සිනමාවේ කඩා වැටීමක් නැහැ - මහේන්ද්‍ර පෙරේරා



අපේ ලොකු අයියාට කතා කළා. ඔහු අපවද ආමන්ත්‍රණය කළේ කියන්න ලොකු අයියේ යනුවෙනි. එවැනි සුහද ආමන්ත්‍රණයකින් අපට අමතන ඔහුගේ ඇක්ටින් නරඹන ප්‍රේක්‍ෂකයන්ට නම් ඔහු සැබෑ නළුවෙකි. මේ දිනවල රිදී තිරයේ ‘ගින්දරී 3’ හි ලැන්ටි ලෙසින්ද පුංචි තිරයේ ‘එයා දැන් බැඳලා’ හි සිරි ලෙසින්ද අපේ ලොකු අයියා ඔබ හමුවට එනවා. අපේ භාෂාවෙන් කියනවා නම් මහේන්ද්‍ර පෙරේරා යනු පට්ට නළුවෙකි. ඔහුව සංවාදයකට හසුකර ගැනීමට ඇමතුම් කිහිපයක් ගත්තේද ඒ නිසාමය. අපි ඔහුට කතා බහ කරන මොහොත වන විටත් මහේන්ද්‍ර ඊට පසුදින පාන්දර කේරළ අන්තර් ජාතික සිනමා උළෙල 2022 සඳහා තේරීපත් වූ අරුණ ජයවර්ධන අධ්‍යක්‍ෂණය කළ ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදනය කළ ‘මාරියා’ සිනමා නිර්මාණය වෙනුවෙන් සහභාගි වීමට තම ගමන් මල්ල සූදානම් කරමිනි.



‘මාරියා’ ජාත්‍යන්තර මුහුදේ ලොකු කැළඹීමක් කරනවා. මොකද ඒ ගැන හිතන්නේ?


ලොකු අයියා කේරළ යන්නද හදන්නේ?


ඇත්තටම අරුණ ජයවර්ධනට ස්තූතිවන්ත වෙන්න ඕනෑ මේ වගේ ප්ලොට් එකක් අරගෙන පිටපතක් ලියලා චිත්‍රපටයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. මේක විශේෂ අත්දැකීමක් වියට්නාම්වලදී අපි හත් දෙනකුටම හොඳම නළුවා සම්මාන හම්බවුණා. රුසියාවලදී හොඳම චිත්‍රපටයට සම්මාන හිමිවුණා.


මාරියා අත්දැකීම මොන වගේද?


අම්මෝ විශාල අත්දැකීමක්. ආයේ නම් යන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. දවස් විසි ගණනාවක් අපි මහ මුහුද මැද්දේ හිටියේ. කුණාටුවලට අහුවුණා. ඉතිං ගොඩක් දේවල් සිද්ධ වුණා.


ගින්දරී 3 ලැන්ටි ගැන කට්ටිය මොනවද කියන්නේ?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රපටයත් හොඳ රන් එකක් යනවා. බහුබූතයෝ, ගින්දරී ඒකත් එක්ක ආපු රැල්ල තවමත් එහෙම්ම තියෙනවා. මම හිතන්නේ සාර්ථක ලෙස ප්‍රදර්ශනය වේවි. මේක කලාවක් වගේම කර්මාන්තයක්නේ. කර්මාන්තයක් හැටියට රැකෙන්න නම් චිත්‍රපට දුවන්න එපායැ. මම හිතන්නේ ගින්දරී ගැන ප්‍රේක්‍ෂකයන් ගැන විශේෂ අවධානයක් තියෙනවා.


 තවම ගින්දරී රැල්ල අවසන් වෙලා නැහැ කියලද කියන්නේ?


මම හිතන්නේ තුන්වැනි කොටසින් පසුව අවසන් වේවි.


ගින්දරි 4 ආවොත් භාර ගන්නවාද?


කොහොමත් මගෙයි රොඩ්නිගෙයි චරිත එක දිගටම තියෙනවානේ?


 ගින්දරී 3 වාර්තාවක්. පළමු සතියේම ලක්‍ෂ 10 ක ආදායමක්. නළුවෙක් විදියට ඒ ගැන සතුටුද?


විශාල සන්තෝෂයක් ත ියෙනවා. මොකද චිත්‍රපට සියල්ලම සාර්ථක වෙන්න ඕනෑ. ඒ සාර්ථකත්වය මත තමයි මේ කර්මාන්තයේ නියැලී ඉන්න ධෛර්ය ශක්තිය ලැබෙන්නේ. අයහපත් කාලපරිච්ඡේදයක අපි ඉන්නේ. නමුත් ප්‍රේක්‍ෂකයන්ට යම්කිසි විදිහේ සරල වින්දනයක් තෘප්තියක් සිනමාව හරහා ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. නිෂ්පාදකවරයෙක් රැක ගැනීමත් වටිනාම කාරණයක්. ඒක හින්ද ආදායම අතින් සාර්ථක වෙනවා කියන්නේ ඇත්තටම හිතට ලොකු සතුටක්.


පබෝධත් එක්ක ගින්දරී රූගත කරද්දී සුන්දර අත්දැකීම් ඇති නේද?


පබෝධත් එක්ක බහුබූතයෝ, ගින්දරී 1, ගින්දරී 2, ගින්දරී 3 කියන සියල්ලේම වැඩ කළාමෙන් අපි රඟපානවාට වඩා පබෝධට අමාරුයි. මොකද මේකප් චේන්ජ් එකක් හැම තිස්සේම තියෙනවා. ඒක ලේසි නෑ. යක්‍ෂණියක් වගේ ඇවිදගෙන යනකොට ඔක්කොම ආපහු හැරිල බලනවානේ. එතකොට සෙනඟ අස්සේ ලොකු කලබගෑනි සිද්ධ වුණා.


එයා දැන් බැඳලා සිරි ගැනත් කතා නොකරම බැහැ?


ප්‍රසන්න ජයකොඩි කියන්නේ මේ රටේ ඉන්න ඉතාමත් සුවිශේෂී අධ්‍යක්‍ෂවරයෙක්. ගලහ ප්‍රදේශයේ තමයි රූගත කිරීම් සිදුකළේ. අපි විශාල මහන්සියක් ගත්තා ඒ වෙනුවෙන්. ප්‍රසන්න ජයකොඩි එක්ක වැඩ කරනවා කියන්නේම පොඩි විභාගයකට මුහුණ දුන්නා වගේ වැඩක්.


සිරි වෙනුවෙන් මහේන්ද්‍රට මොනවගේ කැප කිරීමක්ද කරන්න සිද්ධ වුණේ?


28 චිත්‍රපටයේදී මම සුද්දිව හම්බවෙන්නෙ මළ මිණියක් හැටියට. නමුත් එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේදී මම සුද්දිට ජීවමානව මුණ ගැසෙනවා. අපි 28 චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අමතක කරලා තමයි එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය රූගත කිරීම් සිදු කළේ අලුත්ම කතාවක් හැටියට තමයි. සුද්දි මට මුණගැහෙන විදිහ සහ ජීවිතය බෙදාහදා ගන්න විදිහ රූගත කළේ.


සැත්කමින් පස්සේ ලොකු අයියා සුපුරුදු විදිහට වැඩද?


ඕව්. දැන් ආයෙමත් සුපුරුදු විදිහට වැඩ පටන් ගත්තා. තව ටික කාලයක් මහන්සි වෙන්න නැතිව තමයි ඉන්න ඕනෑ. දැන් ඉතිං ඉතාම යථා තත්ත්වයට පැමිණිලා තියෙන්නේ.


ආපහු කොල්ල වගේ වැඩ?


ඔව්. ආයෙමත් කොල්ල වගේ වැඩ. නමුත් ඉස්සර වගේ සෙට්මෝල් වෙන ඒවා ඔක්කොම කටඕෆ් කරලා තියෙන්නේ.


 පරණ පුරුදු අත්හැරියා?


අත්හැරියේම නැහැ. පසුගිය කාලයේ අපි නිදි වර්ජිතව රෑට සෙට්මෝල් වුණානේ. දැන් රෑට සෙට්මෝල් වෙන ඒවා කටඕෆ් කරලා දාලා පොඩි විවේකී සුවයකින් තමයි දැන් වැඩකටයුතු කරගෙන යන්නේ. එක පාරක් පාඩමක් ඉගෙන ගත්තාට පස්සේ ඒ දේවල් නැවත නැවත කරලා ඒ තත්ත්වයට පත්වෙන්න බැහැනේ.


රංගන පාසලේ වැඩ එහෙම කොහොමද?


ඒවත් සාර්ථකව කරගෙන යනවා. මත්තෙගොඩින් වෙනම ගෙයක් කුලියට අරගෙන විශාල පිරිසක් එතන ඉගෙන ගන්නවා. දැන් මගේ ශක්තිය සියයට දෙසීයකින් රංගන පාසල වෙනුවෙන් තමයි කැප කරන්න බලාගෙන ඉන්නේ.


දැන් අධ්‍යක්‍ෂණයට අතගසන්න කාලය හරි කියලා හිතෙන්නේ නැතිද?


එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. පාසලේම ඉන්න ළමයි එක්ක එකතුවෙලා කෙටි චිත්‍රපට වගයකුයි චිත්‍රපටයක් කරන්නයි අදහසක් තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ඒක කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. ඇත්තටම අමාරු තත්ත්වයකනේ රටම පවතින්නේ. එතකොට අපිත් සුඛෝපභෝගී


විදිහට ඉන්නේ නැහැ. අපිත් හරි අමාරුවෙන් තමයි වැඩකටයුතු කරගෙන යන්නේ. කොහොම හරි උත්සාහ කරනවා ඒගොල්ලන්ව එකතු කරගෙන නිර්මාණ කර්තව්‍යයන් ටිකක් කරන්න.


කොරෝනා වසංගතයෙන් පසුව සිනමාව ලොකු කඩා වැටීමකට ලක්වුණා නේද?


ඒකට වසංගතය විතරක් නෙමෙයි මේ රටේ පාලන ක්‍රමයේ ආපු විදිහත් එක්ක මේ හැම දෙයක්ම අද වෙනකොට සීරෝ කරලනේ තියෙන්නේ. දැන් අපි ඇත්තටම මයිනස්නේ යන්නේ. වසංගත එක හේතුවක් විතරයි. නමුත් ඒ වෙනකොටත් අපි හොඳටම වැටිලයි හිටියේ.


එතැනින් එහාට අපි හොබ්බෙන් යන තත්ත්වයකට පත්වුණා. ඒක ලේසි නැහැ අපි දැන් උත්සාහ කරන්නේ හොඳ තත්ත්වයෙන් පවතින්නනේ. හොඳ තත්ත්වයෙන් පවතිනවා කියන්නේ ලේසි කාරණාවක් නෙමෙයි. සිනමාවේ කඩා වැටීමක් නැහැ. මම නම් දකිනවා රසිකයෝ ඉන්නවා ප්‍රේක්‍ෂකයෝ ඉන්නවා, කාර්මික ශිල්පීන් ඉන්නවා වගේම සියල්ල තියෙනවා. ඇත්තටම දැන් අපිට චිත්‍රපටයකට ටෙලි නාට්‍යයකට යන වියදම දරා ගන්න බැරි කමක් තියෙන්නේ. චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අනික කිසිම සහයෝගයක් හම්බවෙන්නේ නැහැනේ. ඔය අතරේ ඉන්දියාවේවත් පෙන්වන්නේ නැති කසිකබල් ටෙලි නාට්‍ය මෙහේ ගෙනැල්ල සිංහලයෙන් දෙබස් කවලා පෙන්වනවා. ඒක ක්‍ෂේත්‍රයේ ඉන්න අයට මරු පහරක්. අපේ ටෙලි නාට්‍යයක් කළහම විකුණගන්න මාර දැඟලිල්ලක් කරන්න ඕනෑ. එයා දැන් බැඳලා කරලා අවුරුදු තුනක් වෙනවා. විකුණගන්න බැරිව අල්ලලදාල හිටියා. හොඳ වෙලාවට අයිටීඑන් නාලිකාව ඉදිරිපත් වුණා.


දිනේෂ් විතාන






Previous Post Next Post