දමිත් අසංක එළිමහන් ප‍්‍රසංගවලින් සමුගන්න සැරසෙයි


 

එළිමහන් ප‍්‍රසංග වේදිකාවට ගොඩ වූ දමිත් අසංකගේ ජීවිතයේ ඉස්සරහට ලොකු පෙරළියක් වෙන්නයි යන්නේ. ඒ කතාව දමිත්ට ආදරය කරන රසික රසිකාවියන්ට  මේ විිදියට පවසා තිබුනා.


 මෙච්චර කාලයක් නිහඬව හිටියේ ඇයි?


 අපේ රටේ ඇතිවුණ වසංගතයත් එක්ක අපිට කොහොමටත් නිහඬව ඉන්න සිද්ධ වුණා.


 සමහරු කියන්නේ ඔබ මත්ද්‍රව්‍යවලට නැඹුරු වුණා කියල?


 ඒක නම් බොරු කටකතාවක්. ඕනෑම කෙනෙකුට කතාන්දර හදන්න පුළුවන්නේ.


  බුදු දහමට නැඹුරු වුණ කියලත් ආරංචියි


 බුදු දහම කියන්නේ දර්ශනයක්. ඒ දර්ශනයට අනුව ජීවත් වෙන්න පුළුවන් නම් අපේ ජීවිතය ගොඩගන්න පුළුවන්. මම දැන් ආගම දහමට අනුව තමයි ජීවත් වෙන්නේ.


  පසුගිය දවස්වල කතාවක් පැතිරුණා දමිත් මහණ වෙන්න යනවා කියලත්?


 එහෙම අදහසක් පසුගිය ටිකේ තිබුණා. ඒ ඔය මිනිස්සු කියන විදිහට නෙමෙයි. මම කසාද බැඳලා. මට දරුවෝ ඉන්නවා. ඒ ප‍්‍රශ්න ඉවර වුණාට පස්සේ තමයි ඒ දේවල් ගැන හිතන්න ඕනෑ.


  යථාර්ථය තේරුම් අරගෙන ද ජීවත් වෙන්නේ.


 ඔව්. මම යථාර්ථය තේරුම් අරගෙනයි ජීවත් වෙන්නේ.


 දමිත්ගේ පාසල් කාලය ගැන කතා කළොත්?


 මම මුලින්ම ඇතිලිවැව කනිෂ්ඨ විද්‍යාලයට ගියේ. ඊට පස්සේ වැල්ලවායේ කුමාරදාස විදුහලට ගියා. එතැනින් පස්සේ බදුල්ලේ හාලිඇළ ඌව විද්‍යා විද්‍යාලයට ඇතුළත් වුණා. බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයට ඇතුළත් වුණා සාමාන්‍ය පෙළ හැදෑරීමට.


  මේ වෙනකොට ඔබ ගායනා කළ ගීත?


 මම දැනට ගීත 150ක් විතර ගායනා කරලා තියෙනවා.


 අලූත් ගීතයක් කළා කියලත් ආරංචියි


 එක ගීතයක් ළඟදීම එන්න තියෙනවා. ඒක නම් කළේ ‘සතුටින් ඉන්නේ හැමදාම. කියලා.


  ආදර ගීතවල අත්දැකීම් ගැන කතා කළොත්?


 ජීවිතය එක්ක සමහර සින්දු ගැළපිලා යනවා. ඒ සින්දුවල තියෙන අර්ථයත් එක්ක විශේෂ දේකුත් නැහැ.


 වැඩිපුරම කැමැති ගීතය?


 මට හීනයක් වෙලා කියන ගීතය. ඒක මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළා. මේ අනන්ත රාති‍්‍රයේ ගීතයත් ඒ ළඟින්ම යනවා.


 දමිත් ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?


 ඉදිරියේ දී එළිමහන් ප‍්‍රසංගවලින් සමුගන්න තමයි මගේ සූදානම.


 දමිත් එළිමහන් ප‍්‍රසංග වේදිකාවෙන්ස මුගන්නේ ඇයි?


 එළිමහන් ප‍්‍රසංගවල තියෙන සමාජ පදනම ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. ස්ටේජ් එක ගාවට ගියහම රසික ආදරය තමයි තියෙන්නේ. පසුගිය කොරෝනා කාලයේ වැඩ නැතිව හිටපු හින්ද වචන අමතක වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් ප‍්‍රසංගවලට සාධාරණයක් කරන්නත් ඕනෑ. වචන ලියාගෙන ගියාට කියන්න අමාරුයි. ගෘහස්ථ ප‍්‍රසංගවල දී වගේ නෙමෙයි. ලයිට් එළියත් එක්ක කියවා ගන්න වෙන්නෙත් නැහැ. එතකොට යම්කිසි අසාධාරණයක් දෙපැත්තට ම සිද්ධ වෙනවා. ඒ නිසා එළිමහන් ප‍්‍රසංගවලින් සමුගන්න තමයි හිතාගෙන ඉන්නේ.


  ඒක කොච්චර කාලයකින්ද කියලා තවම තීරණය කරලා නැති ද?


 මේ අවුරුද්දේ අවසානය වෙන කොට ලබන අවුරුද්දේ මාව එළිමහන් ප‍්‍රසංගවලින් දකින්න ලැබෙන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය.


  දමිත් අසංක ගෘහස්ථ ප‍්‍රසංගවල ගීත ගායනා කරනවද?


 ඔව් ගායනා කරනවා.


  ඔබේ ම ප‍්‍රසංගයක් කරන්නද සූදානම?


 කිහිප දෙනෙක් එකතු වෙලා ප‍්‍රසංගයක් කරන එක තමයි සාර්ථක. ඒක පුද්ගල ප‍්‍රසංගයක් කරන්න තවම විශේෂ කැමැත්තක් නැහැ.


 මෙතරම් ජනපි‍්‍රය වුණ දමිත්ට ඉන්නවත් තැනක් නැහැය කියන්නේ ඇත්ත ද?


 ඔව්. මට ම කියලා ගෙයක් දොරක් නැහැ. ප‍්‍රසංගවලට යනකොට අපිට ලොකු වියදමක් තියෙනවා. ඒ වියදමට සරිලන මුදලක් කිසිම ගායකයකුට ලැබෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම මෙච්චර කල් හිටියේ අම්මාගේ ගෙදර. වෙල්ලස් ටීවී එකේ අනුග‍්‍රහයෙන් මට ගෙයක් හදන්න මේ වෙනකොට මූලික අඩිතාලම දාලා තියෙනවා. ඒ වැඩ කටයුතු හිමිහිට කෙරීගෙන යනවා.


 දමිත් අසංග ලබන අවුරුද්දේ මොනවා කරාවිද?


 විශ‍්‍රාම ගිය මනුස්සයෙක් වගේ පාඩුවේ පැත්තකට වෙලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා නිවිච්ච ජීවිතයක් ගත කරන්න තමයි කැමැති.


යූ. එස්. පී. බණ්ඩාර






Previous Post Next Post