බණින්න හරි කමක් නැහැ “සහෝ” බලන්න කියලයි ආරාධනා කරන්නේ




සඳූ, තරූ, රතූ, හිරූ නැමැති විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සිව් දෙනෙකු වටා ගෙතෙන සහෝ – The Comrade සිනමාපටය මේ දිනවල සිනමාශාලාවන් තුළින් ඔබට දැක ගන්නට පුළුවන්. විශ්වවිද්‍යාල සිසුන්ගේ තාරුණ්‍යය සහ ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනුවෙන්ම නිර්මාණය වූ සහෝ හි මිත්‍රත්වය, ප්‍රේමය, ශිෂ්‍ය අරගලය සහ විප්ලවය ඔවුන්ගේ ජීවිතවලට බලපෑම් කරන ආකාරයත්, නොසිතූ මොහොතක පැන නඟින ප්‍රශ්නවලට මෙම මිතුරන් සිව්දෙනා පිළිතුරු සොයා යන ආකාරයත් ප්‍රේක්ෂක ඔබට දැක ගත හැකියි. මෙහි තරූට ජිවය දෙන්නේ දසුන් පතිරණ. මේ කතාබහ දසුන් සමඟ.



මේ දසුන්ව නැවතත් රිදී තිරයෙන් දකින්න ලැබෙන කාලයක්?


ඔව්. මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ “සහෝ” චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා.


කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මේක මම මෙතෙක් කළ නිර්මාණවලට වඩා වෙනස් වැඩක්. ප්‍රොෆෙසර් ආරියරත්න ඇතුගලගේ තිර රචනාවකට අනුව කළ වෙන ස්ටයිල් එකක වැඩක්. ඒ නිසා එක එක ප්‍රතිචාර ලැබෙනවා. සමහර අයට ප්‍රශ්න තියෙනවා. කොහොමත් කැම්පස් එකක් ඇතුළේ වෙන ආදරය අරගලය සහ හැඟීම් කොහොමද දෝලනය වෙන්නේ කියන එක තමයි සහෝ තුළ තියෙන්නේ. ප්‍රොෆෙසර්ට තියෙන අත්දැකීම් එක්ක ඒ ජීවිත තුළටම ගිහිල්ලා ඒක ලස්සන පිටපතකට අරගෙන තිබ්බා. මම මේක දකින්නේ මෙලෝ ඩ්‍රාමා ටයිප් එකේ ෆිල්ම් එකක්. හිතන ඒවා, සිහින තියෙනවා. ඒ නිසා රියල් ෆෝමැට් එකෙන් පැනපු ෆිල්ම් එකක්. මම දන්නේ නැහැ කොහොම ලංකාවේ ප්‍රේක්ෂකාගාරය භාරගනීද කියලා. මේ වෙද්දී චිත්‍රපටය තිරගත වන නිසා ගුණදොස් කීම ප්‍රේක්ෂකයාට භාරයි. මම මේ වෙලාවේ කියන්නේ මට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට මේ ෆිල්ම් එක බලන්න කියන එක තමයි.


“තරූ“ කොහොමද දසුන්ට දැනුණේ, තරූ නිර්මාණය කරන්න පහසු වුණාද?


මම විශ්වවිද්‍යාලය පැත්ත පළාතක ගිය කෙනෙක් නෙවෙයි. නමුත් විශ්වවිද්‍යාලය එක්ක ලොකු ඇසුරක් තිබ්බා. ඒ එක්කම විශ්ව විද්‍යාල භූමියට ගිහින් ඒ තුළ ගැවසෙමින් කාලය ගත කරන්න ලොකු ආසාවක් තිබ්බා. ඒ නිසා ඒ මොහොතේ මම තරූ විදියට, සරසවි සිසුවෙක් විදියට ජිවත් වෙන්න ගත්තා. තරූ කියන්නේ දැන් ඉන්න සිසුවාගේ නියෝජනයක් කිව්වොත් හරි. එයාට තියෙන ප්‍රශ්න ටික, තමන් ඒ වෙනුවෙන් කරන මහන්සිය, විප්ලවය, ආදරේ අරගලය මේ හැමදේම අද ඉන්න සරසවි සිසුවාට තියෙනවා. ඒ නිසා තරූ කියන්නේ මේ මොහොතේ ජිවත් වෙන සරසවි සිසුවෙක්.


කොහොමද ප්‍රොෆෙසර් ආරියරත්න ඇතුගලයන් යටතේ අධ්‍යක්ෂණය වීම,


මම මීට කලින් ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක වැඩ කරලා තිබ්බේ නැහැ. මම හිතුවේ නැහැ ප්‍රොෆෙසර් එච්චර සරල කෙනෙක් කියලා. ප්‍රොෆෙසර්ට විශ්වවිද්‍යාල ජිවිතේ ගැන ඇතුලාන්තයේ තියෙන හොඳම අත්දැකීම් ටික තියෙනවා. ඒකත් එක්ක මට තවත් පහසු වුණා මගේ චරිතය ගොඩ නගා ගන්න. අපි දෙන්නා මේ කාලසීමාව තුළ ඉතා ළඟ මිතුරන් වුණා. ඔහුගේ ටෙලි නිර්මාණ එහෙම දැවැන්ත වැඩ. මටත් ඉතින් අවස්ථාව උදා වුණා ප්‍රොෆෙසර් ආරියරත්න ඇතුගලයන් එක්ක වැඩ කරන්න. මේක වෙනස් වැඩක්. මේක ප්‍රොෆෙසර් ආරියරත්න ඇතුගලයන්ගේ ෆෝමැට් එක. ඒ නිසා සර්ට ඕනේ විදියට තරූ කියන චරිතය තුළ මම අධ්‍යක්ෂණය වෙලා තියෙනවා.


තරූ, සඳූ, රතූ, හිරූ නැමැති විශ්වවිද්‍යාල මිත්‍රයින් සිව්දෙනාගේ චරිතවල අනෙකුත් අය ගැනත් කතා කළොත්?


ඔව් අනිවාර්යෙන්ම. රතූට හිටියේ බියංක අමරසිංහ. බියංක කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඒ නිසා බියංක මේ වැඩේ එක්ක හිටිය එක මට තවත් ලේසි වුණා. ඒ එක්කම සඳුට හිටියේ ඩිනාරා පුංචිහේවා. ඇය ගැන කියන්නම ඕනේ. ඩිනාරා කියන්නේ මේ කාලේ මට හමුවුණ හොඳ සහායක් ලබා දෙන නිළියක්. හොඳ දැනීමක් හැඟීමක් ඇතිව රඟපාන කෙනෙක්. හර්ෂි අංජුමාලා හිරූගේ චරිතය කරන්නේ. ඇයත් හිතුවට වඩා හොඳින් ඒ චරිතය කළා. ඊට අමතරව සොඳුරු ලොකුපෝතාගම හා නිවර්තනා දේවගේ මෙහි තවත් චරිත දෙකකට රංගනයෙන් එක් වුණා. ඒ දෙන්නගෙත් පළමු වැඩේ. නමුත් ඒ අයට ලැබුණු සීමාව තුළ හොඳ රංග පරාසයක් පෙන්නුම් කරනවා. ඉස්සරහට ඒ අයගේ තව දක්ෂතා දැක ගන්න ලැබෙයි. චන්දන ජයසිංහ අයියා තමයි මෙහි කැමරා අධ්‍යක්ෂවරයා. ඒ කැමරා ෂොට් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතාම ලස්සනයි. ඒ එක්කම මියුසික් කරේ තරුපති මුණසිංහ. ඒ ලබා දුන්නු මියුසික් වලින් අපිට වෙනමම ජීවයක් ලැබුණා. ලක්ෂිත සංකල්ප වේශ නිරූපණයෙනුත්, සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂණයෙනුත් වැඩේට සම්බන්ධ වුණා. ඒ එක්කම මෙහි තියෙන විශේෂම දේ අපි ටික විතරයි එළියෙන් වැඩ කළේ. අනිත් ඔක්කොම කැම්පස් එකේ ළමයි. ඒකත් වෙනස්ම අත්දැකීමක්. මම හිතනවා ඒක මට මගේ රංගන ජීවිතේ ලැබුණු හොඳ අත්දැකීමක්.


අමතක නොවන අත්දැකීම් ඇති?


කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ මාතලේ රිවස්ටන් ප්‍රදේශයේදී රූපගත කිරීම් සිදු වුණේ. කැම්පස් කොල්ලොන්ටවත් නොලැබුණු අවස්ථාවක් මට ලැබුණා. ඒ තමයි ගර්ල්ස් හොස්ටල් එකේ හැම කාමරයකටම වගේ යන්න. මොකද කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ හැම තැනම වගේ සූට් කළා. ඒ ලැබුණු අවස්ථාවන් නම් මාරයි. අපිට කෝවිඩ් හැදුණෙත් රූපගත කිරීම් අතරතුර. කෝවිඩ් ආව මුල් කාලේ නිසා ලොකු බයක් ඇතිවුණා. ඒ නිසා ඒ වගේ දරුණු මතකයන් පවා තියෙනවා.‍


මේ මොහොතේ සිනමා ප්‍රේක්ෂකාගාරයට මොන වගේ ඇරයුමක් ද කරන්නේ?


මම නම් කියන්නේ සරසවි ගිය සිසුවෙක් නම් අනිවාර්යෙන්ම මේක බලන්නම ඕනේ. මොකද ඒ අයට මේ නිර්මාණය දැනෙනවා වැඩි වෙයි. ෆිල්ම් ගැන හරි හැටි අවබෝධයක් නැති අය බැලුවොත් නම් නොතේරෙන්නත් පුළුවන්. නමුත් සිනමාව ගැන අධ්‍යනය කරන සහ විශ්වවිද්‍යාල අත්දැකීම් තියෙන අයට නම් හොඳ අත්දැකීමක් වෙයි. සිනමාව තුළ පවා පවුරු වළලුවලින් පස්සේ සරසවි ආදර කතා මෑතක නිර්මාණය වුණේම නැහැ. මෑතක සරසවිය ගැන කිව්වම මතක් වෙන්නෙම පිකටින්නේ. මේ ෆිල්ම් එක ඇතුළේ ලස්සන සරසවි ආදර කතාවක් තියෙනවා. ඒ ආදරේ ඇතුළේ තමයි අරගලය තියෙන්නේ. අරගලය ඇතුළේ තමයි අපේ තියෙන හැඟීම් ටික එහා මෙහා වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම බලන්න. බලලා දැනෙන හැඟෙන දේ ප්‍රතිචාර වලින් දක්වන්න. බනින්න හරි කමක් නැහැ මුලින්ම බලන්න කියලයි ආරාධනා කරන්නේ.


ඉදිරියට එන්න තියෙන සිනමා නිර්මාණ මොනවද?


සුදේශ් වසන්ත පීරිස්ගේ “සීරුවෙන්“ චිත්‍රපටය. අරුණ ජයවර්ධනගේ “මාරියා“ නම් ලබන අවුරුද්දේ ජනවාරි වගේ වෙයි. ඒ එක්කම මේ දවසවල සුනිල් ප්‍රේමරත්න අයියාගේ අලුත් චිත්‍රපටයකට සූදානම් වෙනවා.





Previous Post Next Post