සිතිජ ජයසේකර කියන්නෙ මේ දිනවල පුංචි තිරයේ රංගන ශිල්පියෙක් විදියට සහ නිවේදනයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන තාරුණ්‍යය නියෝජනය කරන සුන්දර චරිතයක්.
2023 අලුත් අවුරුද්දක අපි ඉන්නෙ, මොන වගේ ඉලක්ක එක්කද වසර පටන් ගන්නෙ…
ගෙවුණු 2022 කියන්නෙ ටෙලි නාට්‍යය පැත්තෙන් ගත්තම මට හොඳ අවුරුද්දක්. ජීවිතේ පළවෙනි වතාවට සම්මානයකට පවා නිර්දේශ වුණා. ඒ එක්කම අදින් ආරම්භ වන 2023 දී බලාපොරොත්තු වෙනවා සැලකිය යුතු මට්ටමේ වැඩ ටිකක් කරන්න. ඒ අනුව සාර්ථක වසරක් බවට පත් කරගන්න එක තමා අරමුණ.
මේ කාලේ මොනවගේ නිර්මාණ එක්කද සිතිජ ඉන්නෙ…
රූපවාහිනී නාලිකාවේ විකාශය වන අයිස් ටෙලි නාට්‍යයේ රූපගත කිරිම් සිදුවෙනවා. ඒ එක්කම දෙරණ නාලිකාවේ විකාශය වන “අපේ ජනකතා“ හි රූපගත කිරීම්වලට යනවා. ඒ එක්කම ජාතික රූපවාහිනීයේ නුග සෙවණට නිවේදනයෙන් එකතු වෙනවා.
නළුවෙක් වෙලා මේ යන්නෙ කී වෙනි වසරද?
වසර හයක් වෙනවා. දැන් පටන් ගන්නෙ හත්වෙනි වසර.
ආපස්සට හැරිලා බලද්දී ඒ කාලය තුළ කළ කී දෑ ගැන තෘප්තිමත් ද?
ඒ වසර හය තුළ මුල් වසර තුන හතර ඉතාම මන්දගාමීයි. හැබැයි ඊට පස්සෙ සැලකිය යුතු මට්ටමක වැඩ ප්‍රමාණයක් ලැබෙනවා. ජනප්‍රිය තලයේ ටෙලි නාට්‍යය කිහිපයකට සහ සම්මානනීය මට්ටමේ ටෙලි නාට්‍යය කිහිපයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. රූපවාහිනී නාලිකා කිහිපයක නිවේදකයෙක් විදියට වැඩ කළා. ඒ නිසා මෙතෙක් ආව ගමන ගැන සතුටක් තියෙනවා. නමුත් මීටත් වඩා දේවල් ටිකක් කරගන්න මට හැකියාව තිබුණත් මගේ පෞද්ගලික ප්‍රශ්න ටිකක් නිසා ඒ දේවල් කර ගන්න බැරි වුණා.
පෞද්ගලික ප්‍රශ්න කියන්නෙ ආදරේ සම්බන්ධ ප්‍රශ්න ද?
කොහෙත්ම නැහැ. නමුත් ජීවිතේ ගත්ත සමහර තීරණ. ජීවිතේට ළංකර ගත්ත මිනිස්සු නිසා ජීවිතේ සමහර තැන්වලදි කොමාව වෙනුවට තිත තියන්න වුණා.
ඒ කියන්නෙ ඔබ ඕනෑවට වඩා මිනිස්සුන්ව විශ්වාස කරන කෙනෙක් ද?
සීයට දාහක් විශ්වාස කරන්න ගිහින් තමයි ප්‍රශ්න ඇති වුණේ. මම යාළුවන්ට ඉක්මනින් ළංවෙන, හැමෝම අවංකයි කියලා විශ්වාස කරන නිසා මගේ අතේ තියෙන්නේ රුපියල් 100ක් ද, කීයද, ඒ මුදලම මම දුන් කෙනෙක්. එහෙම නිසා ගොඩක් දේවල් ජීවිතේ නැති කරන් තියෙනවා. මේ වෙද්දි නම් ඒකේ අනිත් පැත්ත. දැන් එහෙම විශ්වාස කරන්නෙ නැතිම තරම්.
මෙතෙක් කළ චරිත අතරේ හැරවුම් ලක්ෂ්‍යය වුණු චරිතය මොකක් ද?
චරිත දෙකක් තියෙනවා. ජනප්‍රිය තලයේ නිර්මාණයකින් ප්‍රේක්ෂකයා අතරට යන්න ලැබුණු හොඳම අවස්ථාව තමයි “සංගීතේ“ ටෙලි නාට්‍යය. ඒ හරහා තමයි මිනිස්සු අතරට සිතිජ කියන නම යන්නෙ. ඒ නිසා ජනප්‍රියත්වය පැත්තෙන් ඒක හැරවුම් ලක්ෂ්‍යයක්. අනිත් නිර්මාණය තමයි ජාතික රූපවාහිනීයේ විකාශය වුණු “ගමනේ යා“ ටෙලි නාට්‍යය. ඒක මගේ තියෙන දක්ෂතාව පෙන්නුම් කරන්න ලැබුණු නිර්මාණයක්. ඒ නිසා එවැනි චරිතයක් කරපු පළවෙනි වතාව සහ ඒ නිර්මාණය තුළින්ම මම සම්මානයට නිර්දේශ වුණා. ඒ නිසා දක්ෂතාව පැත්තෙන් මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ “ගමනේ යා“නිර්මාණය.
පළමු සිනමා නිර්මාණය ගැන කියමු
කැලුම් ආර්යන් අයියාගේ “විලන්“ චිත්‍රපටය තමයි මගෙ ප්‍රථම සිනමා අත්දැකීම. ඒක මේ වසරේ දී දැක බලාගන්න ලැබෙයි. එහි මම කළේ සෙකන්ඩ් රෝල් එකක්. හැබැයි මම හරිම ආසාවෙන් ඒ චරිතය කළා. ප්‍රධාන චරිත තුළින් සිනමාවට එන්නත් මේ වෙද්දි නිර්මාණ දෙකකට ඇරයුම් ලැබිලා තියෙනවා. මේ වසරේදී ඒවායේ රූපගත කිරිම් ආරම්භ වෙනවා.
සමහර අය කියන්නෙ වෘත්තීය මට්ටමින් කලාව කරන්න අමාරුයි කියලා…
ඇත්ත කතාව කිව්වොත් වෘත්තීය මට්ටමින් කලාව කරන්න අමාරුයි. මමත් ඒක පෞද්ගලිකව පිළිගන්න කාරණාවක්. හැබැයි මාසෙකට දවස් 15-20ක් ෂූටින් තියෙනවා නම් වෘත්තීය මට්ටමින් කලාව කරන්න පුළුවන්. හැබැයි අපි දන්නෙ නැහැ අපිට ඇරයුම් තියෙයිද නැද්ද කියලා. 2021 වසර කියන්නෙ මගෙ ජීවිතේ අඩුවෙන්ම වැඩ කරපු වසරක්. ඒ වගේ අවුරුදු ඕනේ කෙනෙක්ගෙ ජීවිතවලට එන්න පුළුවන්. ඒ නිසා වෘත්තීය මට්ටමින් කලාව කරන එක අවදානම්. 2019 එක මාසයක් තිබ්බා දවස් 30ම ශූටින්. මොකද එතකොට මම ටෙලි නාට්‍යය 5ක වැඩ. එහෙම වැඩ තියෙනවා කියන්නෙම අපි කොහොමත් වෘත්තීය මට්ටමින් කලාවේ නිරත වෙනවා. හැබැයි කෝකටත් තව ව්‍යාපාරික කටයුත්තක හරි නිරත වුණොත් හොඳටම හොඳයි.
නිවේදනයත් රංගනයට වගේ ආස දෙයක් ද?
මම මේ ගමන පටන් ගත්තේ csn නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයෙක් විදියට. අදටත් මම විශ්වාස කරනවා මගෙ ඇඟේ ඉන්න නළුවට වඩා නිවේදකයා දක්ෂයි කියලා. නිවේදනයත් මම ගොඩක් ආදරේ කරන වෘත්තීයක්. නමුත් වැඩි කැමැත්ත රඟපෑමට.
සිතිජ මේ වෙද්දි ආදරවන්තයෙක් ද?
දැන් තනිකඩයි.
ජීවිතේ ලොකු ආදරයක් අහිමි වෙලා වගේ...
පැහැදිලිවම ඔව්. මම උපරිමයෙන්ම ආදරේ කරපු කෙනෙක්. හැබැයි අපිට ඒ ආදරේ ලැබෙන්නේ නැත්නම් ලොකු දුකක්.
මේ අලුත් අවුරුද්දේවත් ආදරයක් ගැන හිතනවද?
එහෙම ආදරයක් මගේ ජීවිතේට ආයේ එන එකක් නැහැ. මොකද දැන් ආදරේ ගැන මට විශ්වාසයක් නැහැ. ඒ නිසා මේ වෙද්දි තනිකඩව ඉන්න එක හොඳයි කියන එක මම විශ්වාස කරනවා. සීයට අනූවක් හැමදාම තනිකඩව ඉන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒක වෙනස් වෙන්නත් පුළුවන්.