වෙළෙඳ දැන්වීම් තුළින් නිතර දකින රුවක්, මේ දිනවල නම් ඇයව අපිට වඩාත් සමීප වෙන්නේ පුංචි තිරයේ දිගහැරෙන සුපුන් රත්නායකගේ "තුන්පනේ" හි දිවිත්ව චරිතයකින් සහ තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී හි අරුන්දතී කල්පනා ලෙසින්. රුවැති සුන්දර රුවකට හිමිකම් කියන රුවි මේ විදියට ඇගේ විස්තර ගැන පුවත්පතක් සමඟින් පවසා තිබුනා..
නම - රුවි ලක්මාලි
ගම - බණ්ඩාරවෙල
පාසැල - බණ්ඩාරවෙල විශාකා විද්‍යාලය
පවුලේ විස්තර - අම්මා තාත්තා අයියලා දෙන්නයි මමයි.
කලාවට සම්බන්ධ වෙන්නේ - පාසලේදී වැඩියෙන්ම කළේ කලා කටයුතු. ඒ අංශයෙන් පාසලේ කැපීපෙනෙන ශිෂ්‍යාවක්. මම ආස කළේ කවදා හරි නැටුම් ගුරුවරියක් වෙන්න. නැටුම් ගුරුවරියක් වෙන්න මම ඉහළටම ඉගෙන ගත්තා. ඒ හීනය හැබෑ කරගන්න අවස්ථාව ලැබුණා. 2009 අවුරුද්දේ ඌව පළාතෙන් සිරිකත අවුරුදු කුමරිය වුණා. පළමු ස්ථානය දිනාගත්තට පස්සේ මට පුවත්පත් කවර හැඩ කරන්න අවස්ථාව ලැබුණා.
ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
ගෙදරින් අම්මා තාත්තා වගේම අයියලා දෙන්න මට ලොකු සහයෝගයක් දුන්නා. අදටත් මම ඉන්න වෙෙළඳ දැන්වීමක් ගියත් අයියලා දෙන්න මට කතා කරනවා. සමහරු අහනවා අයියලා දෙන්නෙක් ඉඳලත් මේ ක්ෂේත්‍රයට එන්න දුන්නද? කියලා. මම හිතන්නේ අපි හරියට ඉන්නවා නම් මොන ක්ෂේත්‍රයට එන්නවත් බයවෙන්න ඕනේ නෑ. විශේෂයෙන්ම මගේ අම්මා හරි ආසයි මාව නිර්මාණ තුළින් දකින්න.
වෙෙළඳ දැන්වීම්වල නම් රුවිගේ රුව නිතර දකිනවා
ඔව්. මට ගොඩක්ම ලැබුණෙ වෙළෙඳ දැන්වීම්. ඒවා හුඟක් ප්‍රසිද්ධ වුණා. අයඩෙක්ස් කොන්දෙ රුදා, කොටගල කහට,ටිකි බේබි, කැලණි කේබල්ස්, සිංගර් ප්ලස්, කීල්ස් සොසේජස්, ලකී යෝගට්, මාමයිට්, වටවල රන් කහට, බයටින් බියුටි කප්සුල්, මැලිබන් වයිට් චෝකොලට් පෆ්, බජාජ්, සිංගර් වායුසමීකරණ, වොන්ඩර්ලයිට්, දකුණු අධිවේගී මාර්ගයේ විවේක ගන්නා ස්ථානය, පියුරෙට් ෆිල්ටස්, ලංකා සෝයි ඒ අතර තියෙනවා.
අපි කතා කරොත් "තුන්පනේ" හි චරිත ගැන
මෙතැනදී කියන්නේ පණ තුනක් ගැන. සුදු කළු සහ අළු කියන මිනිසුන්ගේ කතාව තමා "තුන්පනේ" තුළ තියෙන්නේ. මෙතැනදී මට ලැබිලා තියෙන්නේ සුදු සහ අළු කියන ද්විත්ව චරිත දෙකක්. වෙෙළඳ දැන්වීමකින් දැකලා තමා මට සුපුන් අයියා මේ නිර්මාණයට කතා කළේ.
කොහොමද ඒ අත්දැකීම
වෙනස්ම මාතෘකාවක් තියෙන්නේ. කෙටියෙන්ම කියනවා නම් කුණු අඳින මිනිසුන්ගේ කතාවක්. මට තියෙන විශේෂත්වය තමා මගේ ජිවිතේ පළමු වතාවට ද්විත්ව චරිතයක් කරන නිර්මාණය. ඒ වගේම ඒ සුදු සහ අළු චරිතයක්. මම හිතනවා ගොඩක් මිනිසුන් ආදරය කරන නිර්මාණයක් වෙයි.
සිනමාවෙන් ඔබ රඟපෑ "ආශාවරී"තිරගත වෙනවා, සිනමාවට දායක වූ අවස්ථා ගැන මතක් කළොත්
මගේ මුල්ම චිත්‍රපටය වුණේ දුමින්ද සංජිව අධ්‍යක්ෂණය කළ "වියළෙන දලුව" චිත්‍රපටය. එය තවම ලංකාවේ නම් ප්‍රදර්ශනය වෙලා නැහැ. නමුත් විදෙස් ප්‍රදර්ශන වාර රැසක් තිරගත වෙලා තියෙනවා. ඊට පස්සේ යශෝධරා චිත්‍රපටයේ යශෝධාරගේ යෙහෙළිය විදියට රඟපෑවා. ඒ එක්කම මහේෂ් මුණසිංහ අයියගේ රශ් චිත්‍රපටයේ සාරංගගේ නංගිට රඟපෑවා. දැන් ආශාවරී චිත්‍රපටයේ සාරංගගේ බිරිඳ ලෙස රඟපානවා.
කොහොමද ආශාවරී
ආශාවරී කියන්නේ තේජා ඉද්දමල්ගොඩගේ කුලුඳුල් නිර්මාණය. තේජා අයියා මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නෙමෙයි. ඔහු ඉතා දක්ෂ නිර්මාණශීලි නිර්මාණකරුවෙක්. ඔහුගේ සිනමා හීනය තමයි මේ හැබෑ වුණේ. ''ආශාවරී'' හරි අපූරු නිර්මාණයක්. ආදරණීය නිර්මාණයක්. එන්න ඇවිත් නරඹන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා සිනමා රසිකයන්ට.
රූගත කරන කාලේ මතක ඇති
මතක ගොඩක් තියෙනවා ආශාවරී නිර්මාණයේ. ජයලත් මනෝරත්නයන් අවසන්වරට රඟපෑ නිර්මාණය වීම. මම මේ ක්ෂේත්‍රයට තවමත් ආධුනිකයි. ජයලත් මනෝරත්න අයියා එක්ක මට ''ආශාවරී'' චිත්‍රපටයේ රඟපාන්න තිබුණේ එක කොටසයි. ඔහු මට පුදුමාකාර සහයෝගයක් වගේම හිතට හයියක් ලබා දුන්නා. නොදන්නා බොහෝ දේ කියලා දුන්නා. මම ඒ කොටස් රඟපාලා අවසන් වෙලා අයියට වැන්දාම ඔහු ''ඔයාට කරන්න පුළුවන් උපරිමයෙන්ම ඔයා කළා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා පුතේ'' කියලා මගේ ඔළුව අතගෑවා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඔහු වැනි ප්‍රවීණයෙක්ගෙන් ලැබුණු ඒ ආශිර්වාදය හරිම වටිනවා. ඒ වගේම අන්තිම දර්ශන තලයේ රූපගත කිරීම් කළේ එතුමා ඉතා අපහසුවෙන් කියලා අපිට දැනුණා. නමුත් ඒ බව ඔහු අපිට ඇඟෙව්වේ නැහැ. අපිට සපෝර්ට් එක දීගෙන ලස්සනටම කළා. ඒ දේවල් කවදාවත් අමතක නොවන මතකයන්.
ප්‍රවීණ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම ප්‍රවීණයන් එක්ක රඟපාන්න ආසයි. මට මුණගැහෙන හැම කෙනෙක්ම මට ආදරෙයි. සමහරු කියනවා ප්‍රවීණ අය නවකයන්ව කපනවා කියලා. ඒත් ගරු කළ යුතු අයට ගරු කළොත් කැපිලි කෙටිලි නෑ කියලා මම හිතන්නේ. ඕනෙම ක්ෂේත්‍රයක අවබෝධයෙන් වැඩකළොත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.
රුවි නිතර දකින්න නැත්තේ ඇයි
ටෙලි නිර්මාණවලින් නිතර දකින්න නැත්තේ නම් මම තවම මෙගා ටෙලි නාට්‍යය කරලා නැහැ. ඒක හේතුවක් වෙන්න ඇති නිතර පුංචි තිරයේ නොදකින්න. ඒ වගේම මම ආස නැහැ ගොඩක් කාර්යබහුල වෙලා රංගනයේ යෙදෙන්න. මම ජීවිතේට මුල් තැන දීලා හැම වැඩක්ම බාර ගන්නේ. ඒ වගේම මම දැන් කොළඹ; අම්මා තාත්තා ඉන්නේ බණ්ඩාරවෙල. ඒ අය බලන්න යන්න වෙලාවක් තියාගන්න ඕනේ.ඒ නිසා කොළඹින් පිට ගිහින් රූපගත කිරීම්වලට සහභාගී වෙනවත් අඩුයි.
රුවි වෘත්තිය රංගන ශිල්පිනියක් ද?
මම රංගනයට එන්න කලින් ගුරුවරියක්. දැන් මගේ වෘත්තිය රංගනය. ඒත් ජීවිත කාලයටම රංගනය වෘත්තිය කරගන්න අදහසක් නැහැ. හැබැයි මම වයසට ගියත් හොඳ චරිත ලැබුණොත් කරනවා. ඒ වගේම මට හීන තියෙනවා. කරන්න ආස චරිත තියෙනවා. ඒ චරිත ලැබෙනකම් මමත් බලාගෙන ඉන්නවා.
මොනවද ඒ චරිත
පොලිස් චරිතයක්. මෙහෙණි කෙනෙක්ගේ චරිතයක් කරන්න ආසයි.
කොහොමද සැමියාගෙන් ලැබෙන සහයෝගය
මම විවාහ වුණේ නාකුල් ප්‍රසාද් සමඟයි. ඔහු වෙළෙඳ දැන්වීම් සහාය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගෙන් මට මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාගෙන් මට ලැබෙන ලොකුම සහයෝගය තමයි මට උපරිම නිදහස දීලා තියෙනවා.
මෙතෙක් කරපු නිර්මාණ ගැන සතුටුද?
ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. මම හැමවෙලේම පෙනී සිටින චරිතයක් නෙවෙයි. නමුත් මම බාර ගන්න වැඩේට උපරිම සාධාරණයක් කරනවා. මම රඟපෑ සුමුදු වෙල්ලාල අයියගේ හරස් පාර ටෙලි නාට්‍යය වෙනුවෙන් මම නැගී එන නිළියට පවා නිර්දේශ වෙනවා. හැබැයි මම සම්මාන බලාගෙන රඟපාන කෙනෙක් නෙවෙයි.