දැන් මම පෙම්වතෙක් ‍නොවෙයි - උදාර චින්තක



වෙළඳ දැන්වීම් හරහා කලාවට අවතීර්ණ වූ උදාර රාජපක්ෂ රංගනයෙන් දායක වන පළමු සිනමා නිර්මාණය තිරගත කිරීමට සියල්ල සුදානම් නිසා ඒ ගැන වගේම ඔහුගේ කලාවේ හෙට දවස ගැන කතා කරන්න  එක් වුණා.


 

නම - උදාර චින්තක රාජපක්ෂ


පාසල - ඩී. එස් සේනානායක විද්‍යාලය.


පවුලේ විස්තර - මගේ දෙමාපියන් සහ මගේ සහෝදරයා නම් නීති ක්ෂේත්‍රය පැත්තෙන් කටයුතු කරන්නේ. මම විතරයි කලාවට සම්බන්ධව කටයුතු කරන්නේ.


පාසල් කාලයේදී කලාවට සම්බන්ධ ද?


පාසලේ දී නම් ක්‍රිකට් ක්‍රීඩාවට සහ මලල ක්‍රීඩාවට තමයි වැඩියෙන්ම සම්බන්ධ වුණේ.


කොහොමද කලාවට එන්නේ


මම මුලින්ම එන්නේ රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීම් හරහා. මේ වෙද්දී වෙ‍ෙළඳ දැන්වීම් 50කට වැඩි ප්‍රමාණයක් මම කරලා තියෙනවා. ඔය අතර මම සනුක වික්‍රමසිංහ ගයන සරාගයේ මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වෙනවා. ඒක 2016/2017 කාලය තුළ තරුණයන් අතර ජනප්‍රිය වෙනවා. ඒකත් එක්ක තමයි චිත්‍රපට වලට ඇරයුම් ලැබෙන්නේ.


මේ වෙද්දී චිත්‍රපට කීයක් කරලා තියෙනවද?


චිත්‍රපට තුන හතරක් කරලා තියෙනවා. මගේ පළමු චිත්‍රපටය මේ අවුරුද්දේ අග හෝ ලබන වසරේ මුල තිරගත කරන්න සියල්ල සූදානම්.


අපි ඒ චිත්‍රපට ගැන මතක් කළොත්?


දැනට මම මගේ පළමු චිත්‍රපටය ගැන පමණක් කියන්නම්. ඒක නම් කරලා තියෙන්නේ සුරයා වීරයා කියලා. එය තිර රචනා කරමින් අධ්‍යක්ෂණය කරන්නේ ලුවී වැන්ඩර්ස්ට්‍රාන්. සම අධ්‍යක්ෂණයෙන් දායක වෙලා ඉන්නවා දිනේෂ් සංජිව සහ එම් රිම්සි හොසන්. සුරයා වීරයා නිෂ්පාදනය කරන්නේ අජිත් ශ්‍රී පෙරේරා. රංගනයෙන් දායක වෙනවා ක්ලීටස් මෙන්ඩිස්, හිමායා බණ්ඩාර, සඳුන් විජේසිරි, සරත් දික්කුඹුර, නිරෝෂා මෛත්‍රී, අජිත් ශ්‍රී පෙරේරා, සනලි නදුල්යා (ළමා නිළි) ඇතුළු පිරිස.


මේ වෙද්දී වෙ‍ෙළඳ දැන්වීම් සහ කලා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු කීයක් වෙනවද?


අවුරුදු 10ක් වෙනවා.


මේ කාලය තුළ ලැබුණු නිර්මාණ ගැන සැහීමකට පත්වෙනවද?


මම රංගන ශිල්පියෙක් විදියට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කරන්න ඕනේ කියලා විශේෂ වුවමනාවක් තිබ්බේ නැහැ. මට ලැබෙන වෙ‍ෙළඳ දැන්වීම් ටික මම කරගෙන ගියා. ඒ අතරතුර ලැබුණු අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමක් තමයි මේ චිත්‍රපටයට සම්බන්ධ වීම. ඒ හැර විශේෂයෙන් ඒ ගැන මම හිතලා නැහැ.


පුංචි තිරයේ නිර්මාණ ගැන කතා කළොත්


මම ප්‍රධාන චරිතයක් රඟපෑවා දෙරණ නාළිකාවේ විකාශය වූ පාවෙනා වළාකුළේ නාට්‍යයේ. ඒ එක්කම සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. එහි මම ප්‍රධාන චරිතයක් රඟපානවා.


වැඩි කැමත්ත සිනමාවටද?


ටෙලි නාට්‍යය ලැබුණොත් භාර ගන්නවා. නමුත් මට හිතුණා සිනමාව සහ පුංචි තිරය කියන්නේ දෙකක් නිසා මට වඩාත් ගැළපෙන්නේ සිනමාව කියලා. ඒ නිසා මම වැඩිපුර සිනමාව ගැන අධ්‍යයන කටයුතු කරනවා.


රංගනය ගැන හැදෑරීම් කරන්නේ...?


රංගනයේ දී දමයන්ති ෆොන්සේකා මහත්මිය සමඟ මම රඟපානවා. ඇය මට ගුරුවරියක් වගේ බොහෝ දේවල් කියලා දෙනවා. ඒ එක්කම මම මුලින්ම රංගනය හදාරන්නේ රාජ් රණසිංහ යටතේ. එතුමා හරහා මට මුණගැහෙනවා පරාක්‍රම ජයසිංහ නම් අධ්‍යක්ෂවරයා. ඔහු මට කියලා දෙනවා රංගනය කියන්නේ තමන්ම චරිත හඳුනා ගැනීමක් කියන එක කියලා දෙනවා. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා යටතේ සහ අනෝජා වීරසිංහ යටතේ මම රංගනය ගැන පුරුදු පුහුණු වෙනවා.


පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත්, මොනවද විස්තර?


මීට පෙර අවස්ථාවන් වලදී පෙම්වතියන් හිටියා. දැන් මම පෙම්වතෙක් නෙවෙයි. මොකද මේ මොහොත වෙද්දී මම වැඩිපුර කාලය වෙන් කරලා තියෙන්නේ මගේ කලා කටයුතුවලට. අනාගතයේදී සුදුසු වෙලාවට විවාහයක් වෙන්න ඕනේ.


ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක් ද කියන්න තියෙන්නේ?


මම හිතනවා අනාගත අවුරුදු තුන හතර ඇතුළත සිනමාව සහ ටෙලි නාට්‍යය වෙනුවෙන් මට මගේ කොටස දෙන්න පුළුවන් වෙයි. ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් දෙන්න මට පුළුවන් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. මාත් එක්ක දැනටත් ආදරය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ අයටත් ස්තුතිවන්ත වෙනවා. දිගින් දිගටම මා එක්ක ඉන්න අපි කලාව වෙනුවෙන් හොඳ දෙයක් කරමු කියන එක තමයි මම කියන්න තියෙන්නේ.





Previous Post Next Post