කට සැර වුණාට කමක් නෑ. මම කැමතියි ගැමි වගේම නාගරික පෙනුමක් ඇති චරිත රඟපාන්න. නමුත් මට වැඩිපුරම ලැබෙන්නෙ ගැමි චරිත.


සමන්ති මිරියගල්ල





Previous Post Next Post