අනුරාධා උදයංගනී කලක් මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් බවට පත්වී සිටියා. එහෙත් පසු කලෙක ඇය අපට නිතර දකින්නට නැතුව ගියා.දැනට වසර දෙකකට ආසන්න කාලෙකදි ඇය නැවතත් අපේ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ නිතර දකින්නට ලැබෙන චරිතයක් බවට පත් වී තිබෙනවා මේ නිසාම ඇගේ නවක තතු පිළිබඳ ඇය මේ විදියට පුවත්පතක් සමගින් පවසා තිබුනා.
අනුරාධ රූපවාහිනි මාධ්‍ය තුළ කලක් නිතර දකින්නට ලැබුණා. නමුත් පසු කාලයකදී ඔබ දකින්නට ලැබුණේ නෑ. ඔබ කලාවෙන් ඈත් වෙලා හිටියද?
මං මගේ හේතුවක් මත කලාවෙන් ඈත් වුණේ වත් නිහඬ වුණේ වත් න.ෑ මම දැන් මේ වෙනකොට කේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු විසිතුනක්. ඉතින් ඇත්තම කතාව මුල් අවුරුදු 10 12 වගේ කාලය පුරා මට හරියට වැඩ තිබුණා. මම ක්ෂේත්‍රයට ආවේ පාසලින් අයින් වුණ ගමන්මයි. එක නාට්‍යයක් ඉවර වෙන්න ඉවර වෙන්න මට තව නාට්‍යය ලැබුණා. හොඳ අවස්ථාවල් මට ගොඩක් ලැබුණා. ඉතින් මම ඒවට දායක වුණා. මම ක්ෂේත්‍රයට ඇවිත් ගතකරපු අවුරුදු දහයක් දොළහක් වැනි කාලය ඇතුළත ඇත්තටම මට වැඩ තිබුණ මම මුල්ම කාලෙදී නාට්‍යය තෝරා බේරා ගැනීමක් කරන්නවත් පෙලඹුණේ නෑ.
මම ක්ෂේත්‍රයට අලුත් නිසා ලැබෙන චරිත උපරිමයෙන් කරන්නේ අපි එනකොට හිතන්නේ ඒ කාල සීමාවේ එහෙම තෝරා බේරා ගැනීමක් කළෙත් නෑ. ඒ වගේම මුදල් පිළිබඳ මම එච්චර ලොකුවට හිතුවෙත් නෑ. ලැබෙන චරිත කරන්න තව තවත් අධ්‍යක්ෂවරු යටතේ තව තව නිර්මාණ කරන්න වගේ දේවල් තමයි. එතකොට අපි හිතන්නේ කාලයක් යනකොට අත්දැකීම් ලැබිලා පුහුණුවක් ලැබිලා එනකොට තමයි අපි හිතන්නේ හොඳ නිර්මාණවලට දායක විය යුතුයි කියලා. පිටපත වැදගත් වෙන්න ඕන වැනි කාරණා ගැන අපි අවධානය යොමු කරන්නේ එතකොට. අඩුම තරමේ මම විශ්වාස කරන හැටියට රංගන ශිල්පියකුට අවස්ථා දෙකෙන් එකක් හෝ සම්පූර්ණ වෙන්න ඕන. මේ ගමනෙදි නාට්‍ය තෝරාගන්න එක්කෝ හොඳ තිරපිටපතක් වෙන්න ඕන. එතකොට මුදල ගැන පොඩ්ඩක්වත් ඔළුවෙ තියා ගන්නේ නැතුව අපිට අපි කරන චරිතයට සාධාරණය කරමින් අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්.
ඔබට ඔබේ මුල් කාලේ ඔය වැනි චරිත ලැබුණා නේද?
අනිවාර්යයෙන්ම මගේ දෙවැනි ටෙලි නාට්‍ය ‘නේත්‍රා මංගල්‍යය’ සුමිත් කුමාර මහත්මයාගේ. අවුරුදු 22 ට කලින් කරපු නිර්මාණයක් ඒක තාමත් මිනිස්සුන්ට ඒ චරිතය මතක තිබෙනවා ‘නේත්‍රා මංගල්‍යයේ’ ‘කුමාරි’ කියන චරිතය තාමත් මිනිසුන්ගේ මතකයේ තිබෙනවා. ඒත් එක්කම ‘දබකොළපටුන’ ‘රන් දළඹුවෝ’ වැනි නිර්මාණ කිහිපයක්ම මට ඒ කාලේ ලැබුණා. මිනිස්සුන්ගෙ හිත්වල තාමත් ඒ නිර්මාණ ඒ විදියටම මතක තිබෙනවා. ඒ විදිහේ හොඳ ටෙලිනාට්‍ය කරන එක පැත්තකින් එහෙම නැත්නම් චරිතය ගැන හිතන්නේ නැතිව අපි මුදල් පැත්ත ගැන හිතලා කරන නිර්මාණ වෙන්න ඕන.
වර්තමානයේ ඔය දෙකෙන් කොයික පිළිබඳ ද ඔබ සැලකිලිමත් වෙන්නේ?
වර්තමානයෙත් මම ඉන්නේ ඔය මතයේ තමයි. එක මුදල් පැත්ත හොඳ වෙන්න ඕන. නැතිනම් මුදල් ගැන හිතන්නේ නැතුව චරිතයේ වැදගත් කම හෝ හොඳ අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකට දායකවීමේ තෘප්තිය ලබන්න ඕන. මුදල් කියන දේත් දේ අනිවාර්යයෙන් වැදගත්. මොකද මම දැන් ක්ෂේත්‍රය තුළ යම්කිසි ස්ථාවරත්වයකට පත් වෙලා ඉවරයි නේ. ඒ නිසා මට අඩු මුදලකට වැඩ කරනවා කියන තැන කවදාවත් ඉන්න බෑ. නමුත් මම දැනට වුණත් හොඳ නිර්මාණයක් කියලා පිළිගන්නේ ඒ මොහොතට මුදල් වැදගත් වෙන්නේ නෑ.
අද කාලේ ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් අග්‍රගණ්‍ය නිර්මාණ කෙරෙනවා කියන එක බොහොම අඩුයි. හැමෝම රොබෝවරුන් බවට පත්වෙලා ඉන්නේ මේක මං විතරක් නෙවෙයි. මට වඩා බොහෝ ජ්‍යෙෂ්ඨයන්ටත් මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වෙ යටතේ ඉඳලා හිටලා හරි හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණොත් සම්බන්ධ වෙනවා. එහෙම නැතුව මම බොහෝ කාලයක් තිස්සේ ගොඩනඟාගත් යම් කිසි ප්‍රතිරූපයක් තියෙනවනම් ඒක අවතක්සේරු වන විදියේ වැඩවලට නොගිහින් නිහඬව ඉන්න එක හොදයි කියලා මට හිතෙනවා. අනිත් එක තමයි මම තවත් පිළිගන්න දෙයක් තියෙනවා. මේක අපේ බොහෝ අය පිළිගන්නේ නැති කතාවක්.
අපි යම්කිසි කාල සීමාවක ක්ෂේත්‍රයට ආවම ඒ ක්ෂේත්‍රයට අපි තරුණයි. එතකොට ඒ කාලෙට සුදුසු චරිත අපට ලැබෙනවා. නමුත් හැමදාම අපිට ඒ චරිත ම කරන්න ලැබෙන්නේ නෑ. අපි දවසින් දවස වියපත් වෙනවා. එහෙම උණාම ඒ වයසට සුදුසු චරිත තමයි අපට ලැබෙන්නේ. අපි තේරුම් ගන්න ඕන හැමදාම අපිට තරුණ චරිත කරන්න බෑ කියලා. එතකොට ඉන් එහා අපි හිතන්න ඕන අපි ටික ටික වයසට යද්දී තව කණ්ඩායමක් එනවා. ඒ චරිත කරන්න අනිත් පැත්තෙන් මම විශ්වාස කරන දෙයක් තමයි වාසනාව අවාසනාව කියන දෙයක්.
දැන් ආපහු ඔබව ටෙලිනාට්‍ය ලැබෙමින් පවතිනවා නේද?
ඔව්... මම හිතන්නේ ආපහු හොඳ කාලයක් ඇවිල්ල වෙන්නැති. මේ දවස්වල ටෙලිනාට්‍ය තුනකට දායක වෙලා ඉන්නවා දෙරණ නාලිකාවේ විකාශය වන තිළිණ බොරලැස්ස ගේ ‘රාගිනි’ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන චන්දික විජේසේනගේ ‘ගගන පියවර’ දෙරණ නාලිකාවේ හර්ෂ උඩකන්දගේ ‘ලොක්කී 2’ කියන ටෙලිනාට්‍ය තමයි ඒ. ‘ලොක්කී’ ටෙලිනාට්‍යය ගිය අවුරුද්දේ අපි කළේ. ඒක ඉතාමත්ම ජනප්‍රිය වුණා. දැන් එකේ දෙවෙනි කොටස තමයි මේ විකාශය වෙන්නේ.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ඔබට හොඳ ඉඩක් ලැබුණට සිනමාවේ ඉඩක් ඔබට ලැබුණේ නෑ නේද?
ඇත්ත කතාව මම ඒක පිළිගන්න දෙයක්. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 23 ක් වුණත් මේ වන තුරුත් මට චිත්‍රපට හතකට තමයි දායක වෙලා තියෙන්නේ. ‘රෝස පැටික්කි’ චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘ඉර ළඟ වැඩියි’ රෝයි ද සිල්වාගේ ‘සොමි බෝයිස්’ සහ ‘උයනට මල් ගේන්න’ කියන චිත්‍රපට හතර ‘උයනට මල් ගේන්න’ චිත්‍රපටය නම් තාම තිරගත වුණේ නෑ. ඒක අධ්‍යක්ෂණය කළේ චන්ද්‍රරත්න මාපිටිගම. ලබන අවුරුද්දේ තිරගත වීම ආරම්භ වන චිත්‍රපටයකට දායක වෙන්න අවස්ථාවක් ලබෙයි කියන කුත් මේ වන විට මට ලැබිලා තියෙනවා.
ඔබේ කැමැත්ත සිනමාවටද? ටෙලි නාට්‍යවලට ද?
ඇත්ත කතාව මම එහෙම මේකට වඩා මේක කැමතියි කියලා කියන්න අමාරුයි. මගේ හැකියාව මම වැඩිපුරම පෙන්වලා තිබෙන්නේ ටෙලි නාට්‍යවලින් මම ටෙලි නාට්‍යවලට කැමැතියි. දැන් අවුරුදු ගණනාවක සිට සිනමාව වැටිලා තිබුණේ. නමුත් දැන් සිනමාවේ යම් පිබිදීමක් තිබෙනවා කියලා මට හිතෙනවා. එහෙම බලපුවාම හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න මම ආසාවෙන් ඉන්නවා. මම රංගන ශිල්පිනියක් හැටියට සිනමාවේ රඟපාන්න ලැබුණත් රූපවාහිනියේ රඟපාන්න ලැබුණ දෙකෙන්ම මම කරන්නේ මට පුළුවන් උපරිම සාධාරණත්වය ඉටු කරන එක.
රංගන ශිල්පිනියක වූ විට නිරන්තර අභ්‍යාස පුහුණු වීම් ආදිය තිබිය යුතුයිද? ඔබ ඒ පැත්තට උනන්දුයිද?
මම 1999 අවුරුද්දේ මේ ක්ෂේත්‍රයට එද්දි පාසලින් අයින් වුණා විතරක් වන සාමාන්‍ය කෙනෙක්. මම ක්ෂේත්‍රය පිළිබඳ කිසිම දැනුමක් නැතුව පුවත්පත් මඟින් මගේ ඡායාරූප දැකලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් ආපු ගමනක් මේක. ඇත්ත කතාව නම් ඒ කාලේ මේ දැන් වගේ රංගන පාසල් හෝ හදාරන්න පුහුණු පාඨමාලා වැනි දේ තිබුණෙත් නෑ ක්ෂේත්‍රය තුළ වැඩ කිරීමෙන් ප්‍රවීණයන්ගේ ඇසුරින් ඇසුරින් ලැබුණු දේවල් වලින් තමයි මම මුලින්ම බොහෝ දේ ඉගෙන ගත්තේ කැමරා එකක් කියන්නේ කොහොමද? කැමරා එකක් තියන්නේ කොහොමද ඵඪදඨතඥ ඵඩධබ එකක් ගන්නෙ කොහොමද? යන්න ගැන රංගනයේදි තමයි මම බොහෝ දුරට ඉගෙන ගත්තේ. මුල් අවුරුදු කිහිපය තුළ අත්දැකීම් ලබමින් මේ සියලු දේවල් මම ඉගෙන ගත්තා ඕනම රංගන ශිල්පිනියකට ක්ෂේත්‍රය හොඳ තෝතැන්නක් කියලා මම හිතනවා. රංගනය කියන දේ කවදාවත් අකුරු ලියලා පොතක පතක දැනුමෙන් පමණක් ලබාගෙන ලබා ගෙන අධ්‍යයනය කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක ප්‍රායෝගික විෂයයක්. හැබැයි තමන්ට න්‍යායත් මත දැනුමක් තියෙනවනම් ඒ දේවල් පිළිබඳ ඒක තවත් හොඳම අවස්ථාවක් රංගනය වැඩිදියුණු කරගන්න. අද කාලේ මේ නාට්‍ය හා රංග කලාව ආදී විෂයයන් හඳුන්වා දීලා තිබුණත් අපේ කාලේ එහෙම විෂයක් වත් තිබුණේ නෑ ඇත්ත කතාව ඒකයි
රංගන ශිල්පිනියක් නොවුණා නම් ඔබ කවුරු වෙයිද
එහෙම නම් අනිවාර්යනේම නැටුම් ගුරුවරයෙක් වෙයි. පුංචි කාලේ ඉඳලම මගේ එකම ආසාව තිබුණේ නර්තන ගුරුවරියක් වෙන්න සුදර්ශි ආයතනයේ නර්තනය හැදෑරුවා ජයන්ත කරුණාසේකර ගුරුතුමා යටතේ භරත නාට්‍යම් හැදෑරූවා. ඊට පස්සේ නර්තනය පිළිබඳ ජාතික විභාග වන ප්‍රාරම්භ මධ්‍යම අවසාන වාර විභාග කරා ඒව ඉහළින් පාස් වුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගිහින් නර්තන ගුරුවරියක් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තු වුණේ නමුත් අහම්බෙන් වගේ මම කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නකොට කැම්පස් පටන් ගන්න ප්‍රමාද වෙලා ගෙදර ඉන්න කාලේ මගේ මාමා කෙනෙක් වුණු රෙක්සි වසන්ත ඔහු වැඩ කළේ එවකට සුමති පුවත්පත් ආයතනයේ. ඔහුට ලොකු වුවමනාවක් තිබුණා මාව දාලා පුවත්පත් කවර කීපයක් කරන්න ඒක කරාට පස්සේ තමයි අහම්බෙන් මට කලාවට දොරගුළු විවර වුණේ.
ගුරුවරියක් නොවුණ එක ගැන අද කනගාටුවක් තිබෙනවාද ?
ඇත්තටම ඔව් මම පුංචි මට පුංචි කනගාටුවක් තිබෙනවා. මට නර්තන ගුරුවරයා කියන තැන ඉඳගෙන රංගනය නර්තන දෙකම බැලන්ස් කරගෙන කරන්න තිබුණ නම් හොඳයි කියලා හිතෙනවා.
ඔබේ පෞද්ගලික ජීවිතේ කොයිවගේද?
පෞද්ගලික ජීවිතේට මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්. මගේ පවුලේ අයට වැඩක් නෑ මම රංගන ශිල්පිනියක කියන එක. මම පවුලේ එකම දරුවා. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන්ම අම්මා තාත්තා එක්ක තිබුණු බැඳීම වැඩියි. මම විවාහ වෙන්න කලින් මීගමුවේ පදිංචි වෙලා හිටියේ. විවාහයත් එක්ක කොළඹ පදිංචියට ආවා. අම්මා තාත්තා මාත් එක්ක කොළඹට ආවා.
ඔබේ සැමියා පිළිබඳ විස්තර කිව්වොත් ?
මම මුලින්ම ඔහුව අඳුරගත්තේ වීඩියෝ කැමරා ශිල්පියෙක් හැටියට. මම දී.ග. සෝමපාල මහත්මයාගේ ‘සදවතක වරුණ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්න කොට තමයි ඔහු මුණ ගැසුණේ. එතකොට මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතරක් විතර ඇති අපි අඳුරගෙන, ආදරේ කරලා විවාහ වුණා. දැනට ඔහු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයකු හැටියට වැඩ කරනවා.
තව විශේෂ දේවල් තිබෙනවා කියන්න ?
බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණා කිහිපයක් තිබෙනවා. මම රංගන ශිල්පිනියක් වගේම රුපලාවණ්‍ය ශිල්පිනියක්ද වෙනවා ඇත්තම කතාව කිව්වොත් මම ක්ෂේත්‍රයට සක්‍රීයව අංශ පහකින් වැඩ කරනවා. රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක්. රූපලාවණ්‍ය ශිල්පිනියක්. රූපවාහිනී නිවේදිකාවක් හා ගායිකාවක් වශයෙනුත් මම කටයුතු කරනවා.
හේමාලි විජේරත්න