එයා ලංකාවේ ඉන්න ළාබාලම කායවර්ධන විනිසුරුවරයෙක් -අනුෂා දමයන්ති




රංගන ශිල්පිණියක් හැටියට මෙන්ම දක්ෂ නර්තන ශිල්පිණියක් වූ ඈ රසට ගී ගයන්නත් දක්ෂයි. එදත් අදත් එක සේ ප්‍රේක්ෂක ආදරය තමන් සතු කරගත් ඈ අනුෂා දමයන්ති. මේ කතාබහ අනුෂා ගැනයි.


 

අනුෂාව දකින්න නැහැ, මොකද නිහඩ වෙලා..?


රටේ තියෙන ප්‍රශ්න එක්ක චිත්‍රපට නිර්මාණය වෙන්නේ නැති තරම්. ටෙලි නාට්‍ය හතරකට නම් සම්බන්ධ වුණා. ඒවා තවම විකාශය වුණේ නැහැ. මහවිරු පණ්ඩු විකාශය අවසන් වුණා. නර්තන ප්‍රසංග, විදෙස් සංචාර නැහැ. ඒ නිසා ලැබෙන නිර්මාණ වලට සම්බන්ධ වෙමින් කාලය ගත කරනවා.


 ඒ වුණාට ප්‍රතිචාර වල අඩුවක් නැහැ නේද ..?


ඉස්සර වගේම අදටත් ප්‍රතිචාර ලැබෙනවා. කිසිම අඩුවක් නැහැ. හැමෝම අහන්නේ ඇයි දකින්න නැත්තේ කියලා තමයි.


ඔබ කාලයක් කටයුතු කළේ චිත්‍රපට නිළියක් හැටියට පමණයි..?


ලංකාවේ සිනමා කර්මාන්තය කඩා වැටිලා තියෙන්නේ. බොහෝ සිනමා ශාලා වැසිගෙන යනවා. රජය මැදිහත් වෙලා සිනමා කර්මාන්තය යළි ගොඩ නැගුවොත් අටත් සහනයක් ලැබෙයි. නිතරම සිනමා කෘති බිහි වෙයි.


අනුෂාට තියෙන්නේ දීර්ඝ කාලයක සිට තිබෙන සුන්දර ප්‍රේමයක්, ඇයි එක වහලක් යටට එන්න මෙච්චර ප්‍රමාද..?


අපි මහා ඉහළින් වෙඩින් එක කරන්න ප්ලෑන් කළා. ආරාධිතයින් 600ක් එකතු කරගෙන. නමුත් 2019 වර්ෂයේ ඇති වූ බෝම්බ ප්‍රහාරය එක්ක ඒක කල් දැම්මා. අපි බුක් කරපු හෝටලයටත් බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. ඒ වන විට වෙඩින් කාඩ් පවා බෙදලා තිබුණේ. ඊට පස්සේ කොවිඩ් ආවා. නමුත් මේ වසර අවසානය ට පෙර ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ඉන්නේ.


ඔබේ පෙම්වතා වෙන්නේ ඔබේම රසිකයෙක්, ඔහු ව්‍යාපාරිකයෙක්, මෙතෙක් නොකි ඒ ආදර කතාව ගැනත් කියමු..?


අපේ ආදරේ ට දැන් වයස අවුරුදු 14ක් වෙනවා. ඒ කාලේ ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙමින් ඉන්නකොට තමයි ඔහු මට කතා කළේ. පළමු දවසේ කතාබහ අවසන් කළා ඒක ඉවරයි. මොකද ඒ වෙද්දී මගේ ෆෝන් එකට එන කෝල්ස් එස් එම් එස් බොහෝයි. ඒ නිසා විශේෂයෙන් ඔහුව මතක නැහැ . ටික දවසක් යද්දී රසිකයින්ගෙන් එන වෙන එස් එම් එස් වලට වඩා මෙයාගෙන් එන SMS වෙනස්. පරිස්සමින් ඉන්න කෑවද වෙලාවට කන්න වගේ වචන එන්නේ. මම බැලුවා කවුද මේ කියලා. ඒත් මම ඒවාට උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ තරගයෙන් ඉවත් වුණාට පස්සේ කෝල් එකක් ආවා. ‘ඔයා ඉන්නම ඕන කෙනෙක් අපරාදේ‘ කියලා. ඊට පස්සේ ඉදලා ටික ටික කතාබහ කරන්න පටන් ගත්තා. මට ආදරය කළ රසිකයින්ට වඩා ඔහු වෙනස් කෙනෙක් බව තේරුණා. දවසක් එයා කිව්වා එයත් ඩාන්සින් කරලා තියෙනවා කිව්වා. එක ෂෝ එකකට මට පාට්නර් කෙනෙක් හිටියේ නැහැ. එයාට මම කතා කළා. එයා ආවා. රියසල් එකක් කරලා ෂෝ එකත් කරා. ඒ කතාව ඉවරයි.


ආදරේ කරනවා කියලා හිතුවෙත් නැහැ දැනුණෙත් නැහැ. නමුත් කතාබහ කළා. එයාගේ විස්තර කිව්වා. ඔහොම ඉන්නකොට එකපාරටම එයා මගෙන් එයාට කැමති ද? මම ඔයාට කැමතියි කිව්වා. මාත් පුදුම වුණා.


 ඔබ කැමැත්ත දුන්නද එහෙම නැත්නම් ආඩම්බරකමට නිහඩව හිටියද..?


මොකුත් නොකියා අපි කතා බහ කළා මාස හයක්. දකින්නේවත් නැතුව. 2008 තමයි අපේ ආදර කතාව පටන් ගන්නේ. පාසල් ප්‍රේමයෙන් පස්සේ ප්‍රේමයක් අත් වින්දේ ඔහුගෙන්. මාත් කැමැත්ත දුන්නා. නමුත් එයාට කිව්වා ගෙදර ඇවිත් අම්මගෙන් අහන්න කියලා. එයා එයාගේ දෙමාපියන් එක්ක ඇවිත් කතාබහ කළා. එතැන් පටන් මේ වෙනකල් අපි ආදරේ කරනවා...රණ්ඩු කරනවා... ආදරේ සුන්දර විදිහට විදිනවා.


ලංකාවේ කායවර්ධන විනිසුරුවරයෙක් හැටියටත් කටයුතු කරනවා, කොහොමද ඔහුගෙන් ඔබේ නිළිකමට ලැබෙන උදව් ..?


එයා ලංකාවේ ඉන්න ළාබාල කායවර්ධන විනිසුරුවරයෙක්. විදෙස් සංචාර සදහා ත් සම්බන්ධ වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයෙක් හැටියටත් කාර්‍යබහුල කෙනෙක්. ඒත් ඔහු මාව විශ්වාස කරලා මට ඕන විදිහට ජීවත් වෙන්න ඉඩ දිලා තියෙනවා. විවාහය කිව්ව ගමන්මම කල් දානවා. ඒවා ඉවසගෙන මෙතෙක් දුරක් මාත් එක්ක හිටියට ඔහුට ගරු කරන්න ඕන.


තවම අම්මා පස්සෙන් එනවා නේද ..?


එදා ඉදලා තවම මගේ අම්මා මගෙ පස්සෙන් ඉන්නවා. අම්මා තමයි මගේ යෝධ ශක්තිය. ඔහු මගෙත් අම්මගෙත් බැදීම වටහාගෙන තේරුම් අරන් ඉන්නේ. ඒකම මට වටිනවා.


විවාහයත් එක්ක කලා ජීවිතයට සමු දෙන්නද හිතන්නේ..?


මගේ කැමැත්ත කලාව කියලා එයා දන්නවා. ඒ නිසා එයා මට සීමා දාන්නේ නැහැ. ඒ නිසා මට කැමති කාලයක් රඟපාන්න නටන්න පුළුවන්


ඔබේ ජීවිතයේ අමතක කරන්න බැරි ආදරණීය චරිතයක් ඉන්නවද..?


ඔව්. ඒ තමයි මගේ සීයා. එයා නැති වුණාට පස්සේ ශොක් එකට අම්මට මාස දෙක තුනක් යනකල් කතා කරන්න බැරි වුණා. සීයා ආදාහනය කරන දවසේ චිතකය දල්වන මොහොතේ මම කොහේදෝ ඉදලා දුවගෙන ඇවිත් මිනිය තියලා තිබ්බ රදවනය පිටට ඇද්දා සීයාව පුච්චන්න එපා කියලා. හරියට ෆිල්ම් එකක වගේ. ඒ මොහොතේ ඒ සුදු යකඩ රදවනයට මගේ අත් දෙකම කැපිලා ලේ ගලාගෙන ගියා. අල්ල ඇගිලි එක්ක කැපිලා. එහෙම ම දොරට අත් දෙකෙන් ගහලා තියෙනවා. සියාව එළියට ගන්න කියලා . බිත්තිය පුරාම ලේ විසි වෙලා. අන්තිමට ගෙදර ආවේ අත් දෙක බැන්ඩෙජ් කරගෙන.





Previous Post Next Post