සිදාදියේ සමනලියෝ කුරුලු පිහාටු තරම් සැහැල්ලු චරිත නෙවෙයි-මිෂෙල්




නාලන් මෙන්ඩිස්ගේ සල්සපු නා ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පිවිසි මිෂෙල් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ධනංජය සිරිවර්ධනගේ ‘සිදාදියේ සමනලියෝ‘ හි මල්කිගේ චරිතයට පණ පොවන්නීය. ජාතික රූපවාහිනියේ විකාශනය වන කාසි ටෙලි නාට්‍යයේ සාගරිකා ඊට හාත්පසින්ම වෙනස් චරිතයකි. රංගනයේ සුවිශේෂී දස්කම් දක්වන ඇය සමඟයි අද කතාබහ.


මිෂෙල් දිල්හාරා මේ දවස්වල හෙද සේවයට බැඳිල කියල ආරංචියි ඒකද මේ කාර්යබහුලයි කියන්නේ?


මේ දවස්වල මං වීල් චෙයාර් එකේ ඉන්න රෝගියෙක් බලාගන්නවා. එයාට කවනවා, පොවනවා, ඇහුම්කන් දෙනවා. ඒක ලොකු වගකීමක්. මට ඒ අවස්ථාව ලබා දුන්නේ ධනංජය අයියා. එයාගේ කුලුඳුල් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. සිදාදියේ සමනලියෝහි මල්කි කියන්නේ හෙදියක්. මම මෙතෙක් කරපු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ නිසා හරිම කැමැත්තෙන් භාර ගත්තා.


සිදාදියේ සමනලියෝ කිවුවම එකපාරටම මැවෙන්නේ සැහැල්ලුවෙන් ඔහේ පාවෙලා යන තාරුණ්‍යය. සිදාදියේ සමනලියෝ ඇත්තටම මොන වගේද?


චරිතවලට එබිල බැලුවොත් නම් කුරුලු පිහාටුවක් තරම් සැහැල්ලු නෑ කියලා තේරුම් ගනීවි. ඈත ගම් පහකින් කොළඹට ආපු තරුණියන් පස් දෙනෙක් එකම බෝඩිමක නැවතිලා රැකියා කරන අතරේ ලබන අත්දැකීම් සහ බෝඩිම තුළ ගෙවන ජීවිතේ තමයි මේකෙන් කියවෙන්නේ. පස් දෙනෙක්ගේ පස්විදිහක කතා පහක්. නර්ස් කෙනෙක්, ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්, රූපලාවණ්‍ය ශිල්පිනියක්, චෙෆ් කෙනෙක් සහ ගායිකාවක් විදිහට තමයි චරිත පහ දිගහැරෙන්නේ. ධනංජය අයියත් අභියෝගයක් එක්ක කළ නිර්මාණයක් කිවුවත් හරි. කතාව එකම තලයකට ගේනව කියන්නෙම ලොකු අභියෝගයක්. එතැනදි ධනංජය අයියා සාර්ථකයි කියලා මම හිතනවා.


සිදාදියේ සමනලියෝ හි මල්කිගේ චරිතයට ආරාධනා ලැබුණම මොකද හිතුණේ?


ධනංජය අයියා ස්ක්‍රිප්ට් එක ගැන කිවුවම ලොකු කැමැත්තක් ඇති වුණා. මං නර්ස් කෙනෙක්ගේ චරිතයක් කරල තිබුණෙ නැහැ. ඒක වෙනස්ම අත්දැකීමක්. ඒ වගේම යශෝධා අක්කා එක්ක රඟපානවා කියන්නේ මං පෙරුම් පුරාගෙන හිටපු අවස්ථාවක්. එයා තමයි අපි නැවතිලා ඉන්න බෝඩිමේ අක්කා මංගලිකා. අපි හැමෝම එයාට ආදරෙයි. අපිට ලොකු සහායක් දුන්නා. අරුණ ජයවර්ධනගේ තිර පිටපතට පණ්ඩුක වීරසේකරගේ නිෂ්පාදනයක්. තරින්දි ප්‍රනාන්දු, මනෝජා ප්‍රනාන්දු, වොෂිකා පෙරේරා, රජිනි රෝස්, අඛිල ධනුද්දර, අංජන ප්‍රේමරත්න, මේනක රාජපක්ෂ වගේම අශේන් සිරිවර්ධනත් රංගනයෙන් දායක වෙනවා.


මල්කි කියන්නේ මොනවගේ චරිතයක් ද?


හරි අහිංසක, අවංක ගෑනු ළමයෙක්. කොළඹට ආවත් හරි එයාගෙ ජීවිතේ ගොඩක් හැලහැප්පීම්වලට ලක් වෙනවා. නර්ස් කෙනෙක් විදිහට ඇයට ලැබෙන්නේ රෝද පුටුවක ඉන්න ලෙඩෙක්ව බලාගන්න. එයාට කවන්න, පොවන්න, ඇහුම්කන් දෙන්න ඕන. එතැන පරිසරය හරි ගුප්තයි. ඉන්න මිනිස්සුත් ගුප්තයි. සතුට, දුක වගේම පොඩි අභිරහසකුත් එක්කයි මේ චරිතය දිවෙන්නේ.


සිදාදියේ සමනලියෝ මිෂෙල්ට අමතක නොවන අත්දැකීමක් එක්කළා කියලා ආරංචියි?


ඒක නම් විශේෂම සිදුවීමක්. එදා මගේ දෙවනි ෂෙඩියුල් එකේ අන්තිම දවස. මගේ උපන්දිනේ යෙදිල තිබුණෙත් හරියටම එදා. ඔක්කොම එකතු වෙලා මාව සප්‍රයිස් කළා. කේක් ගෙනැල්ලා කපලා, ඔක්කොම එකතුවෙලා නාට්‍යයක් රඟදක්වලා ගොඩක් විනෝද වුණා. සාමාන්‍යයෙන් ඒ වගේ මගේ උපන්දිනේ සැමරෙනවා අඩුයි. ඒ නිසා මේක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.


ඉරේෂ් ලොකුබණ්ඩාරගේ කාසි නාට්‍යයේ සාගරිකා කියන්නෙත් වෙනස්ම චරිතයක් නේද?


සාගරිකා කියන්නේ නිදහසේ ගමේ හැදිලා, ආර්ථික ප්‍රශ්න නිසා මවුපියන්ගේ කැමැත්තට වළව්වේ හාමු කෙනෙක් කසාද බඳින තරුණියක්. වලව්වේ නීතිරීතිවලට හැඩ ගැහෙන්න බැරුව ඒ අභියෝගය භාර අරන් එයාගෙ ජීවිතේ හදාගන්නෙ කොහොමද කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ.


මිෂෙල් කියන්නේ හැදෑරීමක් කරලා ක්ෂේත්‍රයට ආපු කෙනෙක් ද?


මං අවුරුදු එකහමාරක් විතර රංගනය ගැන අධ්‍යයනය කළා. අනෝජා වීරසිංහ, දමයන්ති ෆොන්සේකා, රන්දික විමලසූරිය සර් වගේම ඉන්දියන් තියටර් ඩිරෙක්ටර් උජ්වාල් සිංහා සර් යටතේත් රංගනය හැදෑරුවා. ඊට පස්සෙ සුසිල ආයතනයේ තිර පරීක්ෂණයට පෙනී ඉඳලා තමයි නාලන් මෙන්ඩිස්ගේ සල්සපු නා නාට්‍යයට සම්බන්ධ වුණේ. සුනිල් කොස්තා සර්ගේ සුදු ඇඳගෙන කළු ඇවිදින් එකේ අයෝමා කියන්නේ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. ඒ සඳහා නැඟී එන නිළියට හිමි රයිගම්, සුමති වගේම රාජ්‍ය සම්මානයත් හිමි වුණා.‍


මිෂෙල් දිල්හාරා කියන්නේ කරාතේ බ්ලැක් බෙල්ට්කාරියක් නේද තාමත් ඒ දක්ෂතාවට ගැළපෙන චරිතයක් ලැබුණෙ නැද්ද?


පහ වසරේ ඉඳන්ම මං කරාතේ ඉගෙන ගත්තා. රොහාන් වී උදය කුමාර සර් යටතේ හැදෑරීම් කළා. ලෝක ශූරතා කරාතේ චැම්පියන් තරගාවලියේ රන් පදක්කම දිනුවා. තාමත් මට සටන් කලාවට සම්බන්ධ චරිතයක් නම් ලැබිලා නැහැ. ලැබුණොත් හරි ආසාවෙන් බාරගන්නවා.


ඉදිරියේදී මිෂෙල්ව දැකගන්න පුළුවන් නිර්මාණ ගැනත් කියමු නේද?


නාට්‍ය තුන හතරකම වැඩ අවසන් කරලා ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. සෝලෝ ටවුන් කියලා චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා.


රංගනයට අමතරව මිෂල් සමාජ ක්‍රියාකාරිනියක් කියලත් ආරංචියි මොකක්ද ඔබ ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ?


කැබෙස්කා සමූහයේ මාධ්‍ය අංශය සංවිධානය කළ ‘පෙරළිය 23‘ කියන මාධ්‍ය වැඩමුළුවට සම්බන්ධ වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කපිල ගමගේ, ජාතික රූපවාහිනියේ නිවේදක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චානක ඉනෝජ්, පාසල් මාධ්‍යවේදී සංසදයේ හිටපු සභාපති කවිඳු ඉලංගකෝන් යන විද්වතුන් මේ සඳහා සම්බන්ධ වුණා. ඊට අමතරව පාසල්වල සහ විශ්වවිද්‍යාලවල සමාජ අදෘශ්‍යමානතාව සහ පරිසර සාක්ෂරතාව ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහන් 250ක් විතර කළා. දැනට මම ‘අර්ත් ඩේ නෙට්වර්ක්‘ කියන ලෝකයේ තියෙන ලොකුම පාරිසරික සංවිධානය හා සම්බන්ධ වෙලා ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරනවා. ඒ හරහා හාවර්ඩ්, කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් සමඟ කටයුතු කරමින් ඒ ලබා ගන්නා දැනුම පාසල් හා විශ්වවිද්‍යාලවල සිසුන්ට බෙදා දෙනවා.





Previous Post Next Post