ඒ වගේ අවස්ථාවක් ලැබුණු පළමු කෙනා මං -හර්ෂි අංජුමාලා



දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන වේදිකාව ඇය ජනප්‍රියම පුංචි තරුව කරමින් කලා ලොවේ දොරටු විවර කර දුන්න ද ඇය සතු සහජ රංගන කුසලතාව ඇය රංගන ක්ෂේත්‍රයට යොමු කළාය. සිඳූ ටෙලි නිර්මාණය හරහා පුංචි තිරයට පිවිසි ඇය මේ වනවිට සම්මානිත සිනමා නිර්මාණ තුළින් රිදී තිරයේ තම දස්කම් දක්වන්නීය. ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ආරියරත්න ඇතුගලයන්ගේ සහෝ සිනමා සිත්තමේ අභියෝගාත්මක රංගනයක යෙදෙන ඇය හර්ෂි අංජුමාලාය.


සහෝ තාම මෙරට ප්‍රදර්ශනය ආරම්භ වෙලත් නෑ. ඒත් මේ වෙද්දි ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙලා. ඔබත් එහි කොටස්කාරියක් විදිහට මොන වගේ හැඟීමක් ද දැනෙන්නේ.


2023 අප්‍රේල් අන්තිම වෙද්දි සහෝ මෙරට ප්‍රදර්ශනය ආරම්භ වේවි. සිනමාවට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට ඒක ගොඩක් සතුටුදායක ආරංචියක් වේවි. දැන් රූගත කිරීම් කරලත් අවුරුද්දක් විතර වෙනවා. කොරෝනා වසංගතය නිසා අධ්‍යක්ෂවරයා වගේම නිෂ්පාදකවරයාත් කැමති වුණේ නැහැ සුදුසු කාලය එනකල් මේක රිලීස් කරන්න. කණ්ඩායමක් විදිහට අපි හැමෝම මේ සඳහා ගොඩක් මහන්සි වුණා. මේ වන විටත් විදෙස් සම්මාන උලෙළ නියෝජනය කරලා සම්මාන රැසක් හිමිකරගෙන තිබීම ලොකු සතුටක් වගේම ආඩම්බරයක්.


 

සහෝ කියන්නේ විශ්වවිද්‍යාල සංස්කෘතිය වටා ගෙතුණු කතාවක් වුණත් ජාත්‍යන්තර ඇගයීමට ලක්වුණා. මොකක්ද මේකෙ විශේෂත්වය?


සහෝ දැනටමත් විදෙස් ඇගයීමට ලක්වෙලා හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නළුවා ඇතුළු සම්මාන රැසක් හිමිකරගෙන තියෙනවා. සහෝ කියන්නේ විශ්වවිද්‍යාල ජීවිතය පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. මේකෙ කතාව ගොඩනැඟෙන්නේ යාළුවන් 4 දෙනෙක් වටා. එක් කෙනෙක් කථිකාචාර්යවරියක්. සහෝ කියන්නේ මේකෙ සජීවීව හමු නොවන චරිතයක්. ඒක තමයි හැමෝටම කුතුහලය ගෙනෙන හැමෝම හොයන චරිතය. සාමාන්‍ය ගුරු ගෝල සබඳතාවට එහා ගිය බැඳීමක් නිසා ඇතිවන සිදුවීමක් ඔස්සේ තමයි මේ කතාව ගෙතෙන්නේ. මං දායක වෙන්නේ හිරූ කියන චරිතයට.


විශ්වවිද්‍යාල ජීවිතය තුළ අපට නිතර අහන්න, දකින්න ලැබෙන චරිත වටා ගෙතුණු ආදර කතා, අරගල, දුක සතුට මුසුවුණු ලස්සන සිදුවීම් සමූදායක් එක්ක හරි ලස්සනට ගලා ගෙන යන කතාවක්. මං ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේක නරඹන්න කියලා. ඔබටම පුදුම හිතේවි මේ රඟපෑමක් ද නැත්නම් සජීවී චරිතම ද කියලත්.


 සහෝ සඳහා දායක වෙද්දී ඔබත් ඒ විශ්වවිද්‍යාලයේ ම සිසුවියක්. ඒක ඔබට අලුත් අත්දැකීමක් වුණා ද?


සහෝ රූගත කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ. රිවස්ටන්වලත් සීන් කිහිපයක් කළා. ඇත්තම කිව්වොත් ඔය අරගල, වතුර ගහන ඒවා මට කවදාවත් කැම්පස් කාලෙදි විඳින්න ලැබුණු දේවල් නොවෙයි. ඒ නිසා මේක මටත් අභියෝගයක් වුණා. හැම වෙලේම අපි උත්සාහ කළේ මේක තාත්ත්විකව සජීවී ලෙසින් ම යථාර්ථයක් කරන්න. ගොඩක් අපහසුතාවලට මුහුණ දෙන්න වුණා. මං හිතනවා ප්‍රේක්ෂකයන්ට මේක රඟපෑමක් විදිහට දැනෙන එකක් නෑ කියලා.


ආරියරත්න ඇතුගලයන් කියන්නේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන අත්දැකීම් බහුලම පුද්ගලයෙක්. ඔබට මේ සඳහා ආරාධනා ලැබෙන්නේ කොහොමද ?


මං සර්ගෙ ගෝලයෙක් නොවුණට සර්ගේ වේදිකා නාට්‍ය බලලා තිබුණා. සර් කළේම දැවැන්ත නිර්මාණ. ඒ වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මේක සර්ගෙ පළමු දිගු සිනමා නිර්මාණය. ඒ දවස්වල කැම්පස් එක ඇතුළෙ සර්ගේ ස්ක්‍රිප්ට් රීඩින් තිබුණා. ඒත් මට එක්සෑම්. කොහොමහරි සර් ළාවට වගේ දැනගෙන ඉඳල තියෙනව මං ටෙලි නාට්‍යවල රඟපානවා කියලා. සර් මට යාළුවෙක් අතේ පණිවුඩයක් එවලා තිබුණා ඇවිත් හමුවෙන්න කියලා. මගේ ස්ක්‍රීන් ටෙස්ට් එක කළෙත් කැම්පස් එක ඇතුළෙමයි.


මං කවදාවත් හිතුවෙ නෑ කැම්පස් අවුට් වෙන්න කලින් සර්ගෙ වැඩකට සම්බන්ධ වෙන්න ලැබේවි කියලා. දහසක් දෙනා අතුරෙන් මට අවස්ථාවක් ලැබුණා කියන්නෙම මගෙ වාසනාවක්. මං දන්න තරමින් ඒ වගේ අවස්ථාවක් ලැබුණු පළමු කෙනා මං. සර් එක්ක වැඩ කරනවා කියන්නෙම ඇක්ටින් ස්කූල් එකක ඉන්නව වගේ. ඒක වෙනමම අත්දැකීමක්.


 


ඔබත් සිනමාවට ආධුනිකයි. මේ ඔබේ දෙවැනි අත්දැකීම. ඇතුගලයන් කියන්නෙ ඕනෑම කෙනෙකු තුළ තියෙන දක්ෂතාව එළියට ගන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක්. ඔබේ හැකියාව ගැන ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාරය මොන වගේද?


සහෝ තාම ප්‍රදර්ශනය නොවුණත් එඩිටින්වලදී සර් මට නිතරම කිව්ව අංජු ඔයාගෙ නියම ඇක්ටින් කැපෑසිටි එක දුන්න කියලා. ඒ වගේම අපේ ඒඩී සරත් සේනාරත්න අයියත් කිව්වා වොයිස් කරද්දී මං ඒ ඒ මූඩ්ස්වලට හරි ලස්සනට හැඟීම් දෙනව කියලා. සර් ගොඩක් මාව ඇගයීමට ලක් කළා. සර්ට සතුටුයි කියන්නේ මං ලොකු පියවරක් ඉදිරියට තිබ්බ කියන එක කියලයි මං විශ්වාස කරන්නේ. සර් මාව විශ්වාස කරලා සර්ගේ මුල්ම නිර්මාණයේ ප්‍රධාන චරිතයක් මට දුන්නා. සර් මං ගැන තිබ්බ විශ්වාසය සර්ගෙ කටින්ම අහන්න ලැබුණා කියන්නේ “අංජු ඔයා ඒ දේ හරි ලස්සනට සාර්ථකව කළා“ කියන එක. ඒක මට ගොඩක් වටිනවා. සර් හැමවෙලේම දෙන්නේ මට චැලේන්ජ් එකක්. එක චරිතයකට කොටු කරන්නේ නෑ. සර්ට ඕනෑම කෙනකුගේ දක්ෂතාව එළියට ගන්න පුළුවන්. ඒක හොඳ අධ්‍යක්ෂවරයකුගේ ලක්ෂණයක්. චිත්‍රපටියෙන් පස්සේ සිසිවන වුවන කියලා ඔහුගේම ටෙලි නිර්මාණයකටත් දායක වෙන්න ලැබුණා. ඒක මීට වෙනස්ම චරිතයක්. මං තාම සර්ගේ නිර්මාණ දෙකකටයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒත් මට වැඩ ගොඩක් කරන්න තිබුණා.


 

ඔබ විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නව කියලත් ආරංචියි. ඒකද මේ දවස්වල ලැබෙන නිර්මාණ භාර නොගන්නේ?


ටික කලකට මහත්තයා ළඟට යන්න හිතාගෙන ඉන්නවා. ඊට කලින් පොඩි විවේකයක් ගන්නත් අදහසක් තියෙනවා. ඒ කාලයේ රංගනය ගැන තවදුරටත් හදාරන්නයි අදහස. එතකොට නැවත එද්දි තවත් වටිනාකම වැඩිවේවි. කවදාවත් මම රංගනය අතාරින්නෙ නෑ. රාජිනී තාමත් රූගත කෙරෙනවා. රාජිනී කියන්නේ මට ලොකු ප්‍රේක්ෂක පිරිසක් හැදුනු නිර්මාණයක්. ඒක මට හොඳ ආරම්භයක් වුණා. නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා. ඒත් භාර අරන් අතරමඟ දාල යන්න බැරි නිසා වැඩ භාරගත්තෙ නෑ. තව පොඩි කාලයක් තියෙන නිසා හොඳ සිනමා නිර්මාණයක් ලැබුණොත් භාරගන්න සූදානම්.


 





Previous Post Next Post