ඊළඟ පරපුර අදක්ෂයි නම් අපිත් ඒ වරදේ කොටස්කාරයෝ - බිමල් ජයකොඩි

 


මෙරට කලා පවුල්වලින් ක්ෂේත්‍රයට එන දක්ෂයන් අතර "ජයකොඩි" පරම්පරාවේ දෙවැනි පරපුර නියෝජනය කරන බිමල් ජයකොඩි පිළිබඳව විස්තර වර්ණනා අවැසි නැත. තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් අතර ඉහළ පෙළ නියෝජනය කරන ඔහු පසුගියදා පැවති රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී 2020 වසරේ හොඳම රංගන ශිල්පියා ලෙස සම්මානනීය විය. 

 

හොඳම නළුවා සම්මානය ලැබෙන්නේ මේ කීවෙනි වතාවටද?

ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මට මතක නැහැ හරියටම. හොඳම නළුවා සම්මානය ලැබෙන්නේ හතරවෙනි වතාවට. ගාමණී චිත්‍රපටයට මට සම්මාන උලෙළ දෙකක හොඳම නළුවා සම්මානය ලැබුණා. සැනකෙළියයි මායා ටෙලිනාට්‍යයට රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම නළුවා සම්මානය ලැබුණා. ඊළඟට මේ සම්මානය "සුළඟ මහමෙරක" ටෙලිනාට්‍යයට ලැබුණේ. හැම අවුරුද්දකම වගේ මාව සම්මානයට නොමිනේට් වෙනවා.

 

හැම නළුවෙක්ගෙම හීනය හොඳම නළුවා ලෙස සම්මානනීය වීම. කොහොමද ඒ සතුට?

ලැබෙන හැම චරිතයක්ම මට දැනෙන විදිහට උපරිම හොඳට කරන්නයි මම උත්සාහ කරන්නේ. සම්මානයට පාත්‍ර වුණත් නැතත් ඒ චරිතය මිනිස්සු රසවිඳීනවා නම්, කතාබහ කරනවා නම්, අගය කරනවා නම් එයයි මම රංගනයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ කාලයක අපිට හිතෙන අපි ආසම චරිත බිහිවෙන ටෙලිනාට්‍යය නිර්මාණය වෙන්නේ නැහැ. කලාතුරකින් මේ වගේ හොඳ පරාසයක චරිත විහිදෙන නිර්මාණ ලැබෙන්නේ. ඒ වගේ සම්මානයක් ලැබෙන නිර්මාණයක් ලැබීම ගැන මට සතුටුයි.

 

ඔබේ චරිතය ගැන සහ සුළඟ මහමෙරක ටෙලිනාට්‍යය ගැන කිව්වොත්?

මේ සම්මානයේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමිවෙන්න ඕනේ මෙහි රචනය සහ අධ්‍යක්ෂණය කරපු සුදත් දේවප්‍රිය මහත්මයාට. ඔහු ඉතාම සොඳුරු අධ්‍යක්ෂවරයෙක් වගේම නළුවෙක්. ඔහු ඉතාම සුන්දර, චරිත පිළිබඳ මනා අවබෝධයක් තියෙන අධ්‍යක්ෂවරයෙක්. මම නිරූපණය කළේ සෝමසිරි කියන විදුහල්පතිවරයාගේ චරිතය. ඔහු හරිම ගුප්ත ගති පැවතුම් තියෙන කෙනෙක්. එක්තරා කාලයක ලංකාවේ තිබුණු රහසිගත දේශපාලන ව්‍යාපාරයකට උරුමකම් කියන පසුව ඒ චරිතයෙන් මිදිලා වෙනත් වේශයක් අරගෙන සමාජයේ ජීවත්වෙන දෙබිඩි ජීවිතයක් ගත් කරපු කෙනෙක් සෝමසිරි කියලා කියන්නේ. යම් සංකීර්ණභාවයක් මේ චරිතයේ තිබුණා. සුදත් අයියාට මේ චරිතයේ සැබෑ කෙනා ගැන යම් අත්දැකීමක් තියෙනවා. ඔහුගේ සමකාලීන හෝ ඔහු අහපු දැකපු කෙනෙක් මේ. ඒ නිසා මේ විදුහල්පතිවරයාගේ චරිතය නිරූපණයේදී මට පහසු වුණා. ඒ වගේම මේක මම කාලයකට පසුව නිවාඩු පාඩුවෙ කරපු ටෙලිනාට්‍යයක්. සුළඟ මහමෙරක් ටෙලිනාට්‍යයේ නිෂ්පාදකවරිය ලක්ෂ්මි දමයන්තිවත් මතක් කරන්න ඕනේ. මට ගැලපෙන ඉතාම හොඳ වේශ නිරූපණයක් මට ලැබුණා. මේ සියල්ලම සමඟ චරිතයට මට ලොකු වෙහෙසක් දරන්න ඕනේ වුණේ නැහැ.

 

හොඳම නළුවාට නිර්දේශ වුණේ දක්ෂ රංගන ශිල්පීන් දෙපළක්. ඔවුන්ගේ දක්ෂතා ගැන කිව්වොත්?

රොෂාන් රවීන්ද්‍ර සත්‍යා ටෙලිනාට්‍යය වෙනුවෙන් මේ සම්මානයට නිර්දේශ වෙලා තිබුණා. රොෂාන් සහ මම සමකාලීනයන්. අපි දෙදෙනාම එකම කාලයක ක්ෂේත්‍රයට ආවේ. වසර ගණනාවක් අපි අතරේ හොඳම නළුවා සම්මානය බෙදිලා ගිහින් තියෙනවා. ඒ වගේම දසුන් පතිරණ ගිරිදේවි ටෙලිනාට්‍යය වෙනුවෙන් සම්මානයට නිර්දේශ වුණා. දස්සා අපිට වඩා ටිකක් පහුවෙලා ක්ෂේත්‍රයට ආවත් නමේ අර්ථයෙන්ම දස්සා දක්ෂයෙක්. ඔවුන් දෙදෙනාම ඉතාම දක්ෂ රංගන ශිල්පීන්. ඔවුන්ගේ දක්ෂතා ගැන අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඒ තරම් ඔවුන් චරිතයට සාධාරණය ඉටු කරපු රංගන ශිල්පීන්. විනිශ්චය මණ්ඩලයට ඉතාම හොඳ තරගයක් තියෙන්න ඇති කවුද එතැනින් හොඳටම රඟපෑවේ කියලා තෝරන්න.

 

චරිතයක් ලැබුණාම ඒ චරිතයට ප්‍රවිෂ්ට වෙන ආකාරය ගැන හොඳම නළුවාගෙන් නොඅසා බැහැ.

මම ක්ෂේත්‍රයට ආව කාලයේ චරිත තෝරා බේරාගෙන රඟපෑවේ. වර්තමානයේ අපිට එහෙම තෝරගන්න මට්ටමේ නිර්මාණ ලැබෙනවා අවම වශයෙන්. නමුත් වසර පහළොවකට ආසන්න කාලයක් ප්‍රායෝගිකව වැඩ කරලා තියෙන නිසා ජීවිතයේ ලැබුණු අත්දැකීම් බහුලව චරිතයක් ප්‍රතිනිර්මාණය කරද්දි බොහෝදුරට බලපානවා කියලා මට දැනෙනවා. මුල් කාලයේදී වගේ නෙමෙයි දැන් අධ්‍යක්ෂවරයා කියනවාට වඩා යමක් ලබාදීලා චරිත ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඊට අමතරව මම වැඩ කරපු බොහෝ නිර්මාණවල අධ්‍යක්ෂවරු ඉතා දක්ෂ රංගන ශිල්පියාගෙන් අවශ්‍ය චරිතය මවාගන්න හැකියාව තියෙන අය. අධ්‍යක්ෂවරයාගේ තියෙන දක්ෂතාව සහ ශිල්පියාගේ අත්දැකීම් කියන කාරණා දෙක එකතැනකදි හරියටම ගැළපෙනවා. එතැනදි තමයි විශිෂ්ට රංගනයක් බිහිවෙන්නේ. ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ. ජීවිතයේ ලබන අත්දැකීම් හරි පරිස්සමෙන් චරිතයට එකතු කරන්න ඕනේ. සමාජය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ සියල්ලටම වඩා තමන් තමන්ගේ වෘත්තියට ගරු කරන්න ඕනේ. වෘත්තියට දැඩි ලෙස ආදරය කරනවා නම්, කැපවෙනවා නම් හොඳ චරිතයක් කළ හැකියි.

 

මේ දිනවල තිරගත වෙන "ආශාවරී" චිත්‍රපටයේ ඔබේ චරිතය සුවිශේෂී සහ ඒ ගැන හැමෝම කතා කරනවා.

ඒ චරිතය කාලයකට පසුව මටත් ලොකු වෙනසක්. එවැනි චරිතයකින් මාව කවුරුත් දැකලා නැහැ. ආශාවරී චිත්‍රපටය තුළින් මම නිරූපණය කරන ලසන්තගේ චරිතය චිත්‍රපටයට යම් හාස්‍යයක් එක් කරනවා. හරිම ආදරණීය කතාවක් තුළට ඒ චරිතයෙන් හාස්‍යයක් සහ සියුම් අනුකම්පාවක් එක් කරනවා. පිටපත කියෙව්වාම මට හිතුණා ඇත්තටම මට මේ චරිතය කරගන්න පුළුවන් වේවිද කියලා. මේ චරිතය ගොඩක් රඟපාන්න ලැබුණේ ජයලත් මනෝරත්න‍යන් සමඟ. ඔහු සමඟ මේ චරිතය නිරූපණය කරන්න තිබුණු ආසාව මාව ඒ චරිතය භාරගන්න තැනට තල්ලු කළා. මේ චරිතය මනෝරත්නයන් සමඟ කළොත් කොහොම තියේවිද කියලා මට හිතුණා. ඒ වගේම ආශාවරී කණ්ඩායමම සෑහෙන්න කාලයක් එක පවුලක් වගේ වැඩ කළා. තේජා ඉද්දමල්ගොඩ, රුවන් මගේ ආදරණීය මිත්‍රයා හේමාල් රණසිංහ මතක් කරන්න ඕනේ. මේ චරිතයට ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යයේ වීරවර්ණගේ චරිතය ඔබට රඟපාන්න වෙන්නේ දකුණු ඉන්දීය නළුවෙක්ගේ ආභාසය නේද?

 

රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍යය මලයාලම් චිත්‍රපටයක් අනුසාරයෙන් හැදුණු නිර්මාණයක්. එහි මගේ චරිතය නිරූපණය කළේ විජය සේතුපති. කොරෝනා කාලය අවසන් වෙනකොට මගේ පෙනුම ආවේ විජය සේතුපතිගේ ස්වරූපයට සමානව. මගේ පෙනුම ඒ චරිතයට යම් සමානත්වයක් තියේවි කියලා විශ්වාසයක් තිබුණා. චිත්‍රපටයේ වස්තුවිෂය අරගෙන අපේ විදිහට ගොඩනඟපු කතාවක් මේක. මට මේ පිළිබඳව විවිධ අදහස් ඇවිත් තියෙනවා. සමහර අය මගේ චරිතයට ඉතාම කැමැතියි. සමහර අය ටෙලිනාට්‍යයේ මගේ පෙනුමට අකැමැතියි. විවිධ අදහස් යෝජනා තියෙනවා. නමුත් ප්‍රේක්ෂකයන් ආදරෙන් රැල්ල වෙරළට ආදරෙයි නරඹනවා.

 

ප්‍රේක්ෂකයන් ඔබේ චරිතයෙන් වීරවර්ණටත් බිමල් ජයකොඩිටත් එහා ගිහින් උප්පැන්නා චිත්‍රපටයේ විජය සේදුපතිගේ චරිතය දකිනවා නම්?

මට විජේ සේදුපති වගේ රඟපාන්න පුළුවන් නම් ඔහුව අනුකරණය කරන්න පුළුවන් නම් ඒක නිර්මාණයට සාර්ථකත්වයක් වෙයි. නමුත් එයින් අපි හදන මීගමුවේ ඉන්න වීරවර්ණව ප්‍රේක්ෂකයන්ට දැනෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් මගේ ස්වරූපය ඔහු ඉන්න ස්වරූපයට කිට්ටු බවක් තියෙනවා. ඔහුගෙයි මගෙයි වයසත් සමානයි. කාලෙන් කාලෙට මට අරයා වගේ, මෙයා වගේ කියලා විවිධ චෝදනා එනවා. ඒක ඉතින් ස්වරූපය වෙනස් කරද්දි වෙන දෙයක්. ඔහු මම පෞද්ගලිකව ඉතාම කැමැතියි නළුවෙක්. මම විජේ සේදුපතිව කොපි කරනවා කියලා කවුරුත් තවම කියලා නැහැ. ඔහුගේ පෙනුම මගේ පෙනුමට සමානයි කියලා නම් කියනවා. මම ඇතුළු අපේ කණ්ඩායමම උත්සාහ කරනවා අපේ පොළොවෙ ඉන්න වීරවර්ණ කෙනෙක්ව නිර්මාණය කරන්න.

 

පසුගිය කාලේ තිරගත වුණු ඔබ ප්‍රධාන චරිතය නිරූපණය කළ කවුරුත් දන්නේ නෑ චිත්‍රපටයට මොකද වුණේ?

තිබුණු වසංගත තත්ත්වය පහව ගිහින් සිනමාශාලා විවෘත වනවාත් සමඟමයි මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුණේ. එහි ප්‍රචාරණය දීමේ බොහෝ ගැටලු තිබුණා. එය හරි හැටි කෙරුණේ නැහැ. චිත්‍රපටය බලපු අතළොස්ස අතරෙන් මට නිර්දය විවේචනයක් එල්ල නොවුණු චිත්‍රපටයක් මේක. චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයන්ගෙන් එයට මට බොහොම ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. එහි මගේ චරිතයේ නම වික්‍රම ලොකු බණ්ඩාර. එය චිත්‍රපටයක් ලෙස රසවිඳීය හැකි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය හැමෝම බලන්න ඕනේ එකක්. ඒ මම රඟපාන නිසා නෙමෙයි. අපිට මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඒකෙන් පෙනේවි. කවුරුත් දන්නේ නෑ වගේ ඉන්නවා. එහෙම ඉන්න එපා එක්කෙනෙක් හරි නැඟිටින්න ඕනේ. ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ගන්න තිබුණු ප්‍රචාරණ යාන්ත්‍රණය නිසා ගිලිහී ගිය චිත්‍රපටයක්. ඒ නිසා කවුරුත් දන්නේ නෑ වගේ ඉන්න එපා දැක්ක වෙලාවක අනිවාර්යයෙන්ම බලන්න.

 

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ පවතින අර්බුද පිළිබඳව ඔබේ අදහස?

 

කාලයක් තිස්සේ අපේ රටේ කලාව අර්බුදයක තියෙන්නේ කියලා කිව්වාට තවමත් එකට ස්ථීර විසඳුමක් හොයාගන්න බැරුව සෑහෙන්න කාලයක් කලාව කළා. රටක් ලෙසත් අපි බොහෝම අමාරු තැනක දැන් ඉන්නේ. ඒක කලාවටත් ඒ ආකාරයෙන්ම දැනෙනවා. ඒත් කලාව නැති වෙලා නැහැ. තවමත් ඉතාම හොඳ කලා නිර්මාණ හැදෙනවා. අපි මනසින් නිදහස් ද කියලා ගැටලුවක් තියෙනවා. මේ වෙනකොට අපි ඉන්නෙ ලොකු පීඩනයක. වර්තමානයේ කලා කෘති දිහා බැලුවාම කාටවත් කියන්න බැහැ අපේ රටේ හොඳ කලාවක් නැහැ කියලා. හොඳ වේදිකා නාට්‍යය, චිත්‍රපට හැදෙනවා. අඩු වැඩි වශයෙන් හරි හොඳ ටෙලිනාට්‍ය හැදෙනවා. නමුත් ලංකාවේ මාධ්‍ය කියන භූමිකාව අපිට ලොකු බලපෑමක් කරනවා. එතනින් අහිමි කරන රසඥතාවය ඇති කරගැනීමට පුළුවන් වෙන්නෙත් ඔවුන්ටම තමයි. කලාවට ආදරේ මිනිස්සු තවමත් ඉන්නවා. හුඟක්ම හොඳ දේවලට වඩා බොහොම ඇන්දිලි සහගත පුහු දේවල් මිනිස්සුන්ගෙ අවදානය යන්නේ. මිනිස්සුන්ගෙ රසවින්දනය හීන වෙන එක අපිට නතර කරන්න බැහැ. මේ යන විදියට දිගටම ගියොත් අපි මේ ඉන්න විදිහට වඩා නරක තැනකට යයි කියන එකයි මගේ අදහස.

 

ක්ෂේත්‍රයට අලුතෙන්ම එකතු වුණු පරපුර ගැන මොකද හිතෙන්නේ?

මගේ ජීවිතේට මම මේ වයස වෙනකොට එකතු කරගත්ත දේවල් ඔවුන්ට මගේ වයස වෙද්දි එක් කරගන්න පුළුවන් වෙයිද කියන සැකය තියෙනවා මට. සමාජය ගැන අවබෝධය සහ සමාජය හරියට කියවගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. දැන් අපිට ඉක්මණින් ලැබෙන්නේ බොහොම බාල ලාභ දේවල්. දැන් රංගනයට සම්බන්ධ වෙන කෙනෙක්ට වුණත් විෂය හොයාගෙන යන්න පුළුවන්. ඔවුන් රංගනයට එළඹෙන්නෙ මේ තොයෙන ක්‍රමවේදයට අනුගත වෙලා. හොඳ රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ, දක්ෂතා නිසා ගෞරවයට පාත්‍ර වෙන්න ඕනේ කියන කාරණාව බොහෝ දෙනෙක්ට අමතක වෙලා සහ අවශ්‍යතාවක් නැහැ. එදිනෙදා දවස ගෙවාගන්න ඔවුන් රඟපාන්නේ. එක්තරා පොඩි දෙයකින් ඔවුන් අසීමිත ලෙස ජනප්‍රිය වෙලා ඒක නැති වෙලා යනවා. මේක ඇතුළෙ හැඩගැහෙන්න ඔවුන් මොකක්හරි දෙයක් කරනවා. දක්ෂතා නැති අය බිහි නොවෙනවා නෙමෙයි. බොහෝ දක්ෂතා තියෙන අපිට වඩා ලොකු හැකියා තියෙන තරුණයො ඉන්නවා. එහෙම හොඳ රංගන ශිල්පියො බිහි වෙන හරිහමන් ක්‍රමවේදයකුත් මේ රටේ නැහැ. ඒක ඔවුන්ගේ වරදක් නෙමෙයි. ඒක අපි විසින් කරගත්ත වැරැද්දක්. ඒ වැරැද්දෙ අපිත් කොටස්කාරයෝ කියලා හිතෙනවා.

 

ඊළඟ පරපුර දක්ෂ නොවීමේ චෝදනාව ජ්‍යෙෂ්ඨ පරපුරේ ඉන්න ඔබටත් කවදාහෝ එල්ල වෙනවා?

පැහැදිලිවම. ඒකේ අපිත් කොටස්කාරයෝ. අපිත් ඇවිල්ලා දන්න දේවල් කොහොමහරි ඉගෙනගත්තා. අපිට වඩා ජ්‍යෙෂ්ඨ පරම්පරාවේ අයගෙ පස්සෙන් වැටිලා කොහොමහරි දේවල් ඉගෙනගත්තා. නමුත් එක කණ්ඩායමක් විදිහට එක වෘත්තියක් කරන පිරිසක් ලෙස යමක් කළේ නැහැ කියන කණගාටුව මට තියෙනවා. අපේ පරපුරටත් බැරි වුණා ඒකට විසඳුමක් හොයලා දෙන්න. මම උත්සාහ කරනවා අඩුම තරමෙ එහෙම කතාබහක් කථිකාවතක් හදාගන්න. ඔවුන්ට කිට්ටු වෙලා වැඩ කරන්න, ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදාගන්න මම උත්සාහ කරනවා. ඒත් ඔබ කරපු චෝදනාවෙන් අපිට ගැලවෙන්න බැහැ. අපිට ඔවුන්ට චෝදනා කරන්නත් බැහැ.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිර්මාණ කීපයක් තියෙනවා. ඒවා ප්‍රේක්ෂකයන් වැලදගනීවි කියලා මම හිතනවා. විශේෂයෙන් අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ "කන්දක් සේ මා" චිත්‍රපටය. ඒ වගේම ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු "මන්දාරා" චිත්‍රපටයේ පළමුවරට සිනමාවෙ ප්‍රතිවීර චරිතයක් නිරූපණය කරනවා. ඒ වගේම ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරපු "අයිස් ක්‍රීම්" චිත්‍රපටය තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම වෛද්‍ය කපිල සූරියාආරච්චි අධ්‍යක්ෂණය කරපු "සිනේමා" චිත්‍රපටය ළඟදීම තිරගත වෙන්න නියමිතයි. මේ දිනවල මම ලලිත් රත්නායකගේ නවතම ටෙලිනිර්මාණයේ රූගත කිරීම්වල ඉන්නේ. තව අලුත් ටෙලිනිර්මාණයක රූගත් කිරීම් මැයි මාසයේ ආරම්භ වෙනවා.

 

නිර්මාණි බණ්ඩාරනායක




Previous Post Next Post