සම්බාහන ආයතන හිමියන් වැටලීම් වලට එරෙහිව නඩු මගට

මන් සතුව දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව නීත්‍යනුකූලව සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යා හැකි අන්දමේ බලපත්‍රයක් තිබියදී පොලිසිය තම සම්බාහන ආයතන වටලා එහි  සේවිකාවන් හා කළමනාකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කරමින් ප්‍රශ්න ඇති කිරීම නවතා
නීති විරෝධි ආයතන හඳුනාගෙන ඒවාට එරෙහිව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ආයුර්වේද සේවා ශිල්පීය වෘත්තීය සංගමයේ නියෝජිතයන් පිරිසක් 22 වැනිදා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු  තෙන්නකෝන් මහතා හමුවී තම දුම්ගැනවිල්ල ඉදිරිපත් කළහ.

පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පොලිස්පතිවරයා හමුවූ එම නියෝජිතයෝ පසුව තමන් මුහුණ පා ඇති ගැටලුව පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වූහ.

එක්සත් ආයුර්වේද සේවා ශිල්පීය වෘත්තීය සංගමය වෙනුවෙන් කරුණු දැක්වූ හිටපු  ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය සංගමයේ ලේකම්  ඉන්ද්‍රාණි ස්වර්ණා සේනාරත්න මහත්මිය මෙසේ කීවාය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී කරුණු ඉදිරීපත් කළේ අපේ ආයුර්වේද වෛද්‍ය වෘත්තියට නිග්‍රහ වන අන්දමින් පොලිසිය නීති විරෝධීව කරන වැටලීම් සම්බන්ධව දැනුවත් කිරීමටයි. සමහර නීති විරෝධි සම්බාහන ආයතන තුළ දූෂිත ක්‍රියා සිදුවන්නේ නැතැයි  කියා අපි කියන්නේ නෑ. ඒත් අපි ආයුර්වේද පනතට අනුව නිසි බලපත්‍ර සහිතව කරගෙන යන සම්බාහන මධ්‍යස්ථාන වටලා පොලිසිය කඩාවැදී එහි සේවක සේවිකාවන් කළමනාකරුවන් අත්අඩංගුවට ගැනීමක් දිගින් දිගටම කරනවා.


මේ වරදට දේශීය ආයුර්වේද වෛද්‍ය අංශයට අයත් ආයුවේද ශිල්පී අංශය මුළුමනින්ම වගකිව යුතුයි. ඒ ඔවුන් මීට වසර කිහිපයක සිට රුපියල් 1300 මුදලක් අරගෙන දේශීය වෛද්‍යවරයකු හරහා කරන ඉල්ලුමක් වෙනුවෙන් අවසර ලබාදී රිසිට් පතක් නිකුත් කරනවා. සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට එක වෛද්‍යවරයකුට රිසිට්පත් තුනක් ලබාගත හැකියි. ඔවුන් තමයි මෙයට වගකිව යුත්තේ. ඒ ආයතන තුළ සිදු වන්නේ කුමක්දැයි ඔවුන් සොයා බැලිය යුතුයි.

කඩවත, පහළ බියන්විල හා වත්තල නගරයේ ස්ථාන දෙකකදී වෛද්‍යවරයාට පිටවී යන ලෙස අණකර ක සේවිකාවන් කළමනාකාරවරුන් අත්අඩංගුවට ගත්තා යැයි සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා පැවැසීය. දේශීය වෛද්‍යවරයාගේ අයිතියක් වූ ආයුර්වේද සම්බාහනය අද මේ තත්ත්වයට වැටුණේ රුපියල් 1300 රිසිට් පතත්, වෛද්‍ය වෘත්තීය ගැන හසරක් නොදත් වෛද්‍ය සිසුනුත් නිසා යැයි වෛද්‍ය ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් පැවැසුවාය.

-කුසුම් එස්.හැන්නදි-

Previous Post Next Post