පුංචි තිරයේ රැවැත්තිය ලෙස කාගෙත් සිත් දිනාගත් චරිතයක් තමයි රශිපබා සංදීපනී කියන්නේ. පසුගිය කාලයේ පුංචි තිරයේ ඇයව නිතර දකින්න ලැබුණා. මේ දිනවල තිරගතවන ඉසුරු වීරසිංහ මුදලිගේ හා චතුර පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘නිමි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සාවිත්‍රිගේ චරිතය නිසා ඇය දැන් කා අතරත් කතා බහට ලක්වන චරිතයක් වෙලා. මේ කතාබහ සාවිත්‍රිට පණ පොවන රැවැත්තිය රශිපබා සංදීපනී සමඟයි.
කලා කටයුතුත් එක්ක මේ දිනවල රශී ගොඩක් කාර්යබහුල වෙලා නේද?
ඇත්තටම වෙනදටත් වඩා කාර්යබහුලයි. රූගත කිරීම් කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නේ. ගාමිණි හේවාවිතාරණ මහත්මයාගේ අලුත්ම චිත්‍රපටියේ රූගත කිරීම් සඳහාත් සහභාගී වෙනවා.
නිමි සිනමා පටයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද නිමි තිරගත වෙනවා. නිමි කියන්නේ තිරගත වුණ මුල් දවසේ ඉඳලම හොඳ ප්‍රතිචාර ලැබෙන චිත්‍රපටියක්. මම මතක් කරන්න ඕනේ මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරු දෙපළ ඉසුරු වීරසිංහ මුදලිගේ සහ චතුර පෙරේරා. ඔවුන්ගේ මඟ පෙන්වීම සහ කැපවීම මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න හේතුවක් වුණා. මේ කාලය හැමෝටම වගේ විවිධ ප්‍රශ්න තියෙන කාලයක්. ආර්ථිකමය වශයෙන් පවා බොහෝ අයට ප්‍රශ්න තියෙන මෙවැනි කාලයක ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලනවා කියන්නේ ෆිල්ම් එක ඇත්තටම සාර්ථකයි කියන එක. සමාජ මාධ්‍ය ජාලාවලින් පවා අපිට පෞද්ගලිකව මැසේජ් එවපු අය ඉන්නවා. ඉතිං ලැබෙන ප්‍රතිචාර ගැන ඉතාම සතුටුයි.
නිමි කියන්නේ ඔබේ පළමු සිනමා නිර්මාණය...
මගේ පළමු සිනමා නිර්මාණයේම ප්‍රධාන චරිතය හිමි වීම ඇත්තටම වාසනාවක්. තමන්ගේ පළමු චිත්‍රපටියටම ප්‍රධාන චරිතය ලැබෙන්නේ හරිම කලාතුරකින්. සාවිත්‍රි කියන දමිළ චරිතය වටා තමයි මේ මුළු කතාවම කේන්ද්‍ර වෙලා තියෙන්නේ. චිත්‍රපටය පුරාම වගකීම තිබුණේ මට. ඒක ලේසි දෙයක් නෙවෙයි. පටන් ගත්ත දා සිට අවසානය දක්වාම ඒ චරිතයේ අවස්ථා හතරක් පමණ නිරූපණය වෙනවා. අවස්ථානුකූලව, කුතුහලය, උනන්දුව අවසානය දක්වාම ප්‍රේක්ෂකයාව රැගෙන යෑම එක්තරා ආකාරයක වගකීමක්. මේ චිත්‍රපටයට ආරාධනා ලැබෙද්දී එයාලා ඇහුවේ මේ චරිතය තරමක් අමාරුයි ඔයාට පුළුවන්ද ඒ වගකීම ගන්න කියලයි. මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා.
නිමි ඔබට කොයිවගේ අත්දැකීමක් ද?
මෙය මගේ ප්‍රථම සිනමා පටය නිසා මට මේ සිනමාපටය විශේෂයි. මගේ සහය රංගනයෙන් දායක වුණේ රොෂාන් රණවන. ඔහු මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. කාවිංග පෙරේරා, ගයත්‍රි ඩයස්, සංජීව වික්‍රමසිංහ, මලිති නානනයක්කාර, අදීෂ හේරත් වැනි රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් සැකසුණු නිර්මාණයක් තමයි නිමි කියන්නේ.
සහාය අධ්‍යක්ෂණයෙන් චලිත් මනුරංග ද කැමරාවෙන් ගයාන් ශානක මුහන්දිරම් ද අංග රචනයෙන් ආසිරි චතුරංග සමඟ මල්ෂා නානායක්කාර ද කලා අධ්‍යක්ෂණයෙන් චමීර ජාලිය පෙරේරා ද සංස්කරණය, වර්ණ සංයෝජනය හා ශබ්ද ප්‍රයෝග නිර්මාණයෙන් තනුෂ්ක කහඳවල ද සංගීත අධ්‍යක්ෂණයෙන් මධුරංග ගමගේ සහ නෙල්කා තිළිණි යන පිරිස සම්බන්ධ වුණා. ඉතිං හැමෝම ආසාවෙන් වැඩකරපු චිත්‍රපටියක් කිව්වොත් නිවැරැදියි.
ඔබ පුංචි තිරය තුළ දී නම් නිතරම කතා බහට ලක් වූ චරිතයක්..
ඇත්තෙන්ම සිනමාවට මම තවම නවකයි. නමුත් පුංචි තිරයට ඇවිත් අවුරුදු 10ක් පමණ වෙනවා. බොහෝ නාට්‍ය ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. පසුගිය කාලයේ මා දායක වූ ටෙලි නාට්‍යවලින් සිහින ගේන කුමාරියේ, රේස්, රාහු, නේරංජනා, දේදුන්නයි ආදරේ, සිල්ලර කාසි, දූවිලි අහස යන ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලද ගත්තා. සිහින ගේන කුමාරියේ කුඩා දරුවන් පවා ප්‍රිය කරන නාට්‍යයක් වුණා.
කොහොමද ඔබ කලාවට පිවිසෙන්නේ..
2007 වසරේ ස්වාධීන රූපවාහිනී නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න මට අවස්ථාවක් ලැබුණා. කලාවට පිවිසුනේ මම එතැනින්. ඒ විදිහට වසර 6ක් පමණ මම වැඩ කළා. උසස් පෙළ කරන කාලෙදි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහභාහු වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. එහි සිංහ සීවලීගේ චරිතය කරන්න මට වාසනාව ලැබුණා. ඉතිං වේදිකාවෙත් අවුරුදු ගණනාවක්ම වැඩ කළා. මම කලාවට පිවිසිලා අවුරුදු 10කට වැඩියි.
දැන් ඔබ වෘත්තීමය රංගන ශිල්පිනියක්...
රංගනය වෘත්තීය කරගෙන අවුරුදු 10ක් වෙනවා. මගේ සියලුම දේ කරගන්නේ රංගනයෙන් ලැබෙන ආදායමෙන්. හැකියාව තියෙනවනම් රංගනය කියන්නේ ලාභ ලැබිය හැකි ක්ෂේත්‍රයක්. නමුත් සමහර තැන්වලදී වාසනා ගුණය කියන දේත් බලපානවා.
කාලයක් ඔබ රියැලිටි තරගවලටත් සම්බන්ධ වෙලා හිටියා...
ගිය වසරේදී තමයි ඊට සම්බන්ධ වෙලා හිටියේ. රියැලිටි තරගයක් කියන්නේ අපේ නර්තන හැකියාවන් ප්‍රේක්ෂයන්ට පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඊට මම සම්බන්ධ වුණේ මට දිනන්න ඕනේ කියන අරමුණෙන් නෙවෙයි. මගේ උද්වේගකාරී නර්තන හැකියාවන් පෙන්වන්න හොඳ වේදිකාවක් ලැබුණා කියලයි මම හිතන්නේ. මොකද අපිට තියෙන නර්තන හැකියාව ප්‍රේක්ෂකයාට පෙන්වන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතිං එවැනි තරගයකින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ.
ගායනයට පිවිසෙන්න අදහසක් නැද්ද?
නර්තනය සහ රංගනය මම හැදෑරීමක් ඇතුවයි කරන්නේ. නමුත් ගායනය ගැන කතා කළොත් මම පාසල් කාලෙදී පමණයි සංගීතය හදාරලා තියෙන්නේ. මගේ ගායන හැකියාව ගැන දන්න අය අහනවා ඇයි මම තවම ගීතයක් කරන්නේ නැත්තේ කියලා. මම කැමැතියි සංගීතය ගැන වැඩිදුර හැදෑරීමක් කරලා මට සුදුසුයි කියලා හිතුනොත් ඒ පැත්තෙනුත් යමක් කරන්න.
ඔබ නිරූපණ ක්ෂේත්‍රය තුළත් නිතර දකින්න ලැබෙන්න කෙනෙක්...
මම නිරූපිකාවක් විදිහට නෙවෙයි ක්ෂේත්‍රයට ආවේ. නමුත් මම නීරූපණය ගොඩක් ආසාවෙන් කරනවා. බ්‍රයිඩ්ල් සහ මොඩ්ලින් ශෝ වලට සම්බන්ධ වෙනවා. රංගනය කරන අය නිරූපණ ක්ෂේත්‍රයට එනවා. නීරූපණ ක්ෂේත්‍රයේ ඉන්න අය රංගන ක්ෂේත්‍රයට එනවා. ඉතිං ඒ දෙකේ සම්බන්ධයක් තියනවා. එකම රිද්මය තියෙන්නේ.
නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කිරීම රංගනයට පිවිසෙන්න පහසු මාර්ගයක් ද?
ඒ කාලේ හැටියට නම් නීරූපණයට එන්නත් හැදෑරීමක් කර තිබිය යුතුයි. අපිට ඕන විදිහට එහි නියැළෙන්න බැහැ. නමුත් දැන් ෆොටෝ ෂූට් එකක් කරපු ගමන් තමන් නිරූපිකාවක් කියලා කියාගන්නා පිරිසකුත් ඉන්නවා. නමුත් හැදෑරිමක් කරලා නීරූපණයට ආපු කෙනෙක්ට රංගනයට අවස්ථාවක් ලැබුණොත් ඒක හොඳීන් කරගන්න හැකි වේවී. නමුත් ඒකට හැකියාවත් අවශ්‍යයි. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම තැනක නීරූපණයෙන් රංගනයට ආපු අය ඉන්නවා.
වේදිකාවෙන් පැමිණි ඔබ දැන් ඈත් වේදිකාවෙන් ඈත් වෙලා ද?
වේදිකාව තමයි මට රංගන ජීවිතයට ලොකුම් පන්නරය වුණේ. මම රංගනය හදාරන්නේ බොහොම පුංචි වයසේ ඉඳලා. සිංහ බාහු වැනි අග්‍රගන්‍ය වේදිකා නාට්‍යයක වසර 6ක්ම සිංහ සීවලීගේ චරිතය කිරීම පහසු දෙයක් නෙවෙයි. එවැනි නිර්මාණයකට සම්බන්ධ වුණේ මගේ වාසනාවකට. ඒ කාලේ වෙන වැඩක් කරන්න බැහැ. මාසෙට දර්ශන වාර 15ක් විතර තියෙනවා. ඉතිං අනිත් දවස්වල මම ෂූටිං. හරි හමන් නින්දක් නැතුව හුඟක් මහන්සි වුණා. ඒවගේම රත්නාවලී, ප්‍රේමතෝ ජායතී සෝකෝ, හස්තිකාන්ත මන්තරේ වැනි වේදිකා නාට්‍ය රැසකට සම්බන්ධ වෙලා හිටියා. අදටත් මම වේදිකාවට ආදරෙයි. ඉඩක් ලැබුණොත් වේදිකාව මත මම නැවත හිටගන්න සුදානම්.
කුඩා කල සිට ඔබේ හීනය වුණෙත් රංගනයෙන් ඉදිරියට යන්න ද?
මම රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් පාසල් කාලේ ඉඳලම ඉබේටම ඒකට පාර කැපුණා. මම පානදුර බාලිකා විද්‍යාලයෙන් සහ මොරටුව මහා විදාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පාසලේදී බාහිර ක්‍රියාකාරකම්වලට ගොඩක් සම්බන්ධ වුණා. සමස්ත ලංකා වශයෙන් රංගනයෙන්, ගායනයෙන් සහ නර්තනයෙන් මම ජයග්‍රහණ ලැබුවා. ඒ දේවල් එක්ක මම පාසලේ තරමක ජනප්‍රිය චරිතයක්.
මට අවශ්‍ය වුණේ උසස් අධ්‍යාපනය ලබලා තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන්න. තාමත් ඒ බලාපොරොත්තුව තියෙනවා.
රංගන ශිල්පිනියක් ලෙස ඔබව ගොඩනඟා ගත්තේ කෙසේ ද?
ක්ෂේත්‍රයේ කිසිදු සම්බන්ධයක් නැතිව කලා පවුල් පසුබිමක් නැතිව අලුතෙන්ම මේ ක්ෂේත්‍රයට එනවා නම් ලොකු තරගකාරීත්වයක් තිබෙන තැනක්. ඒ නිසාම කැපිලි කෙටිලි අභියෝග අනිවාර්යයෙන්ම ක්ෂේත්‍රයට එන හැමෝටම පොදුයි. දක්ෂතාවට තැනක් හම්බෙන්නෙ නැහැ. ඉතින් දක්ෂතාවයෙන් පමණක් ඉදිරියට යන්න හොඳ ඉවසීමක් අවශ්‍යයි. ඉවසීමෙන් හිමින් යනවානම් මේ ගමන යන්න පුළුවන්. මට හැමදාම තිබුණේ හොඳ වැඩක් කිරීමේ බලාපොරොත්තුව මිසක් ක්ෂේත්‍රයේ ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ.
අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතන්නේ...
මම රංගනය පැත්තට යොමු වීම ගැන ඇත්තටම මට සතුටුයි. මම මුලදී හිතුවේ මට ලැබෙන ආරාධනා නැවතුණාම රංගනයෙන් ඈත් වෙනවා කියලා. ඇත්තටම එහෙම වුණේ නැහැ. අවුරුදු 10ක්ම නොකඩවා ආරාධනා ලැබුණා. ගොඩක් අයට අවුරුදු දෙක තුනක් ඉන්න වෙනවා ආරාධනා ලැබෙන්නේ නැතුව. නමුත් මට එහෙම වුණේ නැහැ. ඉතිං එක දිගට නොකඩවා මට ආරාධනා ලැබෙන්නේ මාව මේ ක්ෂේත්‍රයට ඕන නිසා කියලයි මට හිතෙන්නේ. කවදා හරි දවසක මට ආරාධනා නොලැබුණ කාලයක මම රංගනයෙන් ඉවත් වේවී.
ලැබෙන නිර්මාණ තෝරා බේරා ගැනීමක් කරනව ද?
මම ඇත්තටම ඒකාකාරි චරිත කරන්න කැමැති නැහැ. කොහොමත් මට ලැබුණු චරිත එකින් එකට වෙනස්. මම ඒකට හරි කැමැතියි. කවදාවත් මට ප්‍රේක්ෂකයා කියලා නැහැ මම ඒකාකාරී චරිත කරන කෙනෙක් කියලා. නමුත් මම දැකපු දෙයක් තමයි බොහෝ ප්‍රේක්ෂකයන් කැමැති එම අහිංසක චරිතවලින් දකින්න. නමුත් මට හැම විදිහකම චරිත ලැබිලා තියෙනවා. කවදාවත් අධ්‍යක්ෂකවරු මාව එකම චරිතයකට කොටු කරලා නහැ.
ඉදිරි බලාපොරොත්තු..
මම ව්‍යාපාරික අලෙවිකරණය සම්බන්ධයෙන් බාහිර උපාධිය පටන් ගෙන තිබුණත් පසුගිය කාලය පුරාවට මගේ වැඩ එක්ක වසරින් වසර කල් දාන්න වුණා. ඉතිං උපාධියේ වැඩකටයුතු අවසන් කරන්නත් ඕනේ. ඒ වගේම මගේ කලා නිර්මාණ කිහිපයක්ම ඉදිරියේ එන්න තියෙනවා. ඉතිං අලුත්ම විදිහකට ප්‍රේක්ෂකයාට ඉඳීරියේදී මාව දකින්න ලැබෙයි.
විදුමිණි දිසාකරුණා