2006 වසරේ තිරගත වුණු අංජලිකා සිනමා නිර්මාණය හරහා සිනමාවට පිවිසි චන්න පෙරේරාගේ නවතම සිනමා නිර්මාණය තමයි යුගාත්‍රා. පසුගියදා ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල් රැසක තිරගත කිරීම ආරම්භ කළ යුගාත්‍රා සිනමා නිර්මාණය ගැන චන්න පෙරේරා ‘මීවිත’ට අදහස් දැක්වූයේ මෙලෙසිනි.
බක් මාසයේම යුගාත්‍රා තිරගත කරන්න හිතුවේ ඇයි?
බක්මහ කියන්නේ හැමෝම සතුටින් ඉන්න මාසයක්. ඒ වගේම නෑදෑකම්. යාළු මිත්‍රකම් අලුත් කර ගන්න එකිනෙකාට තෑගි හුවමාරු කරගන්න මාසයක්. ඉතින් මට හිතුණා කාලෙකට පස්සේ මගේ අතින් මගේ රසික රසිකාවියන්ට මතක හිටින තෑග්ගක් දෙන්න ඕනෑ කියලා. ඉතින් යුගාත්‍රා කියන්නේ ඒ වගේ මතක හිටිනා නිර්මාණයක්. මම විශ්වාස කරනවා මට දැනට ලැබුණු ප්‍රතිචාරත් එක්ක අංජලිකා වගේම යුගාත්රාත් ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳේවි කියලා.
මේ චිත්‍රපටයේ වැඩ අවසන් කරලා සෑහෙන කාලයක් වෙනවා. තිරගත කරන්න ප්‍රමාද වුණ හේතුව?
යුගාත්‍රා චිත්‍රපටයේ වැඩ අවසන් කළේ 2021 වසරේ. තිරගත කරන්න අවස්ථාව උදා වුණේ ඒ කාලෙම තමයි. නමුත් ඒ කාලේ චිත්‍රපට තිරගත කරන්න සුදුසු වාතාවරණයක් තිබුණේ නැහැනේ. පසුගිය කාලයේ රටේ පැවැති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තිරගත කිරීම මට දෙවතාවක්ම කල්දමන්න සිද්ධ වුණා. ඉතින් අන්තිමට මම තීරණය කළා අලුත් අවුරුද්දේ මේක තිරගත කරන්න.
මෙහි කතාව දෙබස් තිර රචනය ඔබේ?
මේ තිර රචනය මම කාලයක් තිස්සේ ලියපු එකක්. අවුරුදු පහක් හයක් වෙනවා මම මේ කතා තේමාව සටහන් කරගෙන. මම මුලින්ම මේක ලිවවේ ටෙලි නාට්‍ය පිටපතකට. ඊට පස්සේ තමයි මට හිතුණේ මේක ටෙලි නාට්‍යයකට වැඩිය සුදුසු සිනමාවට කියලා. අන්තිමේ මේ තිර නාටකය ලියන්නත් අවුරුද්දක් දෙකක් ගත වුණා. චිත්‍රපට තිර කතාවක් ලියන එක ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒ ගැන ගොඩක් හිතන්න ඕනෑ. මම හිතනවා තිර නාටකයක් ලිව්වා කියන්නේ චිත්‍රපටයක වැඩ කොටසින් සියයට හැටක් හැත්තෑවක් ඉවරයි කියලා.
චන්න මෙවර තිරයේ ආදරය කරන්නේ මාෂි සහ ඉරේෂා අසංකිට?
මම විශ්වාස කරන්නේ කවුරු කොහොම කිව්වත් මට සුදුසු චරිත මොනවාද කියලා. මම මේකේ හුදෙක් පෙම්වතා නෙමෙයි මම අංජලිකා චිත්‍රපටයේ කරපු පෙම්වතා ගේ චරිතය මගේ වයසට ගැලපෙනවා. ආදරය කරනකොට අපි හැමදාමත් පෙම්වතුන්නේ. මේක හුදෙක්ම පෙම්කතාවක් නෙමෙයි. ආත්ම දෙකක් ඔස්සේ චරිත තුනක් වටා කේන්ද්‍රීය කරගෙන දිවෙන කතාවක්. ඉතින් මේ චරිතවලට හරියටම ගැලපෙන සුදුසු අය තමයි මම අරගෙන තියෙන්නේ. මාෂිව සමාධිගේ චරිතයට හරියටම ගැලපෙනවා. අසංකිත් මම තෝරාගෙන තියෙන චරිතයට ගැලපෙනවා. චිත්‍රපටයක නළු නිළි වරණය හරියට වැදගත්.
චන්න නළු නිළි වරණය ගැන ලොකුවට හිතනවාද?
ලෝකයේ වෙන රටවල්වල නළු නිළියන් තෝරා ගැනීමට වෙනම අධ්යක්ෂවරු පවා ඉන්නවා. ලංකාවේ ඒ ගැන ලොකු සැලකිලිමත් භාවයක් නැහැ. මම මේ චිත්‍රපටයේ චරිතවලට හරියටම ගැලපෙන කෙනා තෝරාගෙන තිබෙනවා. මම වුණත් මේකේ චරිතවලට ගැලපෙන්නේ නැහැ කියලා හිතුණොත් අනිවාර්යයෙන්ම රඟපාන්නේ නැහැ.
චිත්‍රපටයක් නිර්මාණය කරලා තිරගත කරන්න සෑහෙන කාලයක් බලා හිඳීම ගැන මොකද හිතෙන්නේ?
ඒක වුණේ රටේ ඇති වුණ ප්‍රශ්න හින්දනේ. ඒක අපි කාටත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මට විතරක් නෙමෙයි අපේ රටේ ගොඩක් අධ්‍යක්ෂවරුන්ට නළු නිළියන්ට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මම චිත්‍රපටයක් රූගත කරලා අවුරුද්දක් දෙකක් තියාගෙන ඉන්නවා කියන්නේ දැන් කාලයේ හැටියට ලොකු කාලයකුත් නෙමෙයි. මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මම හිතන්නේ මේ හැමදේම වෙන්නේ හොඳටනේ කියන සුබවාදී ආකල්පයේ තමයි ඉන්නේ. අනික මම විශ්වාස කරනවා නිසි වෙලාවේදී මට යුගාත්‍රා තිරගත කරන්න ලැබුණා කියලා. අනිත් කාරණය මේ කතා තේමාව කවදාවත් පරණ වෙන කතා තේමාවක් නෙමෙයි. නැවුම් කතාවක් එක්ක කෙනෙකුට රසවිඳින්න පුළුවන්.
අධ්යක්ෂවරයෙක් හැටියට වර්තමානයේ අපේ රටේ සිනමා කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ?
පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා යළි සිනමාවේ පිබිදීමක් ඇති වුණා කියලා මම විශ්වාස කරනවා. ගජමෑන්, ගින්දරී, ආදරණිය ප්‍රාර්ථනා වගේ චිත්‍රපට අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට ලක්වුණා. ඉඩෝරයක් නිමිලා වැසි වහින්න පටන් ගත්තහම මිනිස්සු ඒ වැස්ස ආදරයෙන් වැළඳ ගන්නවානේ. ඉතින් මම හිතන්නේ අපේ සිනමාවට හොඳ කාලයක් උදා වෙනවා කියලයි. අපි හොඳ නිර්මාණ කලොත් ප්‍රේක්ෂකයන් සිනමාශාලාවලට කැන්දා ගෙන එන්න පුළුවන්. නිර්මාණ ප්‍රේක්ෂකයා පැත්තෙන් හිතලා කරන්නත් ඕනෑ. අපේ මතයට නිර්මාණ කරලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් සිනමාවෙන් ප්‍රේක්ෂකයා ඈත් වෙනවා. මම ජිවිතය දිහා සුබවාදීව බලන කෙනෙක්. හැමදේම වෙන්නේ හොඳට කියලත් හිතන කෙනෙක්. මගේ නිර්මාණ ආකර්ෂණීය සිනමාවනේ. ත්‍රාසය, කුතුහලය, ආදරය කියන සියල්ලම යුගාත්‍රා චිත්‍රපටයේ තිබෙනවා. අනිත් එක තමයි මුළු පවුලටම කැත නැතිව බලන්න පුළුවන්. දැන සමහර නිර්මාණ තිබෙනවානේ පවුලේ හැමෝටම එකට ඉඳලා බලන්න බැරි. දැන් සමහර ටෙලිනාට්‍ය තිබෙනවා පවුලේ හැමෝටම එකට ඉඳලා බලන්න බැහැනේ. මේකේ එහෙම නැහැ. ඕනෑම තරාතිරමක කෙනෙකුට මේ චිත්‍රපටය රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක්. මගෙත් දුවලා දෙන්නෙක් ඉන්නේ. ඉතින් ඒක නිසා මම හැම තිස්සේම කරන්නේ පවුලේ නිර්මාණ.
දුවලා දෙන්නා හින්දා දැන් හරි පරිස්සම් වගෙයි?
මම තෝරාගෙන තිබෙන විෂය ඒක. මම කියන්නේ පවුලේ සිනමාව. මම ගමක හැදුණු කෙනෙක් ඒ කාලේ ඉඳලා මට තිබුණේ බොහොම විනයගරුක පරිසරයක්. ඉතින් මම විශ්වාස කරනවා මගේ දුවලා දෙන්නත් මම එහෙම හදලා තියෙනවා කියලා. එතකොට මම විශ්වාස කරනවා මම ඔවුන්ට ආදර්ශයක් වෙන්න ඕනෑ කියලා. අඩුම තරමේ මම උඩුකය නිරුවත්ව පවා රඟපාලා නැහැ. මට ආරාධනා ලැබුණා අමුඩ එහෙම ඇඳගෙන පරණ නාට්‍ය කරන්න. මට හිතුණා ඒක මම දුවලට කරන අගෞරවයක් කියලා. අනික මම කියන්නේ නැහැ නළුවෙක් එහෙම වෙන්න ඕනෑ කියලා. හැබැයි මම පොඩ්ඩක් ඒ පැත්ත ගැනත් හිතන කෙනෙක්. මොකද අපේ සංස්කෘති රාමු කඩාගෙන යන්න ඕනෑ නැහැ කියලා මම හිතනවා.
දුවල දෙන්නයි, ගයාත්රිවයි දාලා චිත්‍රපටයක් කරන්න අදහසක් නැතිද?
මගේ ලොකු දුවත් මගේ නිර්මාණ කිහිපයක රඟපාලා තිබෙනවා. මගේ පොඩි දුවත් මගේ චිත්‍රපටයක රඟපාලා තිබෙනවා. ගයාත්රිත් මගේ නිර්මාණයක පොඩි චරිතයක් කළා. ඒ ගොල්ලන්ට සුදුසු චරිතයක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම ඒ ගොල්ලන්ව තෝරා ගන්නවා. මම හිතනවා මගේ ලොකු දුව මගේ නිර්මාණයකට නුදුරු අනාගතයේදී සම්බන්ධ කර ගනීවි කියලා කතාව අනුව වගේම අවස්ථාව අනුව සුදුසු චරිතයක් තිබුණොත් මම ඒ ගොල්ලන්ව ගන්න පැකිලෙන්නේ නැහැ.
යුග්රාතා නිර්මාණයේ ගීත දෙක ගැනත් කතා කළොත්?
දිනේෂ් සුභසිංහ කියන්නේ නව පරපුරේ විශිෂ්ට සංගීතඥයෙක්. ඉතින් මම ඔහුව මේ චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් යොදා ගත්තා. ඔහු ඒ වෙනුවෙන් අතිශය වෙහෙසුණා. අපි මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ ඉතාම දුෂ්කර කාලයක. පාස්කු ප්‍රහාරය කාලේ තමයි අපිට මෙහි සංගීතය නිර්මාණය කරන්න සිද්ධ වුණේ. අඳුරු යුගයක කරපු ඉතාම විශිෂ්ට සංගීත නිර්මාණයක් විදිහට තමයි මම මේක දකින්නේ. මෙහි ගීත දෙකෙන් එකක් ‘සිහින සරණ රෑ’ ඒක රචනා කළේ මම. ගායනා කරන්නේ සංඛ දිනෙත්. අනෙක් ගීතය රචනා කළේ වසන්ත කුමාර කොබවක. ඒක ගායනා කරන්නේ උරේෂා රවිහාරී සමග සංඛ දිනෙත්.
යුගාත්රාහි ඔබේ පුද්ගලික ජීවිතයේ අත්දැකීම් එහෙමත් තියෙනවාද?
නළු රචකයෙක් යමක් නිර්මාණය කරන කොට තමන්ගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් දේවල් ඊට උපයෝගි කර ගන්නවා. ජිවිතයේ අපි අත්දැකීම් ලබමින් යම් පරිචයක් ලබනවානේ. අනික ඒවගෙන්නේ අපි පෝෂණය ලබන්නේ. මෙහි ගීතය රචනා කළේ යුගාත්රාගේ තේමාව අළලායි සිහින සරණ රෑ කියන ගීතය තේමාව අනුවයි නිර්මාණය කළේ. අනික මට ගීතය ලියන්න පහසු වුණා. තේමාව හරියට මම දන්න නිසා. තනුවට අදාළවයි මම ගීතය ලිව්වේ. තනුවට අදාළව ගීතයක් ලියනවා කියන්නේ ටිකක් අමාරු කාර්යයක්. ඉතින් මම විශ්වාස කරනවා මම ඒකට සාධාරණයක් ඉෂ්ට කළා කියලා.
ඇත්තටම මොනවද මේ දිනවල කරන්නේ?
මගේම තවත් තිර රචනයකට අනුව සිහින අනන්තේ කියලා චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒකත් ආදරය ඔස්සේ ලියැවුණු කතාවක්. මෙතැනදී මගේ අධ්යක්ෂණ සිහිනය ඉෂ්ට වෙනවා. මාලනී ෆොන්සේකා මහත්මියව මම පළමුවරට අධ්‍යක්ෂණය කරනු ලබනවා. නුදුරු අනාගතයේදී අපේ ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.
ආදර කතාම ලියන්නේ ආදරය ගැන පසුතැවීමක් එහෙම තියෙනවාද?
ආදරයට මම හැමදාම ආදරෙයි. මාව ජීවත් කරවන්නේ නිර්මාණ කරවන්නේ ආදරය. ආදරය කිව්වහම හරි පුළුල් කාරණයක්නේ. යුගාත්‍රා කියන්නේ ආදරයට වැඩිය යටි පෙළත් බෞද්ධ දර්ශනය ගැන කතා වෙන්නේ. උඩු පෙළේ හුදු ආදර කතාවක් වුණාම ආදරයට නෙමෙයි ත්‍රාසය, කුතුහලය අනුවයි පෙළ ගැසෙන්නේ. ඉතින් ආදර කතාම කියන්න බැහැ. නමුත් කෙනෙකුට කියන්න පුළුවන් ආදර කතාමයි කියලා.
තවම කට්ටිය කියන්නෙ චන්නගේ ‘අංජලිකා’ තමයි චිත්‍රපටය කියලා
අංජලිකා කියන්නේ මගේ ජීවිතයට බැඳුණු නමක්. අංජලිකයි චන්නයි දෙන්නෙක් නෙමෙයි. ඒ තරමටම ඒ නම් දෙක එකට බැඳිලා තියෙන්නේ. මොකද මගේ මංගල අධ්‍යක්ෂණය අංජලිකා. ඒ වගේ දැවැන්ත නිර්මාණයකින් සිනමාවට අඩිය තියන්න ලැබීම මම ලබපු ලොකු ජයග්‍රහණයක්. ඉතින් මම හැමදාම ආදරය කරන කතාවක් තමයි අංජලිකා කියන්නේ. ඒක මගේ නැවුම් නිර්මාණය. හැබැයි මම හැමදාම එකම විදිහේ නිර්මාණ කරන්න ආස නැහැ. මම ආසයි වෙනස් වෙනස් විදිහේ නිර්මාණ ප්‍රේක්ෂකයාට තිළිණ කරන්න. දැනට මම චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කරලා තිබෙනවා.
ටෙලිනාට්‍යයක් කරන්න කැමැති නැහැ.
ඒකට වෙහෙසෙන එක අපරාධයක් කියලා හිතෙනවා. ඒකට මාස ගණනාවක් මහන්සි වෙලා බලලා ඉවර කරනවානේ. ඊට පස්සේ මනුස්සයෙකුට මතකවත් නැහැනේ. අඩුම ගානේ මෙහෙම නාට්‍යයක් තිබුණවත් කියලා කියන්නේවත් නැහැ. ඊට වැඩිය චිත්‍රපටයක් කළොත් කතාබහ වෙනවා. අංජලිකා කරලා අවුරුදු පහළොවකටත් වැඩියි. අවුරුදු 17 ක් තිස්සේ මිනිසුන්ගේ ආදරය අඩුවක් වෙලා නැහැනේ. ඒ කාලේ ටෙලි නාට්‍ය මතක තිබුණට දැන් යන ටෙලිනාට්‍යවලින් කීයෙන් කියද මිනිසුන්ට මතක තියෙන්නේ.
දිනේෂ් විතාන