පරිපූර්ණයි කියලා හිතුවොත් එතනින් එහාට ගමනක් නැහැ - යොවුන් ගායන ශිල්පිනී විශාරද එරන්දි හේශානී




එගොඩහ යන්නෝ ගීතය ගායනා කරමින් සිරස වොයිස් ටීන්ස් හරහා ඔබ අප කවුරුත් හඳුනාගත් ඇය ගැයූ මේ ගීය යූටියුබ් නැරඹුම් වාර මිලියන හතර ඉක්මවිණි. උපතින්ම රැගෙන ආ ප්‍රතිභාවත් වාසනාවත් සමඟ ඉතාම කුඩා කාලයේදී විශාරදවරියක වන ඇය නමින් එරන්දි හේශානී. සිය කටහඬින් වොයිස් වේදීකාව වර්ණවත් කළා සේම මේ පසුගිය සිරස ටීවී නාලිකාවේ විකාශය වූ සජ්ඣායනා වැඩසටහනටද එරන්දිගේ හඬ ගෙන ආවේ අපූර්වත්වයකි.හීන දහසක් එක්ක තවමත් අධ්‍යාපන කටයුතු කරන මේ එරන්දි එක්ක සරසවිය අප කතා කරන්නට හිතුවේ ඇගේ දක්ෂතාවය වෙනුවෙන් නිසි ඇගැයීමක් කරන්නය. ඇය ගැන කියන්න එරන්දි හඬ අවදි කළාය.


 එරන්දි මට මුලින්ම කියන්නකෝ සංගීත ගමන පටන්ගත්ත විදිහ?


මම දන්න තේරෙන කාලේ ඉදලම සින්දු කියනවා. පුංචි කාලේ අක්කයි අයියයි සින්දු කියනවිට මමත් එයාල එක්ක සින්දු කියනවා. මගේ අක්කටයි අයියාටයිත් හොඳට සින්දු කියන්න පුළුවන්. පසුව දෙක වසරෙදි අම්මා මාව සංගීත පන්තියකට යොමු කළා. මම සින්දු කිව්වට රාග එහෙම දන්නේ නැහැ. මට තේරෙන්නෙත් නැහැ. මම අවුරුදු තුනක්ම කළේ කාලා හොඳට නිදාගන්න එක. අනිත් හැමෝම රාග කියන නිසා මමත් රාග කියන්න උත්සහ කළා. ඒ පහ වසරෙදි. මට ඇහිලා ඇහිලම විශාරද දෙවැනි පාර්ට් එකට වෙනකම් ඔක්කොම රාග කටපාඩම්. මගේ සංගීත මුල් ගුරුතුමිය පුෂ්පා බකිණිගහවෙල ඇය කිව්වා මාව විශාරද ප්‍රවේශිකා සඳහා යොමු කරමු කියලා. ඒ විදිහට මම සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තා.


අම්මාද එරන්දිට ගායනා කරන්න පුළුවන් කියලා මුලින්ම දැනගත්තේ?


ඔව්. අම්මාට ඕන වුණා අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක් සංගීතයෙන් ඉදිරියට යනවා දකින්න. මගේ අක්කයි අයියයි සින්දු කිව්වට එයාලා සංගීතයෙන් ඉදිරියට යන්න කැමැති නැහැ. මට ඒ පැත්තකට ලොකු ආසාවක් තිබුණා. අම්මා තමයි ඒ පැත්තට මාව යවන්න මූලික අඩිතාලම දැම්මේ.


 සංගීත විශාරද වුණේ අවුරුදු කීයෙන්ද?


අවුරුදු පහළොවෙන්


 එතකොට දැන් වයස කීයද?


දැන් අවුරුදු දහ අටයි.


 

එරන්දිට කවදද එරන්දි හොඳට සින්දු කියනවා කියලා දැනුණේ?


මම තවමත් කියන්නේ නැහැ මම හොඳට ගායනා කරනවා කියාලා. මම හැම මොහොතකම හිතන්නේ මම පරිපූර්ණ නැහැ කියලා. පරිපුර්ණයි කියලා හිතුවොත් එතැනින් එහාට ගමනක් නැහැ. නවතිනවා.


 

එරන්දි ගීත ගායනා කරන්නේ ඒ ගීතය විඳීමින් ඒ ගැන හොඳ හැඟීමෙන් වගේම අවබෝධයෙන් කියලයි බලන අපිට දැනෙන්නේ?


මම හිතන්නේ ගීතයක් ගායනා කරන්න කලින් ඒ ගීතයේ පසුබිම පිළිබඳව සොයා බැලිය යුතුයි. ගීතයේ අර්ථය වගේම ගීතයට සංගීතය යොදාගැනීම වගේ දේ ගැන අවබෝධයක් ලබා ගත යුතුයි. එවිට ඒ ගීතය ඇතුළට ගිහින් අපිට ඒක ගැන අවබෝධයෙන් ගායනා කරන්න පුළුවන්. එවිට දැනෙනවා වැඩියි. එවිටයි ඒ ගීතයට සියයට සියයක් අපිට අපේ හඬින් පුළුවන් වෙන්නේ.


 එරන්දිට ලැබෙන රසික ආදරය ගැන මොකද හිතෙන්නේ?


මුල් කාලේ මම දන්නෑ කොහොමද මම ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලාවත්. මට තවම හිතාගන්න බෑ. ඒ හැම ප්‍රතිචාරයකින්ම කොයිතරම් ආදරයක් තියෙනවාද කොයිතරම් මට කැමැතිද කොයිතරම් අපේ දක්ෂතාවයන් අගය කරනවද කියලා දැනෙද්දි නිහතමානී සතුටක් තියෙනවා මට මම ගැනම. මේවා දකිද්දි මට හිතෙනවා තව ඉගෙනගන්න ඕන කියලා. මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් ආදරය ලැබෙද්දි තවත් දේවල් අපි කරන්න ඕන නෑ කියලා. එහෙම වුණොත් ටික කාලයකදි මේ හැම දේම නැතිවෙනවා. අපිට හැමෝම ආදරය කරන්නේ අපේ දක්ෂතාවයට. මම හිතන්නේ අපිව අගේ කරද්දි අපිට ආදරේ කරද්දි නිහතමානිව භාරගෙන තව ඒ අයට අපෙන් දේවල් එළියට දෙන්න.


එරන්දි තාම ඉස්කෝලේ යනවා නේද? පාසල ගැනත් කියමු?


ඔව්. මම මුලින්ම එක වසරේ සිට එකළොහ වසර තෙක් වාද්දුව මධ්‍ය විද්‍යාලයට ගියේ. දැන් පානදුර බාලිකාවට යන්නේ. 2023 වසරේ උසස්පෙළ කරන්නේ. කලා විෂය ධාරාවෙන් තමයි අධ්‍යාපන කටයුතු කරන්නේ. හින්දි භාෂාව සිංහල භාෂාව සහ සංගීතය හදාරනවා. අධ්‍යාපන කටයුතුවලට මම මුල්තැන දෙනවා. මොකද අධ්‍යාපනය තමයි වැදගත්ම. ටිකක් අපහසුයි දෙකම එකට කරන්න. ඒත්. දෙකම හරියට කරන්න ඕන. එහෙම වුණාම ලොකු සතුටක් දැනෙනවා.


 

මේ කොණ්ඩ විලාසිතාව ගැන නම් කතා කළ යුතුමයි. බොහෝ ගෑනු ළමයි කොණ්ඩේ වවන්නනේ කැමැති. ඇයි එරන්දි කොණ්ඩේ කපන්නේ?


මම මුලින් කොණ්ඩේ දිගට වවලා හිටියේ. කොවිඩ් කාලේ ගෙදරම ඉන්න නිසා කොණ්ඩේ ගොඩක් වුණා. මම චූටී නංගියෙක්ට කොණ්ඩේ පරිත්‍යාග කළා. සජ්ඣායනා වැඩසටහන පටන් ගත්තේ මගේ කොණ්ඩේ ටික ටික වැවෙන කාලේ. එහිදී මගේ පෙනුම බොහෝ වෙනස් සහ ඒක යුනික් පෙනුමක් වුණා. එය ප්‍රේක්ෂකයාත් ඉතා හොඳීන් භාර ගත්තා. මම මුලින් හිතුවේ කොට කොණ්ඩවලට විලාසිතා කරන්න අමාරුයි කියලා. හැබැයි මම හිතන්නේ කොට කොණ්ඩෙට ලස්සන ලස්සන විලාසිතා කරන්න පුළුවන්. මට ඒකට ආස හිතුණා. දැන් මම මේ පෙනුම මේ විදිහටම මේන්ටේන් කරනවා.


 එරන්දිට කවුරුත් කියලා නැද්ද එරන්දි අපේ ප්‍රවීණ සංගීතවේදිනී රශ්මී සංගීතා වගේ කියලා?


කියලා තියෙනවා. මම හරිම ආසයි ඇයට.


 

පුංචි වයසෙදිම ගොඩක් මුදල් ලැබෙනවානේ. මොකද ඒ මුදල්වලට කරන්නේ?


මම මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ සල්ලි යොදවනවා. ගෙදරින් මට අනෙක් අඩුපාඩුකම් බලන නිසා මගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මම ඒ සල්ලි යොදවනවා. එතකොට කාටවත් බරක් නැතිව ඉගෙන ගන්න පුළුවන්.


 

වොයිස් ටීන් යාළුවෝ ආයෙම සජ්ඣායනා හරහා නැවත හමුවුණා නේද?


වොයිස් ටීන් එකෙත් හරිම ලස්සන මතක තියෙනවා. හැමදවසක්ම මතක හිටින දවසක්. අපි එකට අඬලා තියෙනවා. තරහාවෙලා තියෙනවා. රණ්ඩු කරගෙන තියෙනවා. අපි ඔක්කොම පවුලක් වගේ. අපි එකතු වුණාම තනිවෙලා නෑ කියන හැඟීම ඇති වෙනවා. කෝච් දුමාල් අපිට තාත්තා කෙනෙක් වගේ. කොයිම වෙලාවකවත් එකිනෙකා පරයා යන්න තරඟයක් තිබුණේ නෑ. අපි කවුරුත් ආත්මාර්ථකාමී වුණේ නෑ. සජ්ඣායනා නිසා තවත් අපේ බැඳීම ශක්තිමත් වුණා. වොයිස් එකේදී එතරම් කතාබහක් නොතිබුණු අනිත් කණ්ඩායාම්වල අය එක්කත් හොඳ බැඳීමක් ඇති වුණා. සජ්ඣායනා අවසාන දවසේ අපි හැමෝම ඇඬුවා. දන්නේ නැහැනේ අපි ආයෙම කොහොම මුණ ගැසෙයිද කියලා.


 

අපි දකිනවා බොහෝ රියැලිටි වැඩසටහන්වලින් එන අය පසුව එයාලගෙම නිර්මාණ කරනවා. එරන්දි ඔයාගෙම නිර්මාණයක් කවද්ද එළියට එන්නේ?


මගේ නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා. තව කිහිපයක් කරන්නත් තිබෙනවා. හැමෝම හිතනවා තරඟෙන් එළියට ආ ගමන් නිර්මාණයක් කරන්න ඕන කියලා. මම හිතන්නේ කාලයක් අරන් හොඳම හරිම දේ අපි එළියට දෙන්න ඕන. රැල්ලට නිර්මාණ කරනවට වඩා කාලයක් අරගෙන අපේ පරාසය පෙන්වන්න පුළුවන් අපේ ප්‍රේක්ෂකයාට දැනෙන ඒ අය සතුටුවෙන විදිහේ දෙයක් එළියට දෙන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. මම තාම බලනවා මොකද්ද මම මුලින් ප්‍රේක්ෂකයාට අහන්න දෙන්නේ කියලා. හොඳම දේ මුලින්ම දෙන්න මම බලාපොරොත්තු වෙනවා.


 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඉදිරියේ ගීත ගායනා කරද්දි විශේෂයෙන්ම අපේ ගීත කෝකිලාව ලතා වල්පොල, සුජාතා අත්තනායක, නන්දා මාලිනි වගේ ප්‍රවීණයින්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මොනවගේද?


ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අය හරිම ආදරෙන් කතා කරලා සුබ පතන විට හරිම සතුටුයි. ලතා වල්පොල මහත්මිය කිව්වා 'අනේ මම ආවේ ඔයාව බලන්නමයි' කියලා. එහෙම කිව්වම මට ලොකු සතුටක් දැනුණා. මේ හැමෝම කිව්වේ අපි ඔයාලගේ වැඩසටහන බලනවා එක කොටසක්වත් අතාරින්නේ නෑ. ප්‍රවීණයින් එහෙම කියද්දි අපි වගේ නවකයින්ට ඒක ගොඩක් වටිනවා ඉස්සරහට යන්න.


 

එරන්දි කැමති සංගීතයෙන් ඉදිරියට යන්නද. ඒ වෙනුවෙන් මොනවගේ සැලසුමක්ද තිබෙන්නේ?


මට තව තවත් සංගීතය ඉගෙන ගන්න. බොහෝ දෙනෙක් හිතනවා සංගීතය ජීවිතය කරගන්න ඕන නෑ. ඒක එක පැත්තක් විතරයි කියලා. ඒත් මම විශ්වාස කරනවා සංගීතයෙන් ලොකු දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. මුලින් මම උසස්පෙළ කරන්න ඕන. සංගීත් නිපුන් කරන්න ඉන්දියාවට යන්න ඕන. එයින් පසුව ඇමැරිකාවේ බර්ක්ලි කොලේජ් එකට යන්නත් හිතාගෙන ඉන්නවා.


 මොකද්ද එරන්දිගේ සිහිනය?


කවදාහරි අන්තර්ජාතිකතලයේ ගායීකාවක් වෙන එක මගේ හීනය.


 තිළිණි රාජපතිරණ





Previous Post Next Post