එයාව අමුතුවෙන් මේන්ටේන් කරන්න දෙයක් නැහැ - තිවංක නිලමුණි




සංජානා ඔනලි ගමආරච්චී කියන්නේ මේ දිනවල කවුරුත් කතා බහ කරන ආදරණිය රංගන ශිල්පිනියක්. ඇය පසුගියදා විහග තිවංක නිලමුණි එක්ක විවාහ ගිවිස ගත්තා. ඔහු ඇයට විවාහයට යෝජනා ගෙන ආවේ සිංගප්පුරුවේදි. සංජනා ගැන බොහෝ දෙනෙක් දන්න නිසා අප ඇයගේ සැමියා එක්ක කතා කරන්න හිතුවා. මේ ඔහු ඇය ගැන කියන කතාවයි.


 සිංගප්පුරුවේදි විවාහයට යෝජනා කරලා සතියක් යන්නත් කලින් මේ තරම් ඉක්මනට සංජානා එක්ක විවාහ වුණේ ඇයි... ?


මම උසස් අධ්‍යාපනය ලබන්නේ ඕස්ට්‍රේලියාවේ. මම සංජානාට කිව්වා ලංකාවට එන්න කලින් සිංගප්පුරුවට එන්න කියලා පොඩි ට්‍රිප් එකකට. එයා ආවා. මමත් ඕස්ට්‍රේලියාවේ ඉදලා සිංගප්පුරුවට ආවා. එයා දන්නේ නැහැ මම එයාව සර්ප්‍රයිස් කරනවා කියලා. එතැනදි තමයි මම විවාහ යෝජනාව කළේ. ලංකාවට එන්නේ විවාහ ගිවිස ගන්න තමයි. මොකද මට තව අවුරුදු එකහමාරක් විතර යනකල් එන්න බැරි වෙනවා. ඒ නිසා ඇවිත් විවාහ ගිවිස ගත්තා.


 එතකොට විවාහ මංගල උත්සවයක් ගන්නේ..?


මම අධ්‍යාපන කටයුතු අවසන් කරලා ලංකාවට එනවා. ඊට පස්සේ ගන්නවා.


 දෙන්නත් එක්කම ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙයිද..?


තවම එහෙම අදහසක් නැහැ . මම ඉගෙන ගෙන එන අදහසින් ඉන්නේ. සංජානාට නිවාඩු තියෙන විදිහට එයා මාව බලන්න එයි.


 

සංජානා වගේ කෙනෙක් එක්ක විවාහ ජීවිතේ ගෙනියන්න ලෙහෙසියි කියලා හිතනවද..?


ඔව්. කැමරාවෙන් පිට එයා සාමාන්‍ය කෙනෙක්. එයාට තරහා යනවා. නමුත් එයාගේ ගති ගුණ හොඳයි. අවංක කෙනෙක්. බොරුවෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපහසුවක් නැහැ .


 ඔබ පවුලේ එකම දරුවා. දෙමාපියන් කැමති වුණාද ඔබ නිළියක් එක්ක විවාහ වෙනවට..?


මගේ තාත්තා ජීවතුන් අතර නැහැ . අම්මා විතරයි ඉන්නේ. එකම දරුවා මම. මගේ අම්මට ඕන වුණේ මට කාත් එක්කද ජීවත් වෙන්න පුළුවන් කියන දේ විතරයි . එයාගේ රැකියාව අම්මට අදාළ නැහැ. අම්මා හොයන්නේ ලේලියක් නෙමෙයි. දුවක්. අම්මා කැමතියි සංජානාගේ ගතිගුණ වලට. මගේ ආදරයට , විවාහයට අම්මා නීතී දැම්මේ නැහැ .


 සංජානා කියන්නේ තිවංක ගේ කී වෙනි ආදරේද..?


මට කලින් පෙම්වතියන් දෙන්නෙක් හිටියා. සංජානා මගේ තුන් වෙනි හා අවසාන ආදරේ


 ඔබ වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ට නිළියක් සමඟ ජීවත් වෙන්න පුළුවන් ද?


සංජානා හරිම සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. ලොකු හෝටල් වලට ගිහිං කන්න, ලොකුවෙන් ජීවත් වෙන්න, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම් ඕන කියන මතයේ එයා නැහැ . එයත් එක්ක පොඩි කඩේක වාඩි වෙලා වුණත් කන්න පුළුවන් . එයාව අමුතුවෙන් පාලනය කරන්න ඒ නිසා අවශ්‍ය නැහැ. මට නම් එයා සාමාන්‍ය කෙනෙක් විතරයි. මම දන්නේ නැහැ පිට මිනිස්සු එයාව කොහොමද දකින්නේ කියලා .


 ජනප්‍රිය අය විවාහ කරගත් බොහෝ දෙනෙක් කියන්නේ ආදරයට යෝජනා කරද්දි ඔහු හෝ ඇය ජනප්‍රියයි කියලා දැනගෙන හිටියේ නැහැ කියලා , ඔබත් එහෙමද..?


නැහැ. මම සංජානා ව දැන ගත්තේ නිළියක් නිසාමයි. මම ගීතයක් කළා 2021 දී භාවනාවද ආදරේ කියලා. එකේ විඩියෝ එකට හිටියේ සංජානා.


එතනදි තමයි එයාව මුලින්ම දැන ගන්නේ. ඊට පස්සේ අපි දෙන්නා ටික දවසක් යාළුවෝ විදිහට කතා බහ කළා. ටික කාලයක් කතා නොකරත් හිටියා. ඊට පස්සෙ අපි දෙන්නා ආයෙමත් කතා කරන්න පටන් ගත්තා. ඒ කතාබහ තමයි දුර දිග ගියේ.


මමත් එක පාරටම ආදරෙයිද කියලා අහන්න ගියේ නැහැ. එයාගේ අකමැත්තක් නැහැ වගේ දැනුණු නිසා යෝජනා කළා. එයත් කැමති වුණා. ඊට පස්සේ තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තේ.


 සංජානා ට රසට උයන්න එහෙම පුළුවන් ද..?


එයා හදන කෑම රසයි. උයන්න පුළුවන්. එයා වැඩිපුරම කන්න ආස කිරිබත් තමයි.






Previous Post Next Post