BMICH එකේ සැකකටයුතු නින්ජා මෙහෙයුමක්

රාජ්‍ය නායකයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී රටේ දේශපාලන නායකයන් ඇතුළු ජාත්‍යන්තර රාජ්‍ය නායකයන්ද සහභාගි වන සම්මේලන නිතර
පැවැත්වෙන බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට නිසි හා විධිමත් අනුමැතියකින් තොරව ඇතුළු වූ ආගන්තුක පුද්ගලයකු C.C.T.V කැමරා පද්ධතිය සහ අනෙකුත් සංවේදී උපකරණ සහිත ස්ථාන සහ ගිනි නිවීමේ උපකරණ ස්ථානගත කර ඇති තැන් ඡායාරූප ගත කිරීමේ සිදුවීමක් වාර්තා වේ.


මේ සිදුවීම තවත් කුමන්ත්‍රණයකට සූදානම් වීමක්ද යන බරපතළ සැකයක් මතු වී තිබේ. එම සැකය වඩාත් තීව්‍ර වන්නේ ආයතන බලධාරීන් විසින් යථොක්ත සිදුවීම රහසක් ලෙස තබා ගැනීම නිසාය. වාර්තා වන අන්දමට 2018 ජූලි 9 දින පෙරවරුවේ ආයතන පරිශ්‍රයට ඇතුළු වූ ආගන්තුක පුද්ගලයා පැය 4ට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් C.C.T.V. කැමරා සහ  ගිනි නිවීමේ උපකරණ ස්ථානගත කොට ඇති ආකාරය  ඡායාරූප ගතකර තිබෙන්නේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ඇතිවය. මෙසේ පැමිණි ආගන්තුක පුද්ගලයා කවුද? ඔහුගේ අනන්‍යතාව සහ අරමුණ කුමක්ද යන්න හෙළිකර ගැනීමට බණ්ඩාරනායක අනුස්මරණ පදනම ක්‍රියාකර නැති අතර මේ සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය ආයතන දැනුවත් කිරීමටද පියවර ගෙන නැත.

මේ සිදුවීම සම්බන්ධව බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක සුනිල් දිසානායක මහතාගෙන්  විමසූ අවස්ථාවේ ඒ මහතා ප්‍රකාශ කළේ එවැනි කිසිම සිදුවීමක් සිදුව නැති බව හා පුවත්පතට එවැනි තොරතුරක් ලැබී ඇත්නම් එය සම්පූර්ණ අසත්‍යයක් බවය.

-උදේනි සමන් කුමාර-
Previous Post Next Post