මම දිනක්ෂි එක්ක හිටියත් එයාට පොඩ්ඩක් ඉරිසියයි-සාරංග දිසාසේකර




සාරංග දිසාසේකර කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂක හදවත් ගැඹුරින්ම ස්පර්ශ කරන දක්ෂ රංගන ශිල්පියෙක්. ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ සල්ලි පොකුරු ටෙලි සිත්තමේ ඔහුගේ චරිත ද්විත්වයම සිත්ගන්නා සුලුය. බොළඳ ප්‍රේමවන්තයකු ලෙස ප්‍රේක්ෂක ආදරය දිනූ සාරංග මේ වන විට පුළුල් රංගන පරාසයක තම හැකියාව විහිදුවමින් සිටියි. මේ දිනවල චූටියා ලෙසින් ප්‍රේක්ෂක මනාපයේ ඉහළින්ම වැජඹෙන ඔහු අද අපේ කතාබහට එක් වීය.


 

චූටියා කියන්නෙ මේ දිනවල වැඩිම ප්‍රේක්ෂක මනාපය ලබන චරිතයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


චූටියා කියන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාර සුසංයෝගයේ අලුත්ම නිපැයුම. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වගේම මේක ද්විත්ව චරිතයක්. ලොකු අභියෝගයක් වුණු නිර්මාණයක්. චූටියා කියන්නේ ගමේ හරක් බලන මෝඩ පහේ කොල්ලෙක්. ජීවිතේට කොළඹට ඇවිත් නැති, සුඛෝපභෝගී දේවල් දැකලවත් නැති, ඒවගේ කිසිම අත්දැකීමක් නැති මේ අහිංසක අව්‍යාජ ගැමි තරුණයා හේමක නමින් සල්ලිකාර වේශයකින් කොළඹට ගෙනත් දැමීමෙන් පස්සෙ සිදුවන ඒ අතරමං වීම. කරකවල අතෑරිය වගේ ගතිය එක්ක තමයි මේ චරිතයේ රසවත්ම කෑලි ටික ගොනු වෙන්නේ. ප්‍රේක්ෂකයන් මගෙන් ලොකු වෙනසක් දැකීම මුලදිම ඒ චරිතය වැලඳ ගන්න හේතුවක් වුණා කියල හිතෙනවා. මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


හේමක වගේ හාස්‍යජනක චරිතවලට නම් ඔබ ආධුනික නැහැ. ඒත් චූටියගෙ හරක් බැලිල්ලත් එක්ක ලබපු අත්දැකීම් ගැන කතා කළොත්?


අපේ අම්මගෙ ගම කුරුණෑගල නිසා වෙලේ, දො‍ෙළ් පැනලා, මඩේ නටලා ටිකක් අත්දැකීමක් තිබුණා. හරක් ආම්බාන් කරන විදිහ දැකලත් තිබුණා. පොඩි කාලෙ ලබපු ඒ අත්දැකීම් එක්ක වේශ නිරූපණයත් ආවම ඒ චරිතයට අනුගත වෙන්න පුළුවන් වුණා කියල මං හිතනවා. මීහරක් ටික ආම්බාන් කරන එක නම් ටිකක් අමාරු වුණා. මීහරක් ටික සාමාන්‍යයෙන් යන පුරුදු පාරවල් ඇරුණම අපිට ඕන පාරවල්වල ගමන් කරවගන්න අමාරුයි. උන් කැලේ පැනලා උන්ට පුරුදු පාරවල්වල යන්න තමයි උත්සාහ කරන්නේ. හරක් අයිති අයයි, අපේ ටීම් එකයි එකතු වෙලා ලොකු සහයෝගයක් ලබා දුන්න මේක සාර්ථක කරගන්න. ලොකු අනතුරුදායක දේවල්වලට නම් මුහුණ දෙන්න වුණේ නැහැ.


 

මේක එකිනෙකට වෙනස් අභියෝගාත්මක චරිත ද්විත්වයක්. මේ අවස්ථාව ලැබීම ගැන ඔබට මොනවද හිතෙන්නෙ ?


සිවා අයියා සහ සද්ධා අයියා සුසංයෝගය මට හරි වාසනාවන්තයි. හාරකෝටිය, කෝටිපතියෝ, කළු කුරුල්ලා, අග්නි පියාපත්, පාර වසා ඇත, හංස පිහාටු වගේ නිර්මාණත් ඔවුන් එක්ක කළ එකිනෙකට වෙනස් ඒවා. කළු කුරුල්ලා වගේම හාරකෝටියේ සද්ධා අයියා දැකල තියෙනව මගේ හාස්‍යජනක රංගනය ගැන. ඒ වගේම සිවා අයියත් හඳුනගෙන හිටියා මගේ ඒ පරාසය සහ හැකියාවන් ගැන. ඔවුන්ට ඒ විශ්වාසය තිබුණු නිසා වගේම පැහැදිලිව මේ චරිත දෙක වෙන් කර ගැනීමේ අභියෝගය තිබුණ නිසා වෙන්න ඇති මේ සඳහා මාව තෝරගන්න ඇත්තෙ කියලා හිතෙනවා.


 

හාස්‍යජනක පැත්තට බර වැඩි වෙලා බොඳ මීදුම්වලින් පස්සෙ ප්‍රේමවන්තයාගෙන් ඈත්වෙලා වද්ද?


එහෙමම කියන්නත් බැහැ. සද්ධා - සිවා සුසංයෝගයෙන් ගොඩක් දුරට මට ලැබුණෙ හාස්‍ය මුසු මැරෑටි චරිත. හංස පිහාටු මැර මන්ත්‍රී චරිතයක්. කළු කුරුල්ලාහි සුදු උක්කුං හාස්‍ය මුසු දඩබ්බර, මැරෑටි චරිතයක්. හාරකෝටිය ලාරා මෝඩ පහේ කලබලකාරී චරිතයක්. ඒ වගේම සංසාරිණීහි තිහස්වර කියන්නේ වෙනම සමාජ, ආර්ථික පසුබිමක ඉන්න වෙනමම ‍ෙපළැන්තියක් නියෝජනය කරන චරිතයක්. කතා බහ, කන බොන විදිහ ඉඳලම වෙනස්. ලොකු සංයමයක් තියෙන ආදරණීය, ප්‍රේමණීය චරිතයක්. බොඳ මීදුම්වලින් පස්සෙ රොමැන්ටික් චරිතවල අඩුවක් තිබුණ වුණත් කාලෙකට පස්සෙ තිහස්වරට මං හිතපු නැති තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් සංසාරිණී හරහා ලැබිල තියෙනවා.


සාරංග දායක වුණු හැම චරිතයක්ම වගේ ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. ඒ අතරින් ඔබ කැමතිම එක මොකක්ද කියල ඇහුවොත්?


ඒ හැම චරිතයකටම මං කැමැතියි. ඒ එකක්වත් පැතලි චරිත නොවෙයි. හැම එකක්ම ආදරවන්තයා, දඩබ්බරයා, අව්‍යාජ බව, කපටිකම මුසුවුණු විවිධත්වයෙන් යුතු චරිත. සද්ධා අයියගෙ ඒ සුවිශේෂත්වයෙන් යුතුව ලැබෙන ඒ ඒ චරිතවලට අපිත් උපරිම සාධාරණත්වයක් කරනව කියල දැනගත්තම ඔහු තවත් රහට ලියන්න පෙලඹෙනවා. ඒක තමයි චූටියත් මේ තරම් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයන් අතරට යන්න හේතුව. වඩාත්ම කැමති මොකකටද කියන්න අමාරුයි. මට ලැබෙන චරිත හොඳින්ම කරන්න මං උපරිමයෙන්ම උත්සාහ කරනවා. කැපවෙනවා. ඒ නිසා මං කරපු හැම චරිතයකටම මං ආදරෙයි.


 

පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් මේ දිනවල වේදිකාගත වන හාස්‍යජනක නිර්මාණයක්. ඒ ගැනත් කතා කරමු?


ඒකත් හාස්‍ය මුසුවුණු සමාජයේ පවතින ලොකු ගැටලුවක් ගැන බොහොම සරලව කතා කරන නිර්මාණයක්. මේ වෙද්දි දර්ශන වාර 50ක් පවත්වල තියෙනවා. ඉදිරියටත් වේදිකාගත වෙනවා. ගොඩක් මිනිස්සු නොයෙක් ප්‍රශ්න නිසා ලොකු පීඩනයකින් තෙහෙට්ටුවකින් ඉන්නේ. මිනිස්සු ඒ තත්ත්වයෙන් මුදවන්න තමයි නිර්මාණවලට හාස්‍ය මුසු කරන්නේ. ඒ වගේම ඒ හරහා ඔවුන්ට යම් පණිවුඩයක් දෙන්නත් අපි උත්සාහ කරනවා. මේක දෙතුන් පාර බලපු අයත් ගොඩක් ඉන්නවා. හාස්‍ය මුසු නිර්මාණ හරහා යම් පණිවුඩයක් සමාජගත කිරීමත් සාර්ථක ක්‍රමයක් කියල හිතෙනවා.


 

දිනක්ෂියි චූටි දෝණියි ගැනත් කතා කරමු නේද?


දිනක්ෂි තමයි මගේ හැමදේටම ලොකු සහායක්, ශක්තියක් වෙන්නේ. රංගන ශිල්පියෙක් විදිහට ඒ මානසික නිදහස නැත්නම් හරි අමාරුයි වැඩ කරන්න. මේ කාර්යබහුලත්වයත් එක්ක මං කන බොන දේවල් වගේම මං කරන නිර්මාණවලට කොහොමද සහාය වෙන්න පුළුවන් කියන එක ගැනත් එයා ගොඩක් හිතනවා. බබා හරි ආසයි ඇවිදින්න. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම අපි තුන්දෙනා කොහේ හරි ගිහින් විනෝද වෙනවා. තාම තේරෙන්නෙ නැති වුණත් මං අම්ම එක්ක හිටියත් පොඩ්ඩක් එයාට ඉරිසියයි. ටීවී එකේ යද්දිත් එහෙමයි. තව කතා කරන්න පුළුවන් වුණාම ෂූටින් යන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ.





Previous Post Next Post