බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට කියනවා වගේ රුවැත්තියකගේ විවාහයත් දිනෙන් දින වසර ගණනක් කල් ගියා. අවසානයේ සති දෙකෙන් විවාහ මංගල උත්සවය ජයටම ගත්තා. ඒ රුවැත්තිය තමයි අනුෂා දමයන්ති. ඇයගේ අත ගත්තේ කායවර්ධන විනිසුරුවරයෙක් වන අමිල ජයතිලක නම් වූ කඩවසම් තරුණයා. බොහෝදෙනෙක් කතාබහ කළ ඒ මංගල්‍යය ගැන අනුෂා සහ අමිල මේ විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා.
ලබන අවුරුද්දේ වෙඩින් එක ගන්නවා කියලා අවුරුද්දෙන් අවුරුද්ද කල් දැම්ම වෙඩින් එක අන්තිමට සති දෙකෙන් සැලසුම් කළා නේද අනුෂා ..?
ඒකනේ. අවුරුදු දෙක තුනක්ම මහා ඉහළින් වෙඩින් එක ගන්න සැලසුම් කළා. ඒත් එක එක හේතු නිසා ඒ දා ගත්ත දිනවලට කරන්න බැරි වුණා . අන්තිමට සතියකින් වෙඩින් එක ගත්තා තවත් කල් නොදා. මටත් පුදුමයි. හැමදේම හරි ඉක්මනින් කර ගන්න සිදු වුණා. නමුත් ඒ හැමදේම සාර්ථකව කර ගත්තා කියලා ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා.
වෙඩින් කාඩ් නැතුව මංගල්‍යයට ආරාධනා කළේ දුරකතන ඇමතුමකින් කියන්නේ ඇත්තද..?
ඔව්. කිසිම ආරාධනාවක් ළඟට ගිහින් වෙඩින් කාඩ් දීලා ඇරයුම් කළේ නැහැ . හැමෝටම දුරකතන ඇමතුම් දීලා ආරාධනා කළා. ආරාධනා පත්‍රය වට්සැප් කළා. ආරාධනාව පිළි අරගෙන ආව හැම කලාකරුවෙකුටම මම ස්තූතිවන්න වෙනවා කෙටි දැනුම් දීමකින් ඇවිත් මාව සතුටු කරලා සුබ පැතුවාට. කලබලේට ගොඩක් අය මඟ ඇරුණා. එයාලට සමාවෙන්න කියනවා.
අනුෂා ඇයි මැයි මාසේට කැමති, විවාහ උත්සවය ගන්න හිතුවේ මැයි මාසේ නේද ..?
මම ආසාවෙන් හිටියා මම මනාලියක් වෙන්නේ මැයි මාසේ කියලා, ඒ මම කැමති ම මාසේ, විවාහයට සුබ මාසයක් කියනවනේ. ඒත් ස්වභාවධර්මයට අනූව තමයි සමහර දේවල් වෙන්නේ. කැමති මාසේ කැමති දවසේ විවාහ වෙන්න නොලැබුණාට හරි දේ හරි වෙලාවට වුණා කියලා හිතනවා.
අමිලගේ මාපියන් කොහොමද නිළි ලේලිව භාර ගත්තේ..?
ඒ මාපියන් මට නැන්දම්මා මාමා නෙමෙයි . අම්මයි තාත්තයි වගේ. එයාට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා විවාහකයි. එයාගේ බිරිය වගේම මම එයාලගේ ලේළිලා නෙමෙයි දුවලා වගේ. අමිල වගේම ගතිගුණ අතින් හරි ඉහළයි.
දැන් මොකද හිතෙන්නේ, සතුටක් එක්ක වෙනස් අත්දැකිමක් විදිනවා, ඒ වගේම වගකීමක් විවාහය කියන්නේ..?
තවම මොකුත් හිතෙන්නේ නැහැ සතුට විතරමයි දැනෙන්නේ. තව ටික දවසක් යද්දී වගකීම් දැනෙයි. ඇත්තටම කිව්වොත් විවාහ වෙනවා කියන්නේ වගකීමක් තමයි. තනියම හිටපු ජීවිතේට වඩා බැඳීමක් ඇති වුණා නේද කියලා හිතෙනවා. තනියම හිටියා වගේ නෙමෙයි දැන් නිදහසේ ඉන්න බැහැ. කැමති අකැමැති දේවල් අවබෝධ කරගෙන මේ ගමන සතුටින් යනවා.
ආදරේ කරන කාලේ වගේ නෙමෙයි විවාහ වුණාට පස්සේ වැරදි අඩුපාඩු වැඩිපුර පේනවා කියනවා එක වහලක් යට ජීවත් වෙද්දී ..?
අපි අවුරුදු 14ක් තිස්සේ දුක සතුට බෙදා ගත්ත දෙන්නෙක්. අපි දෙන්නගේ අඩුපාඩු වැරදි හොඳ නරක අපි මේ කාලේ අඳුන ගත්තා. අයින් වෙනවා නම් දෙන්නගෙන් කෙනෙකුට ඒ කාලේ හොඳටම ඇති අඳුරගෙන ඈත් වෙන්න. අමිල ඉවසීමෙන් මගේ ජීවිතේ දිහා බලාගෙන හිටියා. එදා වගේමයි අදත්. ඒ වගෙමයි හැමදාමත් කියලා මම හිතනවා. එයාවත් මමවත් වෙනස් නොවෙන ආදරයක් එකතු කරගත් දෙන්නෙක්.
දැන්නම් අම්මා ගෙදර වැඩ කරලා දෙනකල් ඉන්න බැරි වෙයි..?
අමිලට කවදාවත් ඕන වුණේ නැහැ මාව ගෘහණියක් කරන්න. එයා දන්නවා මගේ ඒ පැත්ත ගැන. රඟපෑමත් එක්ක සමහර වෙලාවට ඒ දේ කරන්න වෙන්නේ නැහැ කියලා. මට උයන්න පුළුවන් හොඳට. අම්මයි මායි ගෙදර ලස්සනට තියාගත්ත දෙන්නෙක්. නිවාඩු කියලා දවල් වෙනකල් මම නිදාගන්නේ නැහැ. කම්මැලිකමෙන් හිටියේ නැහැ. හැමදේම කර ගත්තා. ඒ වගේම උදව්වට අය ඉන්නවා. අමිලත් හොඳ කුක් කෙනෙක්.
ගොඩක් ජනප්‍රිය අය විවාහයෙන් පස්සේ ගෙදරට කොටු වෙනවා, අමිල විවාහ වෙනකල් බලාගෙන ඉන්න ඇති අනුෂා ව රංගනයෙන් ඉවත් කරන්න ..?
කවදාවත් අමිල එහෙම කරන්නේ නැහැ. ඒක මට විශ්වාසයි. නිර්මාණයක් ලැබිලා ඒක භාර ගන්න බැහැ කිව්ව ගමන් එයා මාව දිරිමත් කරනවා. මම කලාවට ආව හැටි කලාවේ හිටපු හැටි හරියටම දන්නේ අමිල. ඒ නිසයි එයා මට උපරිම නිදහස දීලා තියෙන්නේ. විවාහ වුණා, මම එයාගේ බිරිඳ වුණා කියලා එයා ඒ වගේ තීරණයක් ගන්නේ නැහැ. ඒක මම හොඳින්ම දන්නවා.
අනුෂා එක්ක නිතරම කතා කරන නිසා වැඩිපුර කතා කරන්න ඇයගේ සැමියා අමිලව කතාබහට එකතු කරගත්තා
අවුරුදු 14ක් බලාගෙන ඉඳලා කොහොම හරි අනුෂාවම බිරිඳ කර ගත්තා නේද ..?
මගේ තිබ්බ එකම ආසාව ඒක කිව්වොත් හරි. දැන් මට වෙන බලාපොරොත්තු ආසාවල් නැහැ . අනුෂා දැන් මගේ. ඒ දවස එනකල් නොඉවසිල්ලෙන් හිටියා. අනුෂා විවාහ වෙන්න කල් ගනිද්දි මම ඉවසගෙන හිටියා. විවාහ ය කල් ගියා කියලා, අපිට අපි ගැන අවබෝධයක් තිබ්බ නිසා ප්‍රශ්න මතු වුණේ නැහැ.
ගෙවුණු අවුරුදු 14 බයෙන්ද ජීවත් වුණේ අනුෂාව හිමි කරගන්න බැරි වෙයි කියලා ..?
අනේ නැහැ. විශ්වාසයක් තිබ්බ නිසා තමයි මෙච්චර කාලයක් නිහඬව පැත්තකට වෙලා හිටියේ. කවදාවත් මේ අවුරුදු 14ට මම එයා එක්ක ප්‍රසිද්ධියේ මාධ්‍යවල ඉඳලා නැහැ. අපේ පවුල් දෙක නිතර මුණ ගැහුණා. එහේ මෙහේ ගියා. ඡායාරූප ගත්තා. නමුත් ඒවා ප්‍රසිද්ධියේ දැම්මේ නැහැ එහෙම බයක් තිබ්බා නම් අනුෂා මගේ පෙම්වතිය කියලා මම ලෝකෙට පෙන්නලා.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර කල් හැංගිලා හිටියේ බියක් නිසා කියලා ..?
වෙඩින් ෆොටෝස් දානකල් අපි දෙන්නගේ ෆොටෝස් එළියට නොයන්න අපි වග බලාගත්තා. ඒ ලෝකෙට බයේ නෙමෙයි. එයා නැති වෙයි කියන බයටත් නෙමෙයි . අපේ පුද්ගලික ජීවිතේ කන බොන යන එන තැන් ලෝකෙට පෙන්නන්න ඕන නැති නිසා. පුද්ගලික ජීවිතේ හැංගිලා තියෙන්න ඕන. එතකොට තමයි ලස්සන. වෙඩින් එක වෙනකල් අනුෂාගේ රසිකයින් දන්නේ නැහැ. මාව දැකලා නැහැ ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් දන්නෙත් නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් කතා කරපු මඟුලක් බවට පත් වුණා. ඒකයි වැදගත් වගේම ලස්සන
අනුෂාව යාළු කරගත්තාට පස්සේ ආදරේ කරනවා කියලා කියන්න බය වුණේ නැද්ද, එයා නිළියක් නිසා ඔයාව ප්‍රතික්ෂේප වෙයි කියලා ..?
මම ආදරේයි කියලා මගේ යෝජනාව කරන කොට එයා මාත් එක්ක ගොඩක් හිතවත්. අකැමැති වෙයි කියලා හිතුවෙම නැහැ. මගේ යෝජනාව කිව්ව ගමන් එයා කැමති වුණාට පස්සෙ මාස හයකින් විතර තමයි මාපියන්ට කිව්වේ. මොකද අපි දෙන්නට මුණගැහෙන්න බැහැ එයාගේ අම්මා එයා එක්කම ඉන්න නිසා. ඒ අම්මත් කැමැති වුණා.
ජනප්‍රිය චරිත ගැන තියෙන්නේ වෙනම ප්‍රතිරූපයක්, ගෙදරට ලොකු පුතා කැන්දන් එන ලේළි නිළියක් කියලා විරුද්ධ වුණේ නැද්ද ..?
අනුෂා ගැන තිබ්බේ හොඳ ප්‍රතිචාර. එයාව ආශ්‍රය කරද්දී මගේ අම්මා තාත්තාට තෙරුණා අනුෂා කොයි වගේ කෙනෙක් ද කියලා. ඒනිසා අකැමැති වුණේ නැහැ . අනික මගේ අම්මයි තාත්තායි මගේ කැමැත්තට ඉඩ දුන්නා. එයාලට ඕන මම සතුටින් ඉන්නවා දකින්නයි.
අනුෂා ජනප්‍රිය තරුවක් නිසා ද ආදරේ කරන්න හිතුවේ..?
අපි හැමෝගෙම හිතේ ඇඳුණු රුවක් තියෙනවා. මගේ හිතේ තිබ්බ ඡායාව තමයි අනුෂා. ගතිගුණ හොඳයි. ආදරණීයයි. කියන්න නරකක් නැහැ ඒකයි ආදරේ කළේ.
ඔබ කෝටිපති ව්‍යාපාරිකයෙක්, ජනප්‍රිය චරිතවලින් බැබළෙන්න ව්‍යාපාරිකයින් තරු කසාද බදිනවා. ඔබත් අනුෂා දමයන්ති කියන බ්‍රැන්ඩ් එක නිසා ද ඇයව කසාද බදින්නේ ..?
මම ව්‍යාපාරිකයෙක් බව ඇත්ත. ඒ වුණාට මට එහෙම කරන්න වුවමනාවක් නැහැ. මෙච්චර කල් හැංගිලා හිටපු මම තවදුරටත් එහෙමයි. අපි අතර තියෙන්නේ ආදරයක් විතරයි. ඒ වගේම එයාගේ නැටුමට ගැයුමට මම ආදරේ කරනවා. ඒක තමයි විශේෂත්වය.
ඒ ආදරේ නිසා වෙන්න ඇති ඇයව කැන්දාගෙන යන්න සුවිසල් මන්දිරයක් හැදුවේ..?
එයාට ලස්සන ඇහැක් තියෙනවා. ඒ ඇහැ වර්ණ්වත්. ඒ නිසා එයාට ඕන විදිහට ලස්සනට ජීවත් වෙන්න ලස්සන ගෙයක් හැදුවා. ඒ ගෙදර සියලු ගෘහ උපකරණ එයාට ඕන විදිහට ගත්තේ. එයාගේ සතුට මමත් භුක්ති විඳිනවා.
බිරිය කර ගත්ත නිසා දැන් දාන්න පුළුවන් හැම නිතිරීතීයක්ම දායි නේද ..?
කොහොමත්ම නැහැ. කිසිම දවසක දැන් රගපෑවා ඇති, කාර්යබහුල වෙන්න එපා කියලා නැහැ. එදත් අදත් විවාහයෙන් පස්සෙත් ඒක එහෙමම තමයි. ඇත්තම කිව්වොත් මම කැමැති දේ කලාව. මට කරන්න බැරි නිසා එයාගේ සාර්ථකත්වය දිහා බලලා මම ඒකේ සතුට විඳිනවා. රඟපෑමට වගේම වෙන කිසිදේකට නීති දාන්න එයා මම අකැමැති දේවල් කරන්නේ නැහැ. වැරදි වැඩ කරන්නෙත් නැහැ.
ඔබටත් නටන්න පුළුවන්, දෙන්නා එකතු වෙලා අනාගතේදි කලාවට මොනව හරි කරන්න අදහසක් තියෙනවද, ඒ උත්තරයත් එක්ක කතාබහ ට සමුදෙමු..?
අපි දෙන්නා මොන පාටි එකට ගියත් ගෙදර සාදයක් තිබ්බත් සිංදු කියනවා නටනවා. ඒක හොඳ විදිහට මාධ්‍ය ඉස්සරහා කරන්න පුළුවන් වුණොත් එදාට බලමු.