දැනට මම ආයෙමත් සිංගල් - රයිනි චාරුකා




රයිනි චාරුකා ගැන අප ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ කියා මම හිතනවා. මවුපිය උරුමයෙන් ලැබුණු සංගීත කලාවේ දිගු ගමනක් යන රයිනි ගැන මේ දවස්වල වැඩියෙන් කතාවෙනවා. වැඩ ගොඩක නියැළෙ අතරේ තමයි ඇය අප හා මේ කතා බහට එක්වුණේ.


 රයිනි මොකද වෙන්නේ මේ දවස්වල


මගේ “කළුවරට හිත බය හින්දා” ගීතයේ රූප රචනාව මතක නම්, එහි අවසානයේ මොකද වෙන්නේ කියලා කාටත් නොතේරෙන්න ඇති. මොකද මට ඕනේ වුණා එහි දෙවන කොටසක් හෝ ඒ තුළින් සීරිස් එකක් කරන්න. අවසානයේ අපි ඒක අපි පැයක ෆිල්ම් එකක් වගේ ශූට් කරලා එය සීරිස් තුනකට කැඩුවා. එකේ වැඩත් එක්ක තමයි කාලය ගත වෙන්නේ. එහි පළමු කොටස ලබන ජනවාරි මාසයේ රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.


 

රූ සඳ රෑ ප්‍රසංගයටත් දින ළංවෙනවා. අපි ඒ ගැනත් කියමු


රූ සඳ රෑ ප්‍රසංගය කියන්නේ අපේ ෆැමිලි කොන්සර්ට් එක. දෙසැම්බර් 30 වනදා නෙළුම් පොකුණ රඟහලේ තියන්නේ වසර හතකට පස්සේ. මගේ නංගි වින්ඩි ගයන ‘අයියෝ සාමී‘ ගීතය ප්‍රසංගයක ගයන පළවෙනි වතාවත් මේකයි. ඒ නිසා ඒකට ලැබෙන ප්‍රතිචාර බලන්න අපි හැමෝම කැමැත්තෙන් ඉන්නවා. එතැනට එන්නේ අපේ ෆැමිලි එකටම වෙන්වුණු ෆෑන්ස්ලා.


 

රයිනි මේ වෙද්දී හැම අතින්ම හිටියට වඩා වෙනස් වෙලා කිවුවොත්, එකඟද?


මට අවුරුදු 16 -17 කාලේ ජීවිතේ යන්න ආස කරන ඉලක්ක ගොඩක් තිබ්බා. ඒ දේවල්වලට යන්න මට ලොකු වුවමනාවක් උනන්දුවක් කැපවීමක් පවා තිබ්බා. නමුත් මම අවුරුදු 18 වෙද්දී ආදර සම්බන්ධයකට යොමු වුණු නිසා ඒ දේවල් මටත් නොදැනීම මගෙන් ඈත්වෙලා ගියා. දැන් ආපහු මම ජීවිතේ වෙනස් විදියකට පටන් ගනිද්දී මගේ වටේ ඉන්න අයත් අලුත්. ඒ අය තුළින් මාව නැවත මෝටිවෙට් වෙන්න ගත්තා. ඒ නිසා මගේ පරණ සිතුම් පැතුම් ආයේ මතු වුණා. සංගීත ක්ෂේත්‍රයේ වුණත් මට යන්න ගෝල් එකක් තියෙනවා. මට බැරි වුණත් මට පුළුවන් ඒ ගෝල් එකට යන්න කියලා හිතන තැනට මම අද ඇවිත්. ඒ නිසා තමයි මම කරන කියන හැමදේම වෙනස් වෙලා වගේ දැනෙන්නේ. හැබැයි එක දෙයක් මම පොඩි කාලේ ඉඳන් වේදිකාවේ නටලා කෑගහලා මගේ ඉදිරිපත් කිරීම කරන කෙනෙක්. නමුත් පසුගිය කාලේ ඒක එහෙම්ම නැතිවුණා. සමහර අය කියන්න පටන් ගත්තා එහෙම කෑගහන්න නටන්න එපා කියලා. ඒ නිසා මම ත් හිතුවා මට ඒක ගැළපෙන්නේ නැතුව ඇති කියලා. ඒ එක්කම මාත් ඉතින් ස්ටේජ් එක උඩ කම්මැළි චරිතයක් වුණා. හැබැයි ඒ ඇත්ත රයිනි නෙවෙයි. ඊට පස්සේ මම හිතුවා මේ මවා ගත්ත දේවල්වලින් මිදිලා මම කැමැතිම තැන වන ස්ටේජ් එක උඩ මම මං වෙලා ඉන්න ඕනේ කියලා. ඒ හින්දා මෙතනින් පස්සේ කවුරු මොනවා කිවුවත් මොන විදියට හිතුවත් මම මං වෙලා ඉන්නවා කියන තැනට ආවා. ඒ නිසා ගොඩක් අය දැන් කියනවා රයිනි වෙනස් වෙලා. බෑන්ඩ්වල අයත් කියනවා අපිට ඕනේ අලුත් රයිනි කියලා විහිළු කරනවා. ඇත්ත කතාව මේ තමයි ඇත්ත රයිනි.


 

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ


ජීවිතේ සිදු වුණු කිසිම දෙයක් ගැන පසුතැවීමක් නැහැ. මම ඒ ගෙවපු ජීවිතේ තුළ බොහෝ දේවල් ඉගෙන ගත්තා. කොහොමත් මම ස්වාධීන චරිතයක්. ඒක මගේ හැටි. මම අ‍ෙමරිකාවේ හිටිය කෙනෙක් නිසා මිනිස්සු කියන දේවල් ගණන් ගන්නේ නැහැ කියන තැන මම හිටියේ. ඇත්තටම බැලුවොත් එහෙම ඕනේ නැහැ. නමුත් ලංකාවේ ජීවත් වෙනවා නම් චුට්ටක් ඕනේ. ඒ දේ වුණත් එක්තරා සීමාවකට අවශ්‍යයි කියන එකත් මම ඉගෙන ගත්තේ ඒ කාලය තුළ. ඒ වගේම මම දැන් දන්නවා මට මොනවද ඕනේ මොනවද එපා කියන එක. ආ මේ දේත් මම මෙතැනදී කියන්නම්. මේ ළඟදී මට කෙනෙක් එවලා තිබ්බා ඔයා කියලා තියෙනවා එයා හොඳ කෙනෙක් කියලා. එයා හොඳ කෙනෙක් නම් ඇයි ඔයා එයාව දාලා ආවේ කියලා. ඒක ඉතින් මෙහෙමයි. හැමෝගෙම හොඳ දේවල් තියෙනවා. දරුණු අපරාධකරුවෙක් ගත්තත් ඒ මනුස්සයා අම්මට තාත්තාට සහෝදර සහෝදරියන්ට හොඳින් සලකපු කෙනෙක් වෙන්න පුළුවන්. අකිලත් ඇත්තටම හොඳ කෙනෙක්. ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවත් අකිල ගැන දන්නා හැමෝම කියන්නේ එයා හොඳ මනුස්සයෙක් කියලා. හැබැයි අපි දෙන්නා දෙන්නෙක් විදියට අපි අපිව ගළපාගෙන මේ ගමන ආවා. අපි අතරේ ගැළපීම් එක්කම නොගැළපීම් වැඩියි. ඒ ඔක්කොම හේතු නිසා අපි දෙන්නා කතා කරලා ගත්ත තීරණයක් මේක. ඒ හැර අපි දෙන්නා තුළ තරහක් නැහැ. එයාගේ බෑන්ඩ් එකත් එක්ක මම වැඩ කරනවා. ඒ නිසා මේ දේවල් මිනිසුන්ට ප්‍රශ්නයක් වුණාට, අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම අකිලගෙන් වෙන්වෙද්දි කිවුවේ ඔයාටත් හරිම කෙනා හම්බුනාම ජීවිතේ කොයි තරම් සතුටින් ගත කරන්න පුළුවන් ද කියන එක තේරෙයි කියලා.


 

රයිනි හරිම කෙනා ගැන හිතිලද තියෙන්නේ


තවම නැහැ. හැබැයි මම හිතනවා මටත් හොඳම කෙනා එයි. මට ආදරේ ඕනේ. මම ආදරේට ගොඩක් ලෝභයි. හැබැයි ඇත්තම කතාව මම දැනට රෙඩි නැහැ. මට ඕනේ දැන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න. හොඳ හුස්මක් අරන් ටිකක් නිදහසේ ඉන්නයි උත්සහ කරන්නේ. එහෙම කිව්වට ඉතින් හෙට වෙද්දී මගේ හිත වෙනස් වෙයිද කියන්න බැහැ. මොකද ආදරයක් හිතට දැනෙන්නේ කලින් කියලා නෙවෙයිනේ.


 

සමාජ මාධ්‍ය තුළ නම් අලුත් පෙමක් ගැන තිබ්බා දර්ශන් ගැන කියලා


අපි දෙන්නම එකට වැඩ කරන නිසා එහෙම කතාවක් හදලා තිබ්බා. දර්ශන්ට ලොකු ෆෑන්බේස් එකක් ඉන්නවා. ඒ අයට නම් මුකුත් කියන්න බයයි මම. මම දන්නේ නැහැ ඉස්සරහට කවුරු හමුවෙයි ද කියන්න. දැනට මම ආයෙමත් සිංගල්.


 

රයිනි පේජ් එකට එන කමෙන්ට්ස් කියවනවද?


මට ගොඩක් හිත අවුල් ගිය වෙලාවක මම ගිහින් මගේ පේජ් එකේ කමෙන්ට්ස් බලන එක කරන්නේ. ඒ කමෙන්ට්ස් බලද්දී මගේ හිතට එන්නේ ලොකු ශක්තියක්. සමහර වෙලාවට මට කඳුළුත් එනවා. ඒ කමෙන්ට්ස් කරන අය දන්නේවත් නැතුව ඇති ඒ අය එවන පොඩි හරි කමෙන්ට්ස් එකකින් මම කොච්චර ශක්තිමත් වෙනවද මාව කොච්චර ධෛර්යවත් කරනවද කියලා. මට ලැබෙන එක කමෙන්ට්ස් එකක්වත් මම ඩිලීට් කරන්නේ නැහැ. මොකද මගේ පේජ් එකේ ඉන්නේ මට ආදරය කරන අය විතරයි.


 

ප්‍රේක්ෂකයන්, රසිකයන් හැමදාම ඉන්නවා ඔබේ පවුල සමඟ. ඒ අයට මොකක් ද කියන්න තියෙන්නේ?


ඒ අයට කියන්න තියෙන්නේ හැමදාම මම ආදරෙයි කියන එක. මම දන්නවා ඒ අය මට, මගේ පවුලේ අයට සලකන්නේ වෙනස්ම විදියට. මා එක්ක ෆොටෝ එකක් ගන්න ඕනේ කිවුවොත් මම ඒකට නතර වෙලාම තමයි එන්නේ. ප්‍රේක්ෂකයන් කෑගහලා විසිල් ගහලා ලබාදෙන එනජි එකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා හැමදාම නම්බර් වන් වෙන්නේ අපි වටා ඉන්න රසිකත්වය. මම කොහොමත් එක ස්ටයිල් එකකට කොටු වෙලා නැති නිසා අලුත් සින්දු ගොඩක් කරලා තියෙනවා.





Previous Post Next Post