සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්කිරීමට ගැහැනියක්ම මුල්වීම වැරැදියි - උදාරි වර්ණකුලසූරිය




පසුගියදා ලංකාවේ පැවැති ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ ගැන මුළු ලෝකයම කතාබහට ලක් වී තිබුණා. ඉතින් 2015 වර්ෂයේ ඒ කිරුළ පැළඳ ලංකාවට ගෞරව නාමයක් ගෙන දුන්න ප්‍රවීණ රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය මෙදා ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ ගැන ඇයට දැනුණු දේ ගැන පුවත්පතකට මෙලෙස කියා තිබුනා.


 උදාරි කොහොමද අවුරුදු?

මෙවර අවුරුදු සැමරුවේ මගේ තාත්තා එක්ක තමයි.


 ඇයි ඔබේ ආදරණීය සැමියා, දියණිය අවුරුදුවලට ලංකාවට ආවේ නැද්ද?

සැමියාත්, දුවත් සිංගප්පූරුවේ ඉන්නේ. ‘කොවිඩ්’ ප්‍රශ්න නිසා එයාලාට ලංකාවට එන්න බැරි වුණා. එයාලා ආවත් නැවැත ලංකාවේ සෞඛ්‍ය නීතිරීති අනුව නිරෝධායනය විය යුතුයි. ඉතින් මගේ විවාහයෙන් පස්සේ ඒ දෙන්නා නැතුව මම අවුරුදු සමරන පළමු අවස්ථාව මෙය තමයි. දුකයි ඒත් මොනවා කියලා කරන්නද මම. මට සිංගප්පූරුවට යන්නත් බැහැ මේ ප්‍රශ්නත් එක්ක.


අවුරුද්දෙන් පස්සේ ඔබේ නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘ක්‍ෂිර සාගරය කැලඹෙයි’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා. මමත්, හේමාල් රණසිංහ, ජැක්සන් ඇන්තනි ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපානවා.


‘ක්‍ෂිර සාගරය කැලඹෙයි’ චිත්‍රපටයේ ඔබ වෙනස්ම චරිතයක් නේද නිරූපණය කරන්නේ?

ඔව්… රජ බිසවකගේ චරිතයක්. මෙවැනි චරිතයක් මම මෙයට පෙර කරලා නැහැ. එය ඓතිහාසික කතාවක්. හැබැයි ලංකාවේ සිදුවුණු ඓතිහාසික කතාවක රජ බිසවකගේ චරිතයක් නෙවෙයි මම නිරූපණය කරන්නේ. ඒ චරිතය මනඃකල්පිතයි.


 ‘ආසු’ චිත්‍රපටයේ ඔබේ රංගනයේ ජීවිතයට වෙනසක් ගෙන එනවා නේද?

ඇත්තටම ‘ආසු’ චිත්‍රපටය මම නිරූපණය කරන චරිතය අභියෝගාත්මක චරිතයක් වුණා මට. මොකද මම ඒ චරිතය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මගේ බාහිර ස්වරූපය පවා වෙනස්. ඒ චිත්‍රපටයේ රඟපාන්නේ මමද කියලවත් හිතාගන්න බැරි තරමට මාව වෙනස් කළා. කරු ජයසූරියගේ නැති වුණු දුවගේ ජීවිත කතාව ඇසුරෙන් තමයි ඒ ‘ආසු’ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.


 ටෙලිනාට්‍ය සහ සිනමාවටද ඔබ දායකත්ව සපයලා තිබෙනවා. ඒ තුළ ඔබ වර්ගීකරණයක් කරනවාද?

පුංචි තිරයටවත්, චිත්‍රපටවලටත් මගේ කිසිම වර්ගීකරණයක් නැහැ. මොකද මම මාධ්‍ය දෙකටම ආදරය කරනවා. මගේ පළමු චිත්‍රපටය ‘පායා එන්න හිරුගේ’ චිත්‍රපටය හරහා මම සිනමා තාරකාවියක් වුණා වගේම, ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍ය හරහා මම සංසලා වුණා. ඉතින් සංසලාට අදටත් ප්‍රේක්‍ෂකයින් ආදරය කරනවා.


අවුරුදු නිමාවත් එක්කම ඔබ සම්බන්ධ වුණු චිත්‍රපට රැසක් තිබෙනවා නේද තිරගත වීමට?

එකගෙයි සොකරි, මිදුණු විශ්වය, ශ්‍රී සිද්ධා, කවුරුත් දන්නේ නැහැ, දෙවන යුද්ධය, ආසු චිත්‍රපට සඳහා මගේ රංගනයන් දැකබලා ගන්නට පුළුවන්.


 පසුගියදා ලෝකෙම කතාබහට ලක්වුණු ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ ගැන ඔබට යමක් කිව හැකිද?

2015 වර්ෂයේ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ මම දිනාගත්තා. ඉතින් මෙවර පුෂ්පිකාට හිමිවුණා. මම වගේම ඇයත් ඒ සතුට භුක්ති වින්දා හැබැයි ඇයට අත්වුණු ඉරණම ගැන මම දුක්වෙනවා. සමාජයක් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත්කිරීම තවත් ගැහැනියක් මූලික වීම වැරැදියි. ඒ කිරුළ ගැන මුළු ලෝකයම කතා වුණා. විදේශීය මාධ්‍යවල පවා එය ගැන ප්‍රචාරය කළා.


පුෂ්පිකාට අත්වුණු ඉරණම ඔබට අත්වුණානම් ඔබට දැනෙන වේදනාව කොයිවගේද?

අන්න ඒ සිතුවිල්ලේ තමයි මමත් හිටියේ. එදා මට ඒ ප්‍රශ්නයට මුහුණ පෑමට සිදුවුණා නම් අද පුෂ්පිකාට වුණු දේ ගැන මම ගැන කතා කරයි. මෙවැනි දේවල් මින් ඉදිරියට නොවන විදියට කටයුතු කිරීම අදාළ බලධාරීන් වගබලා ගන්න ඕනා. මොකද ලංකාවට සිදුවන්නේ එයින් ලොකු කැලලක්.


වසන්ත විතාරණගේ








Previous Post Next Post