අයර්ලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වෙන්න කලකට පසු සධීර සමරවික්‍රමට අවස්ථාව ලැබිලා තියෙනවා. කඩුළු රකින්නකු වන සධීර සමරවික්‍රම, බොහෝ අවස්ථාවල අවාසනාවන්ත ක්‍රීඩකයෙක් වුණා. නමුත් නැවතත් පසුගියදා ශතකයක් ලබමින් ඔහු දක්ෂතා අතරට ආවා. මේ නිසාම ඔහුගේ දයාබර බිරිඳ තිලක්ෂි ගමගේගෙන් සධීර ගැන ඇසුවා..
මුලින්ම කියන්න ඔයාට සධීරව මුණගැහුණේ කොහොමද?
අපි මුණගැහුණේ මගේ යාළුවකුගේ උපන්දින පාටියක් වෙලාවේ. ඒ 2013 අවුරුද්දේ. එදා සධීරත් ඒකට ඇවිත් හිටියා. එදා කතාබහ කරලා ෆේස්බුක් හරහා තමයි අපේ යාළුකම ලොකුවට ගොඩනැගුණේ. දන්නෙම නැතුව ඉතින් ඒ යාළුකම ආදරේකට හැරුණා.
එහෙම එක පාරටම කොල්ලෙක්ට කැමැතිවෙන්න පුළුවන්ද?
ඇත්තටම එකපාරටම කැමැති වුණේ නෑ. අපි යාළුවෝ විදිහට මාස පහක් වගේ හිටියා. ඒ අතරේ තමයි සධීර මගෙන් කැමැතිද කියලා ඇහුවේ. ඉතින් මට අකැමැති වෙන්න හේතුවක් තිබුණේ නෑ. මොකද එයා හොඳ ගතිගුණ තිබුණු කෙනෙක්. අදටත් ඒ ගතිගුණවල කිසිම වෙනසක් වෙලා නෑ.
එතකොට ඔය ආදර සම්බන්ධය පටන් ගන්නේ ඉස්කෝලේ කාලේ වගේ නේද?
ඔව්. ඒ වෙනකොට සධීර උසස් පෙළ පන්තිවල හිටියේ. මං නම් සාමාන්‍ය පෙළ ලියලා හිටියේ. සධීර නම් ඒ කාලෙත් ඉස්කෝලේ ක්‍රිකට් ගහනවා. මට මතක විදිහට අපි ආදරේ කරන කාලෙමයි එයා 19 න් පහළ ජාතික කණ්ඩායමටත් තේරුණේ.
එදා සධීර එහෙම 19 න් පහළ ජාතික කණ්ඩායමට තේරෙනකොට එයා ජාතික කණ්ඩායමට තේරෙයි කියලා හිතුවේ නැද්ද?
ඇත්තටම ජාතික කණ්ඩායමට නම් තේරෙයි කියලා හිතුවේ නෑ. ඒත් මං එහෙම නොහිතුවට ආදරේ කරන කාලෙම සධීර ඒකත් කරලා පෙන්නුවා. මට මතක විදිහට ආදරේ කරන්න අරන් හතරවැනි අවුරුද්ද වෙනකොට එයාව ජාතික කණ්ඩායමට කැඳෙව්වා. මටත් ඒක නම් හිතාගන්න බැරිවුණා. මට ගොඩාක් සතුටු හිතුණා.
හැබැයි ඒ වෙනකොට සධීර කියන්නේ ඔයාගේ පෙම්වතා විතරයි. ඒක නිසා ඒ කියපු සතුට අස්සෙම තිලක්ෂිගේ හිතේ පොඩියට හරි බයකුත් තියෙන්න ඇති නේද?
ඔව් ඉතින් හස්බන්ඩ් ක්‍රිකට් ගහනවා වගේ නෙවෙයිනේ බෝයිෆ්‍රෙන්ඩ් ක්‍රිකට් ගහනකොට. ඒ අත්දැකීමට මුහුණදෙන ඕන ගෑනු ළමයකුට එහෙම බයක් දැනෙන්න පුළුවන්. ඒත් සධීර මට එහෙම බයක් ඇතිවෙන්න පුංචි ඉඩක්වත් තිබ්බේ නෑ. ඉතින් ඒ විශ්වාසය නිසා ඇත්තටම මට ලොකුවට බයක් දැනුණේ නෑ.
තිලක්ෂි ඒ වෙනකොට ක්‍රිකට් මැච් බලලා තිබුණද?
ඔව්. මං ඉස්කෝලේ කාලේ ඉඳන් ක්‍රිකට් මැච් බලනවා. ඒ වෙනකොටත් මං හොඳ ක්‍රිකට් ප්‍රේක්ෂිකාවක් කිව්වොත් හරියටම හරි. ඒ නිසාම සධීර ජාතික කණ්ඩායමට කැඳෙව්වට පස්සේ එයා තරමටම මටත් ලොකු සතුටක් දැනුණා "අදින් පස්සේ මගේ කොල්ලත් මැච්වල ඉන්නවනේ" කියලා.
එතකොට දෙන්නගේ විවාහය සිද්ධවුණේ කවදද?
අවුරුදු අටක් ආදරේ කරලා 2021 පෙබරවාරි 02 වැනිදා අපි විවාහ වුණා. දැන් විවාහ වෙලා හරියටම අවුරුදු දෙකක් වෙනවා.
විවාහයෙන් පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳක් කියන එක දැනුණේ කොහොමද?
ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳක් වෙන්න ලේසි නෑ. ඒකට ක්‍රිකට් ගැන අවබෝධයක් සහ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒත් එක්කම ලොකු කැපකිරීමක් කරන්නත් වෙනවා. එළියේ ඉඳන් බලන අයට නම් පේනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳක් කියන්නේ හැමදේම ලැබෙන හරිම වාසනාවන්ත පිරිසක් කියලා. ඔව්, ඒක ඇත්ත වෙන්න ඇති. හැබැයි ඒ ඇත්ත අස්සේ අර මං කියපු විදිහට ගොඩාක් අය නොදකින පැත්තකුත් තියෙනවා.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට සධීරට ලොකු කාන්තා ආකර්ෂණයක් තියෙනවා නේද?
ඒක ඉතින් හැම ක්‍රිකට් ක්‍රීඩකයකුටම පොදු දෙයක්නේ. මං නම් එයාට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ආදරේ කරන පිරිසක් ඉන්නවට කැමැතියි. මං හිතන්නේ ඒ විදිහට ආදරේ ලබන්න අපි හැමෝටම බෑ. ඒ අතින් නම් සධීර හරිම වාසනාවන්තයි. මොකද එයාට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ගෑනු පිරිමි භේදයක් නැතුව හැමෝම වගේ ආදරෙයි.
දිගු කාලෙකට පස්සේ ආයෙත් සධීරව ජාතික කණ්ඩායමට කැඳවලා තියෙනවා. බිරිඳ විදිහට මොන වගේ සතුටක්ද තියෙන්නේ?
ඇත්තටම සධීරට තරමටම මටත් ලොකු සතුටක් තියෙනවා. මොකද එයා ලොකු කාලයක් තිස්සේ කණ්ඩායමෙන් ගිලිහිලා හිටියේ. එයාට ලොකු වුවමනාවක් තිබුණා ආයෙත් කණ්ඩායමට එන්න. ඒ වෙනුවෙන් එයා කරපු කැපකිරීම් දන්නේ මං විතරයි. ඉතින් එක්දින ලෝක කුසලානයකුත් අත ළඟ තියෙන වෙලාවක සධීරට ආයෙත් කණ්ඩායමේ ස්ථානයක් ලැබුණු එක ගැන හරිම සතුටුයි.
ඒ අවස්ථාව එයාට ලැබුණේ නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ පෙන්නපු දක්ෂතා නිසා නේද?
ඔව්.ඒ තරගාවලිය සධීරගේ ක්‍රිකට් ජීවිතේ සහමුලින්ම වෙනස් කළා. එයා ජාතික කණ්ඩායමට ආවේ 2017 අවුරුද්දේ. ඒත් කණ්ඩායමෙන් එයාව ගිලිහුණා. ඒ නිසා එයාට වුවමනා වෙලා තිබුණේ ආයෙත් කොහොම හරි කරලා කණ්ඩායමට එන්න. ඒ වෙනුවෙන් එයා ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට පහුගිය LPL තරගාවලියේ එයාට හොඳට දස්කම් පෙන්නන්න පුළුවන් වුණා. තරගාවලියේ වීරයාත් වුණා. ඒත් එක්කම එයාව ආයෙත් ජාතික කණ්ඩායමට කැඳෙව්වා.
සධීරත් ළඟදි ටැටූ එකක් ගහන්න යනවා කියන්නේ ඇත්තද?
ඒක නම් බොරුවක්. එයා කවදාවත්ම ටැටූ ගහන එකක් නම් නෑ. ඇත්තටම එයා ටැටූවලට ආසයි. ඒත් එයා කටුවලට බයයි. ඔන්න රිදෙන්නේ නැතුව ටැටූ ගහන කාලයක් ආවොත් නම් සධීරත් ටැටූ එකක් ගහයි.
සධීර ඇරුණම තිලක්ෂි ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?
ඉන්දියාවේ සූර්යකුමාර් යාදෙව් තමයි.
සූර්යකුමාර් යාදෙව් කියන්නේ ලෝකයේ අංක එකේ පිතිකරුවෙක්. තිලක්ෂිත් ආස ඇති සධීරත් දවසක ඒ තැනට එනවා දකින්න නේද?
මොකද ආස නැත්තේ. මමත් ආසයි සධීරත් ලෝකයේ අංක එකේ පිතිකරුවෙක් වෙනවා දකින්න. එයාගෙත් ආසාවත් දවසක ලෝකයේ අංක එකේ පිතිකරුවෙක් වෙන එක තමයි.
එක්දින ලෝක කුසලානයට තව ටික දවසයි තියෙන්නේ. සධීර ඒ වෙනුවෙන් ලෑස්තිද?
එයා ලෑස්තියි. මං විශ්වාස කරනවා එයා ලෝක කුසලාන සංචිතයට නම් කරයි කියලා. එහෙම වුණොත් එයා එයාගේ උපරිමය කරයි. මොකද එයාගේ ලොකුම ආසාව ලෝකයේ අංක එකේ පිතිකරුවා වෙන එකනේ. ඒ නිසා සධීර එයාගේ උපරිමය කරයි.