කෝලම් කුට්ටමම මට අමතක නොවන මතකයක් - සුජානි මධුවන්ති




දවසින් දවස කලා ක්ෂේත්‍රයට අලුත් මුහුණු එකතු වෙනවා. අද රසඳුන මේ සොඳුරු කතාබහත් කලා ලොවට අලුතින් පෑයූ රංගන ශිල්පිනියක් ගැන. මේ දිනවල ඇය අපිට සමීප වෙන්නේ කෝලම්කුට්ටමේ භාග්‍යා ලෙසින්. භාග්‍යාට පණ පොවන්නේ සුජානි මධුවන්ති. මේ කතාබහ සුජානි සමඟ.


පාසල් කාලෙත් කලා කටයුතුවලට සම්බන්ධ ද?


ඔව්. මම ඉගෙන ගත්තේ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ. පාසල් කාලයේ මම නර්තනය හැදෑරුවා. නර්තන සහ සංගීත පැත්තෙන් හැමදේකටම වගේ සහභාගී වුණා. ඒ වුණත් පාසල් වේදිකාවේ නාට්‍යයවලට නම් සම්බන්ධ වෙලා නැහැ. මට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඒ නිසා නර්තනය, ගායනය සහ චිත්‍රවලට ඉදිරිපත් වෙලා තියෙනවා.


කවදා හරි රඟපාන්න ආසාවක් තිබ්බද?


නැහැ, ඇත්තටම එහෙම එකක් තිබුණේ නැහැ. එකපාරට තමයි මේ අවස්ථාව ලැබුණේ.


කවුරු වෙන්නද ආස කළේ?


නැටුම් ගුරුවරියක් වෙන්න.


කොහොමද රංගනයට අවස්ථාව ලැබුණේ?


නාඩගම්කාරයෝ Fb පේජ් එකේ පොස්ට් එකක් තිබුණා නැටුම් කණ්ඩායමකට ගැහැනු ළමයි තෝරා ගන්නවා කියලා. ඒකට මමත් ඇප්ලයි කළා. මටත් ඔඩිෂන්වලට ඇරයුම් ලැබුණා. ඒ ඔඩිෂන් එකෙන් මම සිලෙක්ට් වුණා. නාඩගම්කාරයෝ අවසන් එපිසෝඩ් තුනේ වගේ නර්තන කණ්ඩායමේ මම හිටියා. එතැනින් පස්සේ තමයි කෝලම්කුට්ටමේ භාග්‍යා කියන චරිතය මට ලැබෙන්නේ.


අමතක නොවන අත්දැකීම් ඇති?


කෝලම්කුට්ටමම මට අමතක නොවන මතකයක්. සද්ධා සර් සහ ශිවගුරුනාදන් සර්ගේ එකතුවකින් නිර්මාණය වෙන නාට්‍යයකට සම්බන්ධ වෙනවා කියන එකම ගොඩක් අයගේ හීනයක්. ඉතින් මම අලුත්ම කෙනෙක් වෙලා මට ඒ අවස්ථාව ලැබුණා කියන්නෙම භාග්‍යාගේ භාග්‍යයක්. ඒ එක්කම අපි ගඟ මැද්දේ සූටින් කරන්නේ, හරිම බයෙන් තමයි අපි ඉන්නේ.


පීනන්න බැරිද?


ඇත්තටම බැහැ. දවසක් මමයි කාවින්ද්‍යා අක්කිවයි දවසක් ගඟේ ඔරු පදිද්දී ගහගෙන ගියා. ඒ එක්කම තව දවසක් කුණාටුවකට අහු වුණා. ඒ වගේ අත්දැකීම් තියෙනවා.


කෝලම්කුට්ටම කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ප්‍රවීණ අයගෙන් ලැබෙන ගුරුහරුකම් මැද හිමින් ගමනක් යන්න උත්සාහ කරනවා. මම මේක අවස්ථාවක් කර ගන්නවා සද්ධා සර්, ශිවා සර් වගේම අපේ සහය අධ්‍යක්ෂක් ධනංජය මංචනායක අයියා සහ කැමරාකරණය කරන ප්‍රභාත් දර්ශන අයියා ඇතුළු නාඩගම්කාරයෝ හි කණ්ඩායමේ හැමෝම ලබා දෙන සහයෝගයට ස්තූතිවන්ත වෙන්න. මොකද ඒ අය නිසා තමයි භාග්‍යා ප්‍රේක්ෂකයින් අතරට යන්නේ.


ප්‍රභාත් දර්ශන අයියගෙන් නම් මම බැණුම් අහලත් තියෙනවා. හැබැයි මම ඒ හැමදිනකම රංගනය ගැන ඉගෙන ගත්තා සහ මම හැඳුණා. ඒ නිසා බොහොම ආදරෙන් හැමෝම මතක් කරනවා.


කොහොමද භාග්‍යාට ලැබෙන ප්‍රතිචාර


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. භාග්‍යා කියන්නේ, බුද්ධිමත් විදිහට හිතන පතන යාළුවන්ට ගොඩක් ලෙන්ගතු අවංක චරිතයක්. ඒ නිසා ගොඩක් අය භාග්‍යාට ආදරේ කරනවා. භාග්‍යා නිසා ඒ ආදරේ මටත් ලැබෙනවා.


භාග්‍යාට ආදරේ කරන ප්‍රේක්ෂකයින්ට මොනවද කියන්න තියෙන්නේ?


මට මේ විදියටම හැමදාම ආදරෙන් ඉන්න. මම ඉදිරියටත් ඒ ආදරේ රැකගෙන නිර්මාණවලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා මා එක්ක දිගටම ආදරෙන් ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.


දිගටම රඟපාන්න ද කැමැත්ත


දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ආසයි. ඒ වගේම සංගීත පැත්තෙන් ගායනයෙන් ඉදිරියට යන්නත් ආසයි. මම රංගනයට එන්න කලින් 2022 වසරේ හිරු ස්ටාර් වේදිකාවේ ගීත ගායනා කළා. හැබැයි අවසන් 72දෙනා අතරට තමයි එන්න පුළුවන් වුණේ. නමුත් ඒ හිරු ස්ටාර් වේදිකාව නිසා මට සංගීත ක්ෂේත්‍රයේ අවස්ථාවන් ලැබුණා. දැනටත් මට ලැබෙන ආරාධනා අනුව බෑන්ඩ්වල ගීත ගායනා කරනවා.


රංගනය ගැන හැදෑරීමක් කරනවද?


මම සද්ධා මංගල සර් සහ චේතනී මිස් කරන ඉම්පාස් ආයතනයෙන් තමයි රංගනය කියන එක මොකක් ද කියලා හරි හැටි දැනගත්තේ. තවමත් මම එහි රංගනය ගැන හදාරනවා.


අම්මා කැමති වුණාද කලාවට එනවට?


අම්මා විතරයි මගේ ජීවිතේ ඉන්නේ. ඉතින් එයා හැම දෙයකදීම මගේ පස්සෙන් හිටියා. මට ලොකු ශක්තියක් මගේ අම්මා. කිසි දවසක කිසි දෙයක් අඩුපාඩු කළේ නැහැ. අඩුවක් දැනෙන්න දුන්නේ නැහැ. අම්මගේ ආශිර්වාදය ඇතුව මම මේ ගමන සතුටින් යනවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


ප්‍රේක්ෂක ආදරේ ලබන්න ලබන්න හරිම ලෝබකමක් දැනෙනවා. ඒ නිසා මේ ආදරේ ලබන ගමන් හොඳ නිර්මාණවලට දායක වෙන එක තමයි අනාගත බලාපොරොත්තුව.




Previous Post Next Post