කෙනෙකුගේ ජීවිත කතාව තුළ දුෂ්කර කාල පරිච්ඡේද ඕනෑතරම් ඇත. ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට දැඩි ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි. ඊට තමන්ගේ අවට රැඳෙන්නන්ගේ බලපෑම්ද අඩු වැඩි වශයෙන් ලැබෙයි. දුෂ්කර කාල පරිච්ඡේදයන් තුළදී මිත්‍ර සමාගමද ඉතා වැදගත් තැනක් ගනියි. බිතු සිතුවම් රූ මෙන් සිටින්නාවූ මිතුරෝ මෙවැනි අවස්ථාවලදී මානසික සතුට ගෙනදෙති. එය එලෙසම අත්විඳී නළුවෙකි. මේ දිගු ප්‍රවේශය ගනු ලැබුවේ ඒ අප දන්න හඳුනන කෙනෙකුගේ අඳුරු කාල පරිච්ඡේදයකට එබිකම් කරන්නටය. මේ ජනප්‍රිය චරිතය රුවින් ඔබ හොඳීන් හඳුනන්නේ ඔහුගේ වෘත්තිය රංගනය නිසාය. එමෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු ගෙන ආ සිකුරු හතේ, සුහද කොකා වැනි නිර්මාණද අපට අමතක නැත. මෑත කාලීනව,නාඩගම්කාරයෝ ටෙලි සිතුවමේ කුකුළා මුදලාලිට චරිතයෙන් ඉමහත් ජනාදරයට පාත්‍රවූ මේ සොඳුරු සහෘදයා ගිරිරාජ් කෞශල්‍යයි. ඔහු පසුගිය මාස කීපය තුළ ගත කළේ ජීවිතයේ දුෂ්කර කාල පරිච්ඡේදයකි. ඔහු නොසිතූ විරූ අන්දමින් රෝගාතුර විය. එහෙත් ඒ බව දැනගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ තමන්ට කොරෝනා වැලඳී ඇත්දැයි පරික්ෂා කිරීමට ගිය මොහොතකදීය. මඳක් සුව වූ තැන නාඩගම්කාරයෝ නාට්‍යයේ දර්ශන තලයට ගොඩවැදීමටද ඔහු අමතක නොකළේය.
ඔබට ආයුබොහෝවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද තොරතුරු. සංක්‍රාන්ති සමයක් නිමා වුණා නේද?
ඇත්තටම ඒ සමය සම්පූර්ණයෙන් නිම වුණා කියලා මම කියන්නේ නැහැ. තවමත් අඩු වැඩි වශයෙන් මම ඒ තත්ත්වය අත්විඳීමින් සිටිනවා.
දවස් හතළිහකට අධික කාලයක් මම රෝහල්ගත වෙලා නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. පසුගිය ඔක්තෝබර් මාසයේදී තමයි මට මේ ලෙඩේ තියෙනවා කියලා හොයාගත්තේ. ඊට පසුව දිගටම ප්‍රතිකාර සඳහා යොමු වුණා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ දේවින්ද ජයතිලක කියන වෛද්‍යවරයා. ඔහු තමයි මගේ අසනීප තත්ත්වය පිළිබඳ නිතරම හොයලා බලමින්ම ඒ මට නිතරම සත්කාර කළේ. ඒවගේම මගේ බිරියවත් මතක් කළ යුතුයි.
මේ ගත වුණු කාලය මොන වගේ කාලපරිච්ඡේදයක් විදිහට ද ඔබට දැනෙන්නේ?
ඇත්තටම ඒක අභියෝගාත්මක කාලයක්. මේ කාලය අතරතුරදී මට තේරුණා මං වටා කොච්චර හොඳ මිත්‍ර සමාගමක් තියෙනවද කියලා. මම ලෙඩ වුණු වෙලාවේ ඉඳලම යාළුවෝ නිතරම කෝල් කර කර මං ගැන විස්තර හොයලා බැලුවා. ඒ වගේම මූල්‍යමය පැත්තෙන් ආධාර දුන්නා. විශේෂ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ විදෙස් වල ඉන්න රසික රසිකාවන් සහ හිතමිතුරුමිතුරියෝ. සමහරු මාව හැබැහින් දැකලවත් නැතුව ඇති. ඒත් මට උදව් කළා. මං වෙනුවෙන් බෝධි පූජා කළා. ඇත්තටම මට එතකොට දැනුණු සහනය කියා නිම කරන්නට බැහැ. එහෙම බලනකොට මට හිතෙනවා මම කොච්චර නම් වාසනාවන්තද කියලා.
ඔබ මිය ගියා කියලා දූෂමාන පුවත් පවා පළ වුණා?
ඇත්තටම ඒ වගේ එව්වත් පළවුණා. ඒවා මම දැනගන්නේ මගේ දුවගෙන්. මොකද මුහුණු පොත මම භාවිතයට ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් එක මොහොතකදී දිගටම මට ජංගම දුරකථනයට ඇමතුම් එනවා නම් අන්න ඔය වගේ පණිවිඩයක් සමාජගත වෙලා කියලා මම අනුමාන කරනවා. ඒ වගේ වෙලාවලදී මම දුරකථනය ආන්සර් කරන්නේ නැහැ. මොකද එක කෝල් එකකට ආන්සර් කරලා මම ජීවත් වෙලා ඉන්නවා කියලා කිව්වා කියන්නකෝ, ආයෙ නැවත නැවතත් එන කෝල්වලට දිගටම ඒ උත්තරේම දෙන්න වෙනවා. එතකොට මට වෙන වැඩක් කරන්න බෑ. දිගටම කෝල්ස්වලට එකම කියව කියව තමයි ඉන්න වෙන්නේ. තාත්ති මේ වගේ නිවුස් එකක් ගිහිල්ලා තියෙනවා කියලා දුව කියනවා. ඇත්තටම ඕවා පතුරුවන මිනිස්සු තමන්ගේ පටු පරමාර්ථයක් ඉටුකරගන්න තමයි ඔවැනි පහත් වැඩ කරන්නේ. පේජස්වල ලයික් වැඩි කරගන්න, යූටියුබ් වැඩිපුර පිරිසකට බලවන්න, තමයි ඔය වගේ වැඩ කරන්න පෙලඹෙන්නේ. ඉතින් මම ජීවත් වෙලා ඉන්නකොට මේ නොමරා මැරූ සෑම අවස්ථාවකදීම මට ලොකු කම්පාවක් ඇති වුණේ නම් නැහැ.
ඔබේ රසික රසිකාවන්ගේ එකම බලාපොරොත්තුව ඔබ යළි රංගනයට පිවිසීම?
ඇත්තටම ඒ කාරණය සත්‍යයක් කීදෙනෙක් නම් දවසකට අහනවද රඟපාන්න එන්නේ කවදද, රඟපාන්න ආයෙ එන්නේ නැද්ද කියලා. මම දින තුනකට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රඟපාන්න ආවා. මට දැන් ගොඩක් මහන්සි වෙන්න බැහැ. වෛද්‍යවරු කියලා තියෙන්නේ පුළුවන් තරම් විවේක ගන්නයි කියලා. ඒ වගේම රඟපාන්න ගියත් විසබීජවලින් ආරක්ෂා වෙන්න කියලා මට නිතරම උපදෙස් ලැබෙනවා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ නාඩගම්කාරයෝ නාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම ඒ වගේම අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ තිරකතා රචක සද්ධාමංගල සූරියබණ්ඩාර කියන මහත්වරුන්ව. ඔවුන් මම ආව දින තුනට උපරිම සත්කාර මං වෙනුවෙන් ලබා දුන්නා. වෙනම වාහනයක් මට දුන්නා. විවේක වෙලාවන්වලදී මම හිටියේ ඒකට වෙලා. ඒ වගේම බාහිර පුද්ගලයන්ගෙන් මාව ආරක්ෂා වෙන්නත් මම ඒ වාහනයට වෙලා තමයි ගොඩක් වෙලා හිටියේ. දවස් 3 පුරාවටම ඔවුන් මං වෙනුවෙන් වෙනම කෑම ජාති පිළියෙල කරලා දුන්නා. ඒ ආදරය, ළෙන්ගතුකම ගැන කතා නොකරම බැහැ. ඉතින් මට ඉස්සර තරම් වෙහෙස වෙලා රඟපාන්න කරන්න බැරි වුණත් ඒ ඒ ලැබුණු අවස්ථාවෙන් මම පුළුවන් තරම් මගේ කොටස් ටිකට දායකත්වය ලබාදීලා යළි ප්‍රතිකාර සඳහා පැමිණියා.
කවුද විතරද සුපුරුදු ගිරිරාජ් කෞශල්‍යව අපට දැකගන්නට ලැබෙන්නේ?
මටත් අවශ්‍ය සුපුරුදු ගිරා විදිහටම වැඩ ටික කරගෙන යන්න. මම හිතනවා තව නොබෝ දිනකින් මට ඉස්සර වගේම වැඩ කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවි කියලා. වෛද්‍ය උපදෙස් මත තමයි මම මේ දවස්වල ජීවිතය ගත කරන්නේ. යම්කිසි කාලයක් හොඳට විවේක ගත්තායින් අනතුරුව සුපුරුදු විදිහට, සුපුරුදු පරිදි ඒ රංගන කටයුතුවල නියැළෙනවා.
ඔබගේ දියණියත් මේ වන විට රංගනයට පිවිසිලා?
ඔවු මගේ දුව අමන්ද්‍යා උත්පලී.
ඇය ඒ කාලයක් තිස්සේ රංගනය පිළිබඳ හැදෑරීම් වල නියැළුණා. රන්වල බලකායටත් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඔය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය කල්පනා කියන චරිතයට තමයි දුව පණ පොවන්නෙ. කලාවට දුව හරිම ආසයි. පෙර සූදානමක් ඇතිව තමයි ඇය කලා කටයුතු කරගෙන යන්නේ. විශේෂයෙන්ම රංගන කටයුතුවලදී පවා ඇය ඉතා හොඳ සූදානමක් ඇතිව තමයි ඒ චරිතය වුණත් රඟපාන්න ගියේ. මම හිතනවා ඇය දිගින් දිගටම තමන්ගේ රංගන කාර්යය කරගෙන යාවි කියලා. මම ඇත්තටම ඇයට සුබ පතනවා.