ආදරේ කරපු කවුරුවත් මාව තේරුම් ගත්තේ නැහැ -සුධීක්ෂා සමාධි



සුධීක්ෂා සමාධි මේ වන විට ප්‍රේක්‍ෂකයන් අතර බොහොම ජනප්‍රිය චරිතයක්. සමාධි ප්‍රධාන නාලිකා තුනක එකිනෙකට වෙනස් වූ චරිත තුනකින් මේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට සමත්වී තිබෙනවා. ඇයට උපතින්ම හිමි කර්ලි කොණ්ඩය නිසා ප්‍රේක්‍ෂකයන්ගේ ලොකු අවධානයක් දිනා ගන්න සමත්වෙලා තියෙනවා. එය දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් බවයි ඇය කියන්නේ. සුධීක්ෂා සමාධිගේ ජිවිතේ ගැන කලා කටයුතු ගැන අපි කතා කළා.


කතාබහට ආරම්භයක් ලබා ගත්තෙම මේ දිනවල විකාශය වන නාට්‍යය නිර්මාණ තුළින්,


“එකිනෙකට වෙනස් වූ චරිත තුනක් මට ලැබිලා තියෙන්නේ. ස්වාධින රූපවාහිනීයේ විකාශය වන මිනු නාට්‍යය ගත්තම මගේ චරිතය රෙහානි. රෙහානි කියන්නේ අසේකා - සමල් පවුල් ජිවිතේ අතරට එන චරිතයක්. ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර නම් ඇයි අසේකාට මිනුකිට එහෙම කරන්නේ කියලා පාරේ යන්න බැරි තරමට බැණුම් අහනවා. හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා නාට්‍යයේ රිහානා, රිහානා කියන්නේ යාළුවගේ දියුණුවට උදව් කරන රැප් ගර්ල් කෙනෙක්. ඒ චරිතයට නම් බාල මහලු භේදයකින් තොරව ආදරය ලබනවා. ඒ එක්කම දෙරණ නාලිකාවේ විකාශය වන රාජිණි නාට්‍යය තුළ මගේ චරිතය රෝස්. අද තියෙන්නේ සල්ලිකාර කෙල්ලන්ගේ ආදරේ විශ්වාස නොකරන සමාජයක් වුණත්, රෝස් කියන්නේ සල්ලිකාර පවුලක වුණත් සොඳුරුට අසීමාන්තිකව ආදරේ කරන කෙල්ලෙක්. ඒ ආදරේ නිසාම ඩිප්ප්‍රේෂන් තත්ත්වයට මුහුණු දුන් කෙල්ලක්.


අද වෙද්දී බොහෝ චරිත ප්‍රේක්ෂකයින් තදින් අල්ලාගෙන තිබෙනවා. එකිනෙකට වෙනස් වූ චරිත නිසාම ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එකිනෙකට වෙනස්. මේ ළඟදී මට ලැබුණු ප්‍රතිචාරයක් මාවත් පුදුම කළා. දවසක් මම ෆෝන් එක බල බලා යාළුවෝ එක්ක පාරේ යද්දී එක ඇන්ටි කෙනෙක් ඇවිත් මාව බදාගෙන මේ රෝස් දුව නේද? අනේ ඔහොම කල්පනා කරකර යන්න එපා. පාරේ අයිනට වෙලා යන්න. ඔයාට සොඳුරුගේ ආදරේ ලැබෙයි කියලා කිව්වා. ඒ එක්කම මගේ යාළුවන්ට කිව්වා මෙයාව පරිස්සමෙන් බලාගන්න කියලා. එහෙම කියලා පහුවදා ආව මම ඉන්න තැනට කෑම ජාතිත් හදාගෙන. ඒ තරම් ඒ අය රෝස්ගේ චරිතයට ආදරේ කරනවා. ඒ නිසා මම දකින්නේ දැන් ප්‍රේක්ෂකයින් චරිත දිහා බලන්නේ ඒ චරිතවල අභ්‍යන්තරයටම ගිහින්. එක අතකින් අපෙත් වගකීමක් අපි කරන චරිතයට සාධාරණයක් ඉෂ්ට කිරීම. ඒ තුළින් තමයි සුධීක්ෂා සමාධි යටපත් වෙලා ඒ චරිත මතුවෙන්නේ. 2022 මට කොහොමත් විශේෂයි. මගේ නාට්‍යය තුනක් එකම කාලයේ විකාශය වීම සහ ඒ නාට්‍යය තුනේම චරිත ‘ර‘ යන්නෙන් පටන් ගැනීම. රෙහානි, රිහානා සහ රෝස්.


රෝස්ගේ ආදරේ ගැන කතා කළ නිසාම සුධීක්ෂා සමාධිගේ ආදර කතාව ගැනත් අහන්න හිතුණා. සැබෑ ජිවිතේ සමාධි මොනවගේ කෙනෙක් ද සැබැවින්ම සුන්දර යුවතියක් නිසාම ආදරේ ගැන අත්දැකීම් නැති වෙන්න බැහැනේ. අපි ඒ ගැනත් කතා කළා.


“සැබෑ ජිවිතේ ගත්තම මම ඉතාම සංවේදී කෙනෙක්. ඉක්මනින්ම තරහ යන, ඉක්මනින්ම නිවෙන සහ ඉක්මනින්ම දුක හිතෙන චරිතයක්. ආදරේ ගැන කතා කළොත් දැන්නම් ආදරේ කියන වචනයට පවා බය කෙනෙක්. මොකද මගේ හිත ආදරේ නිසා රැවටිලා තියෙනවා. ආදරේ නිසා දුක් විඳලා තියෙනවා. ආදරේ බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා. ආයේ නම් කවදාවත් ආදරේ ඕනේ නැහැ කියලා මගේ හිත මම ම ගලක් කරගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා දැන් නම් ආදරේ ගැන තනි තීරණයක් ගන්න ලොකු බයක් තියෙන්නේ. මොකද මම ආදරේ කරපු කවුරුත් මාව හරි හැටි තේරුම් ගත්තේ නැහැ. මාව මතුපිටින් දකිනවට වඩා මගේ පෞද්ගලික ජිවිතේ ගොඩක් දේවල් මම දරා ගත්ත කෙනෙක්. ඒ නිසා මගේ දරාගැනීමේ ශක්තිය ගැනත් මම ආඩම්බරයි. ඒ නිසා ආදරේ ගැන ඉදිරියට මොකද වෙන්නේ බලමු. එතකම් අද දවසේ මම සරල සුන්දරව ජිවත් වෙනවා. මේ මොහොතේ මම ජිවත් වෙන්නේ මම කරන කලා නිර්මාණ තුළින් මම ලබන ප්‍රේක්ෂක ආදරය තුළ. ඒක තමයි දෙවියන් වහන්සේ මට දුන්නු එකම සතුට සහ සැනසීම.“


කලා ක්ෂේත්‍රය තුළ කර්ල් කොණ්ඩ තියෙන අය හිටියට, සමාධිට ඒ අතරත් විශේෂ තැනක් හිමිවෙලා තියෙනවා. ඒනිසා කවදාවත් කොණ්ඩය වෙනස් කරන්න අදහසක් නැද්ද යන ප්‍රශ්නය මම ඇයට යොමු කළා.


“මට ගොඩක්ම ඉල්ලුම තියෙන්නේ මගේ කොණ්ඩය නිසා. ඒ නිසා ගොඩක් අය කැමති නැහැ කොණ්ඩය වෙනස් කරනවට. හැබැයි චරිතවලට අනුකුලව මගේ කොණ්ඩය වෙනස් කර ගන්න මම සුදානම්. ඉදිරියට විකාශය වෙන්න තියෙනවා ඉරේෂ් ලොකු බණ්ඩාර අයියාගේම අලුත් නිර්මාණයක්. එහි මම ඉන්නේ කොණ්ඩ කරල් දෙකක් ගොතලා ගැමි චරිතයකට. ඒක මම මෑතක භාරගත්ත අභියෝගාත්මක චරිතයක් කිව්වොත් නිවැරදියි. මමත් බලන් ඉන්නේ ප්‍රේක්ෂකයින් කොයි විදියට මාව භාරගනිද කියලා. නමුත් සමාධි හැමදාම සමාධි විදියටම මගේ පවුලේ අයට, මගේ යාළුවන්ට සහ ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන්. මොකද මම කැමති සරලව ඉන්න. සැබෑ ජිවිතේ බාටා දෙකක් දාලා ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇඳලා යන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ.“


සමාධිට සිනමාවෙන් ලැබුණු ආරාධනා ගැන සහ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කරලම මේ සොඳුරු කතා බහ අවසන් කළා.


“මේ වෙද්දී මම සිනමාවට සම්බන්ධ වෙලා ඉන්නේ. එක නිර්මාණයක් අවසන් වෙමින් පවතිනවා. එය බොහෝ දුරට 2023 වසරේදී සිනමා රසිකයින්ට දැක ගන්න ලැබෙයි. ඒ නිර්මාණය තුළින් සිනමා ප්‍රේක්ෂකයින් මාව වැළඳ ගන්නා විදියත් එක්ක මගේ ඉදිරි සිනමා ගමන තීරණය වෙයි. මම කැමතියි සිනමාවට වැඩි කාලයක් වෙන් කරන්න. කොහොමත් සුධීක්ෂා සමාධි කියන්නේ ඉල්ලුමයි, වැඩයි තිබුණොත් මැරෙනකම්ම මේ කලාවේ නියැ‍ෙළන කෙනෙක්. ඒ තරමට මම කලාවට ආදරෙයි. ඉදිරි බලාපොරොත්තු ඉලක්ක අතරේ කවදා හරි හොඳ නිර්මාණයක් තුළින් ඇඟයීමක් ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.“


අනුෂා රණසිංහ





Previous Post Next Post