ගීතය ගයන්නේ කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව බව මේ වෙද්දී නොරහසක්. ගීතය එළිදැක්වුණේ කාන්තා දිනය දවසේ. සමිතාගේ ගීත බොහොමයක් වගේම මේ ගීතයත් ඉතා ඉක්මනින් රසික හදවත් තුළ ලැඟුම් ගත් ගීතය බවට පත් වුණා. ඉතින් ගීතයට ලැබෙන ප්‍රතිචාර මෙන්ම ඉදිරියට අහන්න දකින ලැබෙන නිර්මාණ ගැන කළ සොඳුරු කතාබහයි මේ....
කොහොමද අලුත්ම සින්දුව මුලින්ම දැනුණේ...
මම ගොඩක් ආසාවෙන් හිටියා අකිල මල්ලිට කියලා පද රචනාවක් කර ගන්න. හැබැයි මේ මම කියලා කරපු නිර්මාණයක් නෙවෙයි. එයාම හිතලා කරපු නිර්මාණයක්. අකිල කියන්නේ පුදුම හොඳ දක්ෂ ගුරුවරයෙක්. ඒ වගේම එයාගේ අදහස් හරි අමුතුයි. ඒ වගේ කෙනෙක් අතින් ලියවුණු මේ පදමාලාවත් හරි අමුතුයි. ගොඩක් අය ආදරේ කරන පද ටිකක්. ඒ වගේම උදාර සමරවීර හරිම ලස්සනට මේ ගීතය සංගීතවත් කළා. මිනිසුන්ගේ හදවතටම දැනෙන්න. මට ලස්සනට කියන්න පුළුවන් විදියට. ඒ එක්කම මෙතැනදී මතක් කරන්නම ඕනේ ගීතයට අදාළ රූප රචනාව කරපු අපේ චාරුකව. පුදුම විදියට හදවත්වලට දැනෙන විදියට රූප රචනාව අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මට ඒක කොච්චර බැලුවත් මදි. තරින්දි සහ ඉසුරුවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ දෙන්නත් එයාලගේ උපරිමය මේකට ලබා දීලා තියෙනවා.
කොහොමද ලැබෙන ප්‍රතිචාර...
සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ මොහොතේත් ඒ ලැබෙන ආදරණීය ප්‍රතිචාර එක්ක මම ඉන්නේ. මට ආදරය කරන අය හැමදාම වගේ පුදුම විදියට ආදරේ කරනවා. ඒක මම ලබපු වාසනාවක්. මොකක් හරි ආත්මයක මම පිනක් කරලා ඇති.
කොහොමද ගීතයට ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය...
මගේ චිරන්ත, මගේ දුව පුතා පුදුම විදියට මට සහයෝගය ලබා දෙනවා. ඒ සහයෝගය නැත්නම් මට මෙතරම් හොඳ නිර්මාණ කරන්න වෙන්නේ නැහැ. මේ ගීතය කරන්න කලින් සහ ගීතය අවුට් වුණාට පස්සේ දක්වන ප්‍රතිචාර ගැන කියන්න වචන නැහැ. මම හිතනවා මම හැමදාම ඒ ආදරේ ලබන්නත් පිං කරලා ඇති කියලා.
ඉදිරියටත් අකිලගේ පද රචනා එක්ක ගීත අහන්න ලැබෙයිද?
අනිවාර්‌යෙන්ම ඉදිරියට ගීත කිහිපයක් නිර්මාණය කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මෙතැනින් පස්සේ එන්න තව අලුත් ගීත තියෙනවද?
පසුගිය දවස් ටිකේ මම පියත් රාජපක්ෂ එක්ක ‘මා දිනවන්න’ ගීතය සහ ගයශාන් විරවංශ එක්ක ‘ආලෙන් නුඹ ඕනා’ කියන අලුත් සින්දු දෙක කළා. විෂුවල් දෙකකුත් කළා. තව ඉදිරියේදී නිර්මාණයක් එළිදක්වන්න තියෙනවා.
ළඟදීම එන්න තියෙන සින්දුව ගැන දැන්ම කියන්න බැරිද?
ඒක මගේ ගීතයක් නෙවෙයි. බොහෝ දෙනා ගොඩක් ආදරේ කරන ගායකයෙක් සමග මම ගායනා කරන ගීතයක්. ඒක නුදුරේම අහන්න දකින්න ලැබෙයි. ඒක කා එක්ක කියලද නම් තාම කියන්නේ නැහැ.
කවී එක්ක සින්දුවක් කරන්නේ නැද්ද?
දුව එක්ක සින්දුවක් කරන්නත් මම ගොඩක් කල් ඉඳන් ප්ලෑන් කරන් යනවා.
කවී ටිකක් සින්දු කියන්න කම්මැළි වෙලා වගේ නේද?
කම්මැළි කියන්නේ එයා තාම කැමති මා එක්ක ගෙදර අය එක්ක ඉන්න. එහෙම බැලුවම ඉතින් සින්දු පැත්තට එච්චර උනන්දුවක් නැහැ. හැබැයි දුවටත් ලස්සන හඬක් තියෙනවා. එයාට ආදරේ කරන අය වෙනුවෙන් එයාගේ ලස්සන නිර්මාණයක් ළඟදීම එළිදක්වන්නත් ඉන්නවා.
ගොසිප් ගැන මොකද හිතන්නේ...
මෙහෙමයි. මම දකින්නේ ගොසිප් කියන දේත් අපිට වැදගත්. ගොසිප් නැත්නම් අපි ෆේල්. මොකද අපි ගැන කවුරුත් කතා කරන්නේ නැත්නම් අපිව වැඩක් නැහැ කියන එකනේ කියන්නේ. අපි ගැන කතාකරන තරමට හොඳයි. මොනවා හරි දෙයක් තියෙන නිසානේ අපි ගැන කතා කරන්නේ. එතකොට ගොසිප් හදන, අපි ගැන හොයලා බලන ඒ අයත් කරන්නේ රස්සාවක්නේ. ඒ නිසා ඒ අයගේ රස්සාවටත් අපි උදව් කරන්න ඕනේ. ඒ නිසා මම කවදාවත් මම එයාලට වෛර කරන්නේ නැහැ. මට ආදරේ කරනවා නම් සිය දෙනෙක් ඒ අතරට ගොසිප් කරන දෙන්නෙක් තුන්දෙනෙක්වත් මට ඉන්නත් ඕනේ. එහෙම නේද? ඒ නිසා මට ආදරේ කරන අයට වගේම මට වෛර කරන මට බනින අයටත් මම ආදරෙයි. මොකද ඒ අය කවදාවත් මාව දැකලා නැති මගේ මූණට හම්බවෙලා නැති කවදාවත් වචනයක්වත් කතා කරලා නැති අය. නමුත් එයාලගේ වැඩ පාඩු කරන් කවුරු හරි කියපු දෙයකට මට බනිනකොට ඒකෙත් පොඩි ජොලියක් තියෙනවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
මම දන්නේ නැහැ මගේ ඉදිරිය කොහොමද කියලා. මම ගොඩක් සැලසුම් කරලා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මම මේ ඉන්න මොහොත සතුටින් ඉන්නයි හැමවිටම උත්සාහ කරන්නේ.