මිනිස්සු අතරට යන්න ඕනේ මම නෙමෙයි මගේ කටහඬ - උමාරා සිංහවංශ

 


සංගීත ක්ෂේත්‍රයේ නවමු ශෛලියක් සහ හඬ පෞරුෂයක් සමඟින් ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය ගායන ශිල්පිනියන් අතර උමාරා සිංහවංශ ඉන්නේ ප්‍රමුඛ පෙළේය. සාම්ප්‍රදායික සංගීත ශෛලියෙන් බැහැරව අලුත් රසවින්දනයක් රසිකයන්ට හඳුන්වාදුන් ඈ මේ වන විට සංගීත ආචාර්යවරියක් ලෙසද කටයුතු කරන්නීය. පෙබරවාරි මස 22 වැනිදා උමාරා සිංහවංශ ONE MIC - PHASE 2 නමින් ඇගේ සංගීත පාසලේ දරුවන් සහ ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගීතරු සමඟ සංගීත ප්‍රසංගයක් පැවැත්වූවාය. මේ ප්‍රසංගය පිළිබඳව සහ ඇගේ අනෙකුත් කලා කටයුතු පිළිබඳව ඇය මෙලෙස  පුවත්පතක් සමඟින් පවසා තිබුනා.



ONE MIC - PHASE 2  ප්‍රසංගය සාර්ථකව අවසන් වුණා?


ONE MIC - PHASE 2  ප්‍රසංගය මම දෙවැනි වරට සංවිධානය කළේ. මට එය ඉතාම සාර්ථකව අවසන් කරගත හැකි වුණා. මගේ මියුසික් ඇකඩමි එකේ දැනට ඉගෙනුම ලබපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000ගෙන් 1700ක් තෝරගෙන එතැනින් විවිධ පරීක්ෂණ යටතේ කටහඬවල් 22ක් තෝරාගෙන ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීම නිමිති කරගෙනයි ONE MIC - PHASE 2 ප්‍රසංගය සංවිධානය කළේ.


මේ ප්‍රසංගයට ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුත් සහභාගි වුණා?


ඔව්. මගේ ඇකඩමි එකේ දරුවන්ට අමතරව රූකාන්ත ගුණතිකල, චන්ද්‍රලේඛා පෙරේරා, භාතිය - සන්තුෂ්, රයිනි ගුණතිලක, වින්ඩි ගුණතිලක, රන්දීර් විතාන, කාංචනා අනුරාධි, මිහිඳු ආරියරත්න, චිත්‍රාල් සෝමපාල යන ගායක ගායිකාවන් සමඟ "INFINITY"  සංගීත කණ්ඩායම මේ ප්‍රසංගයට දායකත්වය ලබාදුන්නා. අනාගතයේ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්න ඉන්න දරුවන්ට ක්ෂේත්‍රයේ දැවැන්තයන් සහ මාධ්‍ය හිතවතුන් සමඟ මේ අත්දැකීම බෙදාගන්න අවස්ථාව ලැබුණා.



කොරෝනා වසංගතයට පසුව මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කළේ මිනිස්සුන්ට නැවත වේදිකාව සමීප කරවන්නද?


නැහැ. මම මේක මුලින්ම සංවිධානය කළේ පසුගිය වසරේ ONE MIC - PHASE 1 කියන නමින්. ඒ ප්‍රසංගයත් මම කළේ කොරෝනා වසංගතය අතරතුර මගේ පන්තියේ සිව් වෙනි සංවත්සරය සමරන්න. මට හිතුණා මේ ප්‍රසංගය හැම අවුරුද්දේම කරන්න ඕනේ කියලා. දක්ෂතා තියෙන දරුවන්ට හොඳ වේදිකාවක් හදන අවශ්‍යතාව මට තිබුණා. ප්‍රථම ONE MIC  ප්‍රසංගයට වැඩිය මෙවර ප්‍රසංගය ඉතාම සාර්ථකව කෙරුණා.



මෙරට ගායිකාවන් බොහෝමයක් සංගීත ආචාර්යවරියන්. ඒත් ඔබ උමාරා මියුසික් ඇකඩමි එක ආරම්භ කළේ වෙනස් ආකාරයකට.


මම පොඩි කාලේදි මට ඉගෙනගන්න මම බලාපොරොත්තු වුණු මට්ටමේ සංගීත පාසලක් ලංකාවේ තිබුණේ නැහැ. මම පොඩි කාලේ හැඳුණේ වැඩුණේ පිටරට. මම හොංකොංවල වසර හතක් ජෑස් සංගීතය හැදෑරුවා. ඒ සියල්ලම අපේ අනාගතයේදි ක්ෂේත්‍රයට එන්න ඉන්න දරුවන්ට උගන්වන්න පුළුවන් නම් හොඳයි කියන මතය සමඟ මම මගේ ඇකඩමි එක ආරම්භ කළේ. ඊට පෙර සිටම මං ළඟට රියැලිටි වැඩසටහන්වලට හඬ පුහුණු කරගන්න තරගකරුවන් කීපදෙනෙක් ආවා. දැනටත් ලංකාවේ රියැලිටි වැඩසටහන්වල බහුතරයක් ඉන්නේ මගේ දරුවන්. මෙවර The Voice ජයග්‍රහණය කරපු හරිත් විජේරත්නත් මගේ ශිෂ්‍යයෙක්. රියැලිටි වැඩසටහන්වල කැපී පෙනුණු දරුවන් බොහෝමයක් මගේ ශිෂ්‍යයෝ. ඔවුන්ගේ ජයග්‍රහණ සමඟ ගුරුවරියක් හැටියට මට කුමක් හෝ දෙයක් කරන්න පුළුවන් බව තේරෙනවා. මම තමයි ලංකාවේ හිටපු ළාබාලතම female audio engineer. මම මුලින්ම වැඩ කළේ භාතිය - සන්තුෂ් සමඟ. සචිත් පීරිස් මට ඒ තාක්ෂණය ඉගැන්නුවා. ගීතයක් රෙකෝඩ් කරන්නේ කොහොමද? ලියන්නේ කොහොමද? වේදිකාවේ ගීතයක් ඉදිරිපත් කරන්නේ කොහොමද? මයික් එක හසුරුවන්නේ කොහොමද? තරගයකට යනකොට ගීත තෝරාගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම දරුවන්ට උගන්වන්න ඕනේ. මේ දේවල් උගන්වන්නේ නැති ලොකු හිස්තැනක් අපේ ක්ෂේත්‍රයේ තිබුණා. මට හිතුණා ඒ හිස්තැන පුරවන්න ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. ඒ අරමුණෙන් තමයි මම සංගීත පාසල ආරම්භ කළේ.



ඔබේ නවතම ගීතය ගැන කතා කරමු?



මගේ නවතම ගීතය ONE MIC - PHASE 2 ප්‍රසංගයේදීම එළිදැක්වූවා. එහි ගීත රූපරචනාවත් ළඟදීම එළිදක්වන්න නියමිතයි. ගීතයේ නම "රෑ තාරුකා". මේ ගීතය ටිකක් වෙනස්. එය මීට වසර හතරකට කලින් පටිගත කළේ. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළේ හරීන්. රචනා කළේ ශෙහාන් ගලහිටියාව. මේ ගීතය ඉලෙක්ට්‍රො මියුසික් පැත්තට බර ගීතයක්. කාලයක් ලංකාවේ දුක, වේදනාව ගැන හරිම පීඩාකාරී ගීත හැදුණා. එතැනින් ටිකක් බැහැර වෙලා ජීවිතයේ බාධා මැඩගෙන ඉදිරියට යන්න අභිප්‍රේරණයක් වෙන සංකල්පයකින් මම මේ ගීතය නිර්මාණය කළේ. මේ වගේ ගීතයක් මම මීට කලෙන් කියලා නැහැ. ගීතයේ රූපරචනාවත් විශේෂයි. එය රූගත කළේ ත්‍රිකුණාමලයේ හෝටලයක් ආශ්‍රිතව සහ මුහුදෙ වතුර යට. ලංකාවේ තියෙන ස්වභාවික ලස්සන පෙන්වන වීඩියෝවක් වේවි මෙය.


අමරසිරි පීරිස් වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ ඔබ ගීත ගායනා කළා. නැවත එවැනි අදහසක් නැද්ද?


අනිවාර්යයෙන්ම තියෙනවා. මම ඉතාම කැමැතියි සංගීත සුසංයෝජන කරන්න. ළහිරු පෙරේරා සමඟ ගීතයක් කරන්න සූදානමින් ඉන්නවා. තව ඒ වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ වගේ අලුත් අය එක්කත් අලුත් වැඩ කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.



උමාරා වර්තමානයේ සමාජයේ හඬක් අවදි කළ යුතු තැන්වල ඉන්න බවක් පේනවා.


මට ලැබිලා තියෙන ජනප්‍රියත්වය හොඳ දෙයකට භාවිත කරන්න පුළුවන් නම් ඒකට මම අනිවාර්යයෙන්ම කැප වෙනවා. "ව්ධ ගුටි" කියලා වැඩසටහනකට මම මේ දිනවල පෙනී සිටිනවා. මමත් පොඩි කාලයේදී ගුරුවරුන්ගෙන් ගුටි කාපු, දඩුවම් විඳපු කෙනෙක්. ඒක හැම ළමයෙක්ටම සාමාන්‍යය දෙයක් වෙලා තියෙනවා. පසුගිය වසර කීපයේ මවුපියන්ගෙන් ගුටි කාලා දරුවන් දහ දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේ පීඩාකාරී දේවල් නතර කරන්න තමයි අපි "ව්ධ ගුටි" වැඩසටහන කරන්නේ. එහිදී මම නියෝජනය කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්. කිසිම දෙයක අවබෝධයක් නැති ඒ දරුවන්ට සලකන ආකාරය මම දැකලා තියෙනවා. ඒ වැරදි දේවල් නතර කරන්න වියයුතු දේවල් ගැන මම කතා කරනවා.


ඔබේ නැඟණිය දැන් ක්ෂේත්‍රයේ ඉතාම ඉහළ තැනක ඉන්නවා. මොකද හිතෙන්නේ?



හරිම ආඩම්බරයි. ඇය ආරම්භ කරපු තැන සහ අද ඉන්න තැන බැලුවාම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ආඩම්බරයක් තියෙන්නේ. එයා එතැනට එන්න කොයිතරම් මහන්සි වුණාද කියලා මම දන්නවා. එයා දිනාගෙන තියෙන හැම හීනයකටම ළං වෙන්න එයා සෑහෙන්න වෙහෙසුණා. අක්කා කෙනෙක් විදිහට මම නංගි ගැන මාරම ආඩම්බරයි.



උමාරා සිංහවංශ කියන්නේ ඒතරම් මාධ්‍යවල පෙනී සිටින කෙනෙක් නෙමෙයි.



මම මාධ්‍යයට එන එක යම් තරමක් සීමා කරනවා. මාව නිතරම දකිනකොට මිනිස්සුන්ට මාව එපා වෙන නිසයි එහෙම කරන්නේ. මම කොහොමත් ක්ෂේත්‍රයේ වැඩකට ගියත් මගේ වැඩේ ඉවර වුණාම එතනින් යනවා. මම වැඩිපුර ගැවසෙන්න කැමති නැහැ. මම ආඩම්බරෙන් සහ ආදරෙන් කරන දෙය ගායනය සහ සංගීතය. මගේ කටහඬ මිනිසුන් අතරට යන්න පුළුවන් නම් ඒක තමයි මගේ එකම ජයග්‍රහණය. මිනිස්සු අතරට යන්න ඕනේ මම නෙමෙයි. මගේ කටහඬ.




පසුගිය වකවානුවෙ යොහානි ඇතුළු ලංකාවේ ගායන ශිල්පීන් ජාත්‍යන්තරයේ කැපී පෙනුණා නේද?


ඔවුන් සියලුදෙනාම ගැන ඉතාම සතුටුයි මට. මමත් පොඩි කාලේ ඉඳලාම මහන්සි වුණේ ජාත්‍යන්තරයට යන්න. ගොඩක් අය නොදන්නවා වුණාට අවුරුදු දාහතේදී දහඅටේදී මම ලංකාව නියෝජනය කරලා රටවල් 73ක් සමඟ තරග කරලා ලංකාවට ජයග්‍රහණ ගෙනල්ලා තියෙනවා. නමුත් ඒ වකවානුවේ දැන් වගේ තාක්ෂණික ලෝකයක් නොතිබුණු නිසා කවුරුත් ඒ ගැන දන්නේ නැහැ. නමුත් දැන් ඩිජිටල් ලෝකේ යොහානි වගේම අනෙක් ගායන ශිල්පීන් ශිල්පිනියන්ටත් ඉදිරියට එන්න පුළුවන්. ලාංකිකයො වශයෙන් අපි ඔක්කොම යොහානි ගැන ආඩම්බර විය යුතුයි. ඇය මගෙන් කෙටි කාලයක් සංගීතය හැදෑරුවා. ගුරුවරියක් වශයෙන් මම ඇය ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ඇය වගේ දරුවන් තව ගොඩක් මේ රටේ බිහිවෙන්න ඕනේ. අපි විදේශ රටවලට ගියාම "ඔයාලා ඉන්දියාවෙන්ද" කියලා අහන එකට මම කැමති නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. අපි ගොඩක් වෙනස්. අපි අරගෙන යන්න ඕනේ අපේ අනන්‍යතාව.


ඉදිරි ඉලක්ක සහ බලාපොරොත්තු මොනවාද?


කීපයක්ම තියෙනවා. විදේශ රටවල ප්‍රසංග කීපයකට සූදානම් වෙලා ඉන්නවා. අලුත් ගීත කීපයක් එක්ක රූපරචනා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.


නිර්මාණි බණ්ඩාරනායක







Previous Post Next Post