මවුපියන්ගෙන් එහාට මම ආදරයක් විශ්වාස කරන්නේ නැහැ - තරින්දි ප්‍රනාන්දු



තරින්දි ප්‍රනාන්දු නව පරපුරේ අපිට සිටින තරු අතර ඉතාමත් ආකර්ෂණීය ඒ වගේම දක්ෂ තාරකාවක්. මේ දිනවල සාර්ථකව තිරගත වන සුරංග ද අල්විස්ගේ “ද ගේම්“ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරමින් රිදී තිරයට ද තරින්දි ප්‍රවිෂ්ට වී තිබෙනවා. අද වෙද්දී රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් දක්වන අතිශය කාර්යබහුල රංගන ශිල්පිනියක්. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකින් පසුව කලාවට පිවිස ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන කලාවේ දිගු ගමනක් යන තරින්දි ප්‍රනාන්දු සමඟ කළ කතාබහයි මේ.


“මේ දවස් ගෙවෙන්නේ “ද ගේම්“ චිත්‍රපටයට ලැබෙන උණුසුම් ප්‍රතිචාර එක්ක. මම ප්‍රධාන චරිතයකින් දායක වුණු ප්‍රථම සිනමා නිර්මාණය සුරංග ද අල්විස් අයියාගේ ද ගේම් චිත්‍රපටය. ඒ ප්‍රතිචාර අතරේ සිනමා ප්‍රේක්ෂකයන් සේම මේ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගෙන් ජේ‍යෂ්ඨයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඒ නිසා දරා ගන්න බැරි තරමටම පුදුම සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් තියෙනවා ලැබෙන ප්‍රතිචාර ගැන. “ද ගේම්“ චිත්‍රපටය ඉවර වුණු ගමන් තව සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා. මේ දවස්වල ලැබුණු පිටපත් කියවලා බලනවා.


හිරු නාළිකාවේ “රැල්ල වෙරළට ආදරෙයි“ හි කැතරින්, ITN නාළිකාවේ “පිච්ච මල් සුවඳයි“හි කුසුමලතා සහ VTV හි විකාශය වන “රෝස සංධ්වනිය" හි සුලෝචනාගේ චරිතය. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. මම චරිත භාර ගනිද්දී වුණත් එකහා සමාන චරිත භාර ගන්නේ නැහැ. එකිනෙකට වෙනස් වූ මිනිසුන්ට ආදර්ශවත් චරිත තමයි මම භාරගන්නේ.


මගේ රූපය මට වාසනාව ගේනවා කියලා මම හිතනවා. මගේ රූපය ඕනෙම චරිතයකට, ඕනෙම කෝණයකට හැඩගස්වා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ගැමි චරිතයක් නම් ඒ විදියට. බටහිර චරිතයක් නම් ඒ පෙනුමට මාව හැඩගස්වා ගැනීමේ නම්‍යශීලි ගුණයක් මම දකිනවා. ඒ නිසාම වෙන්න ඇති අධ්‍යක්ෂවරු විවිධ චරිතවල‍ට මාව තෝරා ගන්නේ.


මම රඟපාන හැම චරිතයක්ම මගේ මුළු ආත්මයෙන්ම කැපවෙනවා. ඒ චරිතය ගැන අධ්‍යයනය කරලා තිර පිටපත කියවලා ඒ චරිතයට ආත්මගත වෙලා මම නිරූපණය කරනවා. ඒ වෙනුවෙන් මම විශාල කැපකිරීම් පවා කරනවා. සාමාන්‍ය ජිවිතේ දී තරින්දි කියන්නේ ෆැෂන් කරන්න ආස ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ඉතින් සමහර චරිතවලට මට ගොඩක් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා හැම චරිතයක්ම මට විශේෂ වූ චරිත. ඒ හැම චරිතයකටම මම ආදරෙයි. නමුත් මෑත කාලයේ මගේ හිත ගත්තු මට ගොඩක් සමීප වුණු මම ගොඩක් ආදරේ කරපු චරිතයක් තමයි ITN නාළිකාවේ විකාශය වුණු සුමිත් රත්නායකගේ “මහ පොළව“ ටෙලි නාට්‍යයේ අනෝහාමිගේ චරිතය. ඒක මට ගොඩක් සමීප චරිතයක්.


අවුරුදු පහක් මම පෞද්ගලික මූල්‍ය ආයතන දෙකක සහ පෞද්ගලික බැංකු ආයතන දෙකක සේවය කරලා රංගනයට ආව කෙනෙක්. ඒ ආයතන වලත් වැඩ කරද්දී මම මගේ උපරිමය ඒ ආයතනවලට දීලා තියෙනවා. අදටත් මට අවශ්‍ය වෙලාවක ඒ ආයතන එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් විදියට මම වැඩ කරලා තියෙනවා.


අද මම වෘත්තිමය රංගන ශිල්පිනියක්. ඒ නිසා සිනමාවට පමණක් නැඹුරු වෙලා ඉන්න අමාරුයි. ඉතින් මම ටෙලි නිර්මාණ සහ චිත්‍රපට ලැබෙන විදියට සමබරව කරගෙන යන්න හිතාගෙන ඉන්නේ. ඒ එක්කම මම ඉදිරියේදී මගේම ව්‍යපාර කටයුත්තක් පටන් ගන්න ඉන්නවා. ව්‍යපාර පැත්තට වැඩි කාලයක් ලබා දෙන්න වීමත් එක්ක සමහර විට මම රංගනය තරමක් සීමා කරයි. හැබැයි කවදාවත් මම රංගනය අත හරින්නේ නැහැ. මොකද මගේ හීනය මගේ ආසාව මගේ ෆැෂන් එක තියෙන්නේ මෙතන. ඒ නිසා මම සිනමාව ටෙලි තිරය කියන මේ දෙඅංශයට ම සම්බන්ධ වෙලා රංගනය කරගෙන යයි.


මගේ චරිතවල‍ට ලැබෙන ප්‍රතිචාර එක්ක මගේ ජනප්‍රියතාව සම්මානයකින් ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම කැමතියි දක්ෂ කියන අංශයෙන් මට ඇගයීමක් ලැබෙනවා නම්. හැබැයි කවදාවත් මම සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ. නමුත් මම කැමති දක්ෂ කියන අංශයෙන් ඉස්සරහට යන්න.


අපි ඉපදුන දා ඉඳන් මැරෙනකම්ම ආදරේ බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසාම ජිවිතයට නැතුවම බැරි දෙයක් විදියටත් මම ආදරේ දකිනවා. ඒ ආදරේට නිර්වචනයක් මම දකින්නේ නැහැ. මේ කාලේ අපි ආදරේ කියන්නේ දෙමාපිය ආදරෙන් බැහැර වෙලා ප්‍රේමවන්තියක් විදියට ලබන ආදරේනේ. හැබැයි ඒ ආදරේ ගැන මට පොඩි සැකයක් තියෙනවා. මොකද මොන ආදර කතා කිව්වත් දෙමාපිය ආදරෙන් එහාට ගිය අවංක පරාර්ථකාමී ආදරයක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක මම මේ ලෝකයේ දකින්නේ නැහැ. එක එක කාලවලට අපේ ජිවිතවලට මිනිස්සු එනවා යනවා. අපිට අහිමිවීම් වෙනවා. ඒ නිසා දෙමාපියන්ගෙන් එහාට මම ආදරයක් විශ්වාස කරන්නේ නැහැ.


රංගන ශිල්පිනියක් විදියට අද මම මේ තැන ඉන්නේ මා වටා ඉන්න ආදරණීය ප්‍රේක්ෂක ජනතාව නිසයි. මම රඟපාන්න ආව පළමු නිර්මාණයේ ඉඳන් අද දක්වා මට ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලැබුණා. මට තව තවත් චරිත කරන්න අභිප්‍රේරණයක් වුණේ මගේ ප්‍රේක්ෂක ජනතාව. මට ඉන්නවා අවංකව ආදරේ, වැරදි අඩුපාඩු පෙන්වා දෙන වගේම මගේ හොඳ දේවල් අගය කරන අවංක හිත් තියෙන ප්‍රේක්ෂකයින්. ඔවුන් නිසා තමයි මම අද මේ විදියට කලාවේ ගමනක් ඇවිත් තියෙන්නේ.





Previous Post Next Post