මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේ නැඟි එන හොඳම නළුවාට ඔහු නිර්දේශ වී තිබුණා. නමින් ඔහු ගෙවින් අභිෂේක්. කලා ලොවට පිවිස නොබෝ කාලයකින් සිය ප්‍රතිභාව මැනවින් පෙන්වමින් සිටින ගෙවින්ගේ තාත්තා ඔබ අපි හැමෝම ආදරේ කරන රංගන ශිල්පී චින්තක කුලතුංග. පියාගේ අඩිපාරේ යමින් කලාව පෝෂණය කරන්න එකතුවුණු මේ ඉලන්දාරියා ඔහු ගැන පුවත්පතක් සමඟින් කිවේ මේ විදිහට.
ගෙවින් ක්ෂේත්රයට එන්නේ?
මගේ තාත්තා නළුවෙක්, නිෂ්පාදකවරයෙක් වුණාට කලාවට මම එන්නේ පාසලෙන්. මගෙ පාසල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. කලා ලෝකයට බොහෝ පිරිසක් දායාද කරලා තියෙනවා මගෙ පාසලෙන්. මං සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් අරගෙන සමත් වුණා. නාට්‍ය හා රංගකලාව විෂයට තිබුණ වැඩි කැමැත්ත නිසාම කලා අංශයෙන් උසස්පෙළ කරන්න තීරණය කළා. මම වූෂු කරන්න ගත්තා. බෘස්ලි, ජැකි චෑන් වගේ අයගේ චිත්‍රපට බලන්න ගත්තා. ඒ බලපෑම එක්ක මටත් සටන් නළුවෙක් වීමේ ආශාව ආවා. ක්ෂේත්රයට එන්න නම් අධ්‍යාපනයත් අවශ්‍යයි. පාසල් වේදීකාව වගේම සෝමලතා සුබසිංහ මහත්මියගේ රංග පාසලත්, මට ක්ෂේත්රයට එන්න හොඳ තෝතැන්නක් වුණා.
ඔබේ ප්‍රථම ටෙලි නාට්‍ය සුළඟ මහ මෙරක?
උසස්පෙළ සමත් වෙලා මට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න හැකි වුණත් මම ඕස්ට්‍රේලියා ගියා. එහිදී මම කලාව පිළිබඳ වැඩි දුරටත් ඉගෙන ගත්තා. ඔය අතරතුරේදීයී සුළඟ මහ මෙරක ටෙලි නාට්‍ය සඳහා සුදත් දේවප්‍රිය සර් ආරාධනා කළේ. එතුමා අඹ යාළුවෝ ඩිරෙක්ටර්. මගේ අධ්‍යාපන කටයුතු පැත්තකට දාලා ලංකාවට ආවා එතුමාගේ නාට්‍යයට සම්බන්ධ වෙන්න. එයින් පසුව මට නිර්මාණ බොහොමයක් ලැබුණා. ඒ වැඩ කරගෙන ඉන්නවා තාම ලංකාවේ.
තාත්තා නිසා රංගනයට ආවා නෙවේද?
බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම තමයි. එහෙම නෑ තාත්තා මට කවදාවත් කියලා නෑ ඔයා රඟපාන්න හෝ රංගනය තෝරගන්න කියලා. මේ මගේ කැමැත්ත. ඒත් තාත්තා රඟපාන දිහා මම බලන් ඉන්නවා. ඔහු චරිතවලට පණ දෙන දිහා බලන් ඉද්දි මට රංගනයට ඇති කැමැත්ත වැඩි වුණා.
පීතෘ ගැනත් කතා කරන්නම ඕන?
ආනන්ද අබේනායක සර් මට කතා කරනවිට මට හිතාගන්න බැරි වුණා. ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ දැනට ඉන්න විශිෂ්ටතම අධ්යක්ෂවරයෙක් ඔහු. ඔහුගේ නාට්‍යක රඟපෑම සහ නාමල් ජයසිංහයන්ගේ ස්ක්‍රිප්ට් එකක මට චරිතයක් ලැබීම කියන්නේ මට ජීවීතයේ ලැබුණු ලොකුම භාග්‍යයක්. එය පාසල් කාලයේ සිටම මට තිබූ හීනයක්.මං මතක් කරන්න ඕන චාන්දනී සෙනෙවිරත්න නැන්දා, උමාලි අක්කා ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. පීතෘ නාට්‍යය මම ආසාවෙන් කළ වැඩක්. එය අවම කොටස් ප්‍රමණයක නාට්‍යයක්. අධ්යක්ෂවරයා ඇතුළු පීතෘ කණ්ඩායමේ සියලු දෙනාටම ස්තූතියි කියන්න මේක අවස්ථාව කරගන්න කැමතියි.
නවක රංගන ශිල්පියෙක් විදිහට විවිධ ආරාධනා එන්න පුළුවන් විවිධ නිර්මාණවලට. ඔබ යම් හැදෑරීමක් එක්කයි මේ ක්ෂේත්රයට එක් වෙන්නේ. වෘත්තීය ලෙස තෝරාගත් නිසා ලැබෙන වැඩ සියල්ල කරනවද? යම් තෝරා බේරා ගැනීමක් එක්කද කරන්නේ?
ඇත්තටම ලැබෙන නිර්මාණය සියල්ලම මම කරන්නේ නෑ. මම දැනට කරලා තියෙන්නෙත් ටෙලිනාට්‍ය පහක් පමණ. මට ආරාධනා කරලා තියෙනවා ටෙලිනාට්‍ය හතළිහකට පනහකට විතර. ඇතැම් නාලිකාවල කොටස් දාහා දෙදාහා යන ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත සඳහා මට ආරාධනා කරලා තියෙනවා. සමහර නිර්මාණවලට පිටපතවත් නැතුව කතා කරනවා. එහෙම ඒවා භාරගන්නේ නෑ. මොකද මම ඉගෙනගෙන තියෙන්නේ නිර්මාණයක පිටපතයි ප්‍රබල වෙන්නේ. පිටපත ලැබුණම එහි චරිතය බලලා තාත්තා එක්කත් කතා කරලා එයාගෙනුත් අදහස් අරගෙන මටත් ඒ චරිතයට ආස හිතුණොත් ඒ වගේ චරිත මම කරනවා. ඔබ ඇහුවා වගේ අධ්‍යාපනයත් එක්ක මම ක්ෂේත්රයට ඇවිත් තියෙන නිසා අපරාදේ කියලා හිතෙනවා එවැනි චරිත නිරූපණය කරන්න යන එක. මොකද නළුවෙක් විදිහට මගේ හැකියාව පෙන්වීමටත් නොහැකියි එවැනි නිර්මාණ තුළින්.
චරිතයක් තෝරගනිද්දි තාත්තා එක්ක කතා කරනවා වගේම චරිතය නිරූපණය කරලා ඉවරවෙලා තිරය තුළ දකිද්දි තාත්තා මොනවද කියන්නේ?
තාත්තා නිසයි මම බොහෝ වෙලාවට මම කරන දේ ගැන ආයේ අයේත් හිතන්නේ. ඔහු මගේ නාට්‍ය අනිවාර්යයෙන්ම බලනවා. ඒ බලන වෙලාවටම මට ප්‍රතිචාර දක්වනවා. එයම හේතුවක් වෙනවා ඊට පසුව මම කරන දේ ගැන වැඩිපුර හිතන්න. ඇක්ටින් ස්කූල් එකක ඉන්නවා වගේ ගෙදර ඉන්න එක. එය හොඳ ප්‍රැක්ටිස් එකක්.
තාත්තා නළුවෙක් වගේම නිෂ්පාදකවරයෙක්. තාත්තා එක්ක නිර්මාණයක් කරන්න හිතලා නැද්ද?
ඔව්. එයට තාත්තාගේ ඉස්සර ඉදලම ලොකු ආසාවක් තිබුණා ඔහු මගේ තාත්තානේ. මම රඟපාන්න පටන් ගත්තට පස්සෙත් ඔහු නාට්‍ය තුනක් පමණ නිෂ්පාදනය කළා. නමුත් මාව ප්‍රධාන චරිතයට දාලා කරන්න ඕන කියලා බලපෑම් කරලා නෑ. තාත්තා හැමදාම කියන දෙයක් තමයි ලංකාවේ කවුරුවත්ම නිෂ්පාදකවරුන්ගේ පුතාලා නිසා හොඳ නළුවෝ වුණ අය නැහැ. අධ්‍යාපනය හා අත්දැකීම් තුළින් හොඳ නළුවෙක් වෙන්න. එවිට තාත්තා නිෂ්පාදකද අධ්‍යක්ෂකද කියන එක අදාළ නෑ කියලා.
ගෙවින් වෘත්තීමය නළුවෙක්ද? නැත්නම් වෙන වෘත්තීයක් කරන ගමන් රඟපානවද?
මම ඉගෙන ගත්තේ කලාව නිසා මම වෘත්තීය ලෙස කලාව කරන්න කැමැතියි. නමුත් අපේ රටේ කලාව වෘත්තීය ලෙස කිරීමෙන් පමණක්ම යැපෙන්න බැහැ. මගේ තාත්තා හෝටල් ක්ෂේත්රයට අදාළව ව්‍යාපාරිකයෙක්. ඔහු සමඟ ඔහුගේ කටයුතුවලට සම්බන්ධ වී වැඩ කරන ගමන් රංගන කටයුතුත් කරන්න කැමැතියි. කොහොමත් මම වෘත්තීය නළුවෙක් කියන්න කැමැතියි.
රයිගම් ටෙලි සම්මාන උලෙළේ ඔබත් නිර්දේශ වී තිබුණා?
ඔව්. නැඟී එන හොඳම නළුවාට මම නිර්දේශ වුණා. මම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු නතර කරලා දාලා ආවෙත් මේ නාට්‍යය නිසා. අධ්යක්ෂ සුදත් දෙවප්රිය. ඔහු ලංකාවේ පැරණිතම අධ්යක්ෂවරයෙක්. මට ඒ නාට්‍යයේ කළේ සපෝටින් රෝල් එකකටත් වඩා පොඩි රෝල් එකක්. ඉතාම පොඩි චරිතයක්. මා සමඟ නිර්දේශ වූ සහෝදර නළුවෝ දෙන්නම ඒ ඒ නාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කළ අය. මට ඇත්තටම හිතාගන්න බැරි වුණා එය. ඔවුන් දෙදෙනා සමඟ නිර්දේශ වීම මට සම්මානයක් වගේ තමයි. මට සතුටුයි ධනුක අයියට සම්මානය ලැබුණට.
ගෙවින් වේදීකාවෙත් ඔබේ දක්ෂතා පෙන්නලා තියෙනවා?
වේදීකාව කියන්නේ මම ආසම තැනක්. වේදිකාව නිසයි රඟපාන්න කැමැත්තක් ඇති වෙන්නෙත්. මම සාමාන්‍ය පෙළ කරන කාලේ බුද්ධික දමයන්ත නාට්‍යවේදියාගේ නාට්‍යකට සම්බන්ධ වුණා. පසුව සෝමලතා සුබසිංහයන්ගේ විකෘති නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. වේදිකා නාට්‍යයක රඟපානවා කියන්නේ නළුවෙක්ට එය හොඳ ප්‍රැක්ටිස් එකක්. හොඳ ස්ක්‍රිප්ට් එකක් එක්ක වේදිකා නාට්‍යයකට ආරාධනා කළොත් භාරගන්නවා.
ඔය ඇස් දෙක කාගෙද?
( සිනාසෙමින්) අම්මගෙන් තමයි මට මේ ඇස් දෙක
ලැබුණේ. ඇස්දෙකට ගැහැනු ළමයින්ගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඇස් දෙක නිසා මට ලැබෙන ගොඩක් නිර්මාණ මෙගා නාට්‍ය. ඔවුන්ට අවශ්‍ය විෂුවල් බියුටි එකක් ගන්න නිසා වෙන්න ඇති එහෙම ආරාධනා කරන්නේ.
ඉදිරි වැඩ කටයුතු?
ටෙලිනාට්‍ය තුනකට ආරාධනා ලැබිලා තියෙනවා. එකක වැඩ මේ වෙද්දි කරගෙන යනවා. සුපුන් රත්නායක අයියගේ සහා උදාර අබේසුන්දර අයියාගේත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. ඒ වගේම චිත්‍රපට දෙකක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව සමන්ත පෙරේරා සර්ගේ ළඟ වොයිස් ට්‍රේනින් කළා පොඩි කාලේ ඉඳලම. මම ඉදිරියේ දී ගීත දෙක තුනක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
තිළිණි රාජපතිරණ