කොයි රටේ හිටියත් මම හැමදාම ජීවත් වුණේ සිම්පල් විදිහට -ශමින්ද්‍රි හර්දාගොඩ




2000 දශකයකයේ ටෙලිවිෂනයට මෙගා නාට්‍ය උමතුවක් කළ කාව්‍යා නාට්‍ය බොහෝ දෙනෙකුට තවම මතකයි. එහි විමංශා චරිතය ට පණ පෙවූ ඈ වසර 16ක් තිස්සේ ජීවත් වෙන්නේ කැනඩාවේ. ඇය නමින් ශමින්ද්‍රි හර්දාගොඩ. මේ නමට වඩා රූපයත්, විමංශා නමිනුත් ඈ ජනප්‍රියයි . බොහෝ කලක් රූප පෙට්ටියෙන් නොදැක්කත් තවමත් ප්‍රේක්ෂක ආදරේ ලබන ඈ දැන් දරු දෙදෙනෙකුගේ ආදරණීය මවක්. මේ කතාබහ ඇය සමඟයි.


ශමින්ද්‍රි සෑහෙන කාලෙකට පස්සේ ලංකාවට ආවේ, ඔබ ජීවත් වෙන්නේ කැනඩාවේ කොහොමද එහේ ජීවිතේ ..?


මම අවුරුදු තුනකට කලින් දින කිහිපයකට ලංකාවට ඇවිත් ගියා. ඒ මගේ ආච්චි අම්මගේ මළ ගෙදරට සම්බන්ධ වෙන්න. ඒ ආවේ තනියම. ඊට පස්සේ තමයි මේ ආවේ පුතාලා දෙන්නා එක්ක. එහේ ජීවීතේ හොඳින් ගෙවනවා. මම අවුරුදු 18න් එංගලන්තයේ යන්නේ, එහේ සිංහල රූපවාහිනී චැනල් එකක ප්‍රසන්ට් කළා. ඊට පස්සේ ලංකාවට ඇවිත් අවුරුදු 25න් මම විවාහ වුණා. විවාහයෙන් පස්සේ සැමියා කැනඩාවේ ජීවත් වුණු නිසාය. මමත් කැනඩාවට යන්නේ. ඒ අවුරුදු 16කට කලින්. එදා ඉඳලා තවමත් ස්ථීර පදිංචිය එහේ තමයි.


විවාහයත් එක්ක තමයි ඔබ විදෙස්ගත වෙන්නේ. කලාව, ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරේ ඔබට මඟ හැරුණා. මේ හැමදේම අතහැරලා ගිය මොහොතේ දුකක් හිතුණේ නැද්ද ..?


ඒ කාලේ කාව්‍යා නාට්‍ය නිසා මට වැඩ ගොඩක් ලැබුණු කාලයක්. නිවේදනයෙන්, නිරූපණයෙන්, රංගනයෙන් මාව දකින්න ලැබුණා. ජනප්‍රිය දැන්වීම් කිහිපයක නිතරම දකින්නත් ලැබුණා. ඒ නිසා ඒ කාලේ මම ජනප්‍රිය චරිතයක්. ඒ කාලේම තමයි යෝජිත විවාහයකින් මම විවාහ වෙන්නේ. විවාහ වෙන්න කලින් මම හිතාගත්තා විවාහයත් එක්ක මම ඊට මුල්තැන දීලා කලාවෙන් යම්තාක් දුරට දුරස් වෙලා පවුලට මුල්තැන දෙන්න. එහෙම හිතේ තිබ්බ කාලෙක තමයි විවාහ යෝජනාව එන්නෙත්. විවාහ වෙලා ලංකාවෙන් යනවා. එදා මගේ මුළු හිතම හිරි වැටුණා. මම ගොඩක් ආදරේ කරපු කලා ජීවිතේට තමයි මට සම‍ෙදිලා උපන් බිමෙනුත් යන්න වෙනවා නේද කියලා හිතුණම. කොහොමද කියන්නේ මට දුක හිතුණේ නැහැ කියලා. හීන ආසාවන් එහෙමම හිතෙන් අත හැරලා හිත හදාගෙන ගියා. විවාහ වෙලා ටික කාලයකින් මම ගැබ් ගත්තා. ලොකු පුතා ඉපදුණා. ඒත් එක්කම කලාවට සමුදීලා පවුල් සංස්ථාව තමයි වටින්නෙ කියලා සම්පූර්ණයෙන්ම හිත හදා ගත්ත.


ඇත්තටම ඇයි රංගනයට සමු දුන්නේ..?


විවාහය නිසා තමයි. විවාහ වෙලා කැනඩාවට යන්න වුණ නිසයි.


සැමියා වාරණ දාන්න ඇති..?


නැහැ. රඟපාන්න එපා කියලා එයා නිතිරීතී දැම්මේ නැහැ. එහේදි මියුසික් විඩියෝ එකකටත් සම්බන්ධ වුණා . පුතා ඉපදෙනවත් එක්ක කාර්‍යබහුල වුණා. සැමියා මම නිළියක් කියලා දැනගෙන තමයි විවාහ කර ගත්තේ. ඒ නිසා රංගනයට නිතී දැම්මෙ නැහැ. විවාහයෙන් පස්සේ රංගනයට සමු දීම මගේ තීරණයක්


කාව්‍යා ටෙලිනාට්‍යයේන් ඔබ අතිශය ජනප්‍රිය නිළියක් බවට පත් වෙනවා, ඒ කාලේ උමතුවෙන් වගේ නාට්‍ය නැරඹු අයට තවමත් ඔබව මතක ඇති..?


තවම කොහේ ගියත් හැමෝම මට කතා කරන්නේ විමංශා කියලා මිසක් මගේ නම කියලා නෙමෙයි. ඒ නාට්‍ය කරලා අවුරුදු කීයක් වුණාද, ඒත් තවම මාව මතක විමංශා විදිහට. විමංශා කියන්නේ හරි දරුණු නපුරු චරිතයක්, ඒ නිසාම වෙන්න ඇති බොහෝ දෙනෙකුට මාව මතක. අධ්‍යක්ෂකවරුත් මට කතා කරන්නේ විමා කියලා. මගේ රූපේ දැකලා“ අහ් මේ කාව්‍යා නාට්‍යයේ විමංශා නේද , කියලා නතර වෙලා කතා කරන අය තවම ඉන්නවා. කාව්‍යා නාට්‍ය නිෂ්පාදනය ඉන්දියාවේ එකක්. මට මතකයි ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක් එපිසෝඩ් විස්සක් විතර යනකල් මාව ට්‍රේන් කරපු විදිහ. කෙළ ගිලින විදිහේ ඉදලා නපුරු චරිතයක් මේන්ටේන් කරගෙන යන්නෙ කොහොමද කියලා ඔහු මට කියලා දීලා විමංශාව ඔහු ගොඩනැඟුවා. මම එපිසෝඩ් 600 ක රඟපෑවා. අවුරුදු තුනක් විතර මම දවස් හයක් කාලය ගත කළේ කාව්‍යා නාට්‍යයේ දර්ශන තල වල. ඒ චරිතය කොච්චර නපුරු එකක්ද කිව්වොත් සමහර තැන් මටත් දරාගන්න බැරි වුණා. ඕෂධි හේවාමද්දුම අක්කට හිටියේ. අක්කා ගේ ඇතුළේ ඉද්දි ගේ ගිනි තියන දර්ශනයක් තිබ්බා. ඒක රූගත කරලා ඇවිත් මම හරියට ඇඬුවා. පාරේ යන්න බැරි වුණා මිනිස්සු බැන්නා. හරි මතක ගොඩක් තියෙන චරිතයක් තමයි විමංශා කියන්නේ.


ශමින්ද්‍රි හර්දාගොඩ, මේ නමට වඩා ඔබේ රුව නේද බොහෝ දෙනෙකුට මතක..?


රූපයෙන් තමයි මුලින්ම අඳුර ගන්නෙ. මගේ නම දන්න අය හරි අඩුයි. ඒත් රූපය මතකයි. මගේ වයස දැන් අවුරුදු 41ක්. ඒත් හැමෝම කියන්නේ ඉස්සර වගේම තමයි කියලා. මම වයසයි කියලා මම මතක් කරලා දුන්නත් බොහෝදෙනෙක් නැහැ ඔයා එදා වගේමයි ටිකක්වත් වෙනස් වෙලා නැහැ කියලා කියනවා. ඒ වගේම කොයි රටේ හිටියත් මම හැමදාම ජීවත් වුණේ සිම්පල් විදිහට. ඒ සරලකමටත් මට ආදරේ කරන අය ඉන්නවා.


ආයේ ලංකාවේ නතර වෙන්න එන්න අදහසක් නැතුව ඇති..?


මගේ පුතාලා දෙන්නගේ අනාගතය ගොඩනැඟිලා තියෙන්නේ කැනඩාවේ. ඒ දෙන්නා ලොකු වෙලා තනියම ජීවත් වෙන්න පුළුවන් මට්ටමක් එනතුරු මම කැනඩාවේ ඉන්නවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් මගේ දෙමාපියන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න තමයි මගේ නම් අදහස. මම ආසයි ඉපදුණු භූමියේම මියැදෙන්න. ඒ නිසා මම කවදා හරි ලංකාවට එයි.


මේ වෙද්දී ඔබ විවාහ ජීවිතයෙන් ඈත් වෙලා දරුවෝ එක්ක ජීවත් වෙන්නේ..?


විවාහ වෙලා අවුරුදු 16යි. අවුරුදු පහළොවක් මම සැමියා එක්ක විවාහ ජීවිතේ ගත කළා උපරිම සැපයෙන් වගේම දුක් කම්කටොලු එක්කත්. ලංකාවේ ගැහැනු මොන ප්‍රශ්න තිබ්බත් පවුල කඩාගන්නෙ නැහැ. පවත්වාගෙන යනවා දරුවෝ හා සමාජය ගැන හිතලා. මමත් මට පවුල් ජීවිතයක් ඕන කියලා දරාගන්න බැරි ප්‍රශ්න කෝටීයක් මැද්දේ මොකුත් නොවුණු ගානට ජීවත් වුණා. ඒත් පුතාලා දැන් ලොකුයි, එයාලට තෙරෙනවා එයාලගේ අම්මා පවුල ඇතුළේ දුක්විඳිනවා… අම්මා අසතුටෙන් කියලා. ඒ වේදනාවෙන් මගේ දරුවෝ වේදනා විදින්න පටන් ගත්තා. ඒ නිසා අවුරුද්දකට කලින් මගේ දරුවන්ගේ සතුට ගැන හිතලා පවුල් ජීවිතෙන් අයින් වෙලා දරුවෝ එක්ක තනියම ජීවත් වෙන්න පටන් ගත්තා. ඔහුත් දැන් සතුටින් ජීවත් වෙනවා. මම දරුවෝ එක්ක සතුටින් ජීවත් වෙනවා. නොගැළපීම් ගළප ගන්න උත්සාහ කළා, ආදරේ බලෙන් ලබා ගන්න බැරි දෙයක්. අවසානයේ අපි දෙන්නා කතාබහ කරලා වෙන් වුණා.


මාපියන්ගේ එකම දරුවා ඔබ, ඔය තීරණය දඩම්බර තීරණයක් බව ඔවුන් කිව්වේ නැද්ද ..?


මගේ අම්මටයි තාත්තටයි ඉන්න එකම දරුවා මම. අවුරුදු 25ක් මාව හැදුවේ කොහොමද කියලා මම දන්නවා. ඒ ආදරේ ආරක්ෂාව මට සැමියාගෙන් ලැබෙයි කියලා ඔවුන් හිතුවා. අවුරුදු 16ක් මම විවාහ ජීවිතේ එක්ක වින්ද දුක එයාලටත් දුකක් වුණා. ඒ දුක දන්නේ මම හා ඔවුන්.අම්මයි තාත්තයි දැක්කා මම ගත්ත මේ තීරණය නිවැරැදි බව. අදටත් මම සැමියාව ලෙට්ඩවුන් කරන්නේ නැහැ. ඔහු මා එක්ක තරහක් නැහැ. මමයි ඔහුගෙන් අයින් වුණේ. නොගැළපීම් එක්ක ඉන්නවට වඩා ඈත් වෙන එක හොඳ බව දැන් තෙරෙනවා.


බොහෝ කාන්තාවන් හොයන නිදහස හොයාගෙන ද ඔබ විවාහයෙන් ඈත් වෙන්නෙ..?


කොහෙත්ම නැහැ. විවාහයෙන් ඈත් වුණා කිව්ව ගමන් හංවඩු ගහන්නෙ වෙන සම්බන්ධතා නිසා එහෙම වෙන්න ඇති කියලා. මට එහෙම හේතුවක් තිබ්බෙ නැහැ. දරාගත නොහැකි ප්‍රශ්න දරාගෙන එකට අසතුටෙන් ජීවත් වෙනවාට වඩා අයින් වෙන එක හොඳයි කියලා එක මොහොතක තීරණයකට එනවා. ඒ මොහොත ආවා මම ඉවත් වුණා. ඇත්තම කිව්වොත් ඕනෑම කෙනෙකුට මානසික නිදහසයි අවශ්‍ය. ඒ මානසික නිදහස මම අවුරුදු 16ට පස්සේ දැන් විඳිනවා කියන්න පුළුවන්.


තනිකම දැනෙද්දි මවක් විදිහට තනි ගමනක් වගකීම් කර පින්නගෙන යද්දී මොකද හිතන්නේ ..?


ඔහුගෙන් වෙන් වුණාට පස්සේ මානසික නිදහස ලැබුණා. ඒත් ඒ බැඳීමෙන් මම වෙන් වුණේ කොහොම වේදනාවකින්ද කියලා මම දන්නවා, සියල්ල අතහැරලා පවුල මුළු ලෝකයම කරගත් මට ඉන් වෙන් වෙන්න අමාරුයි. විවාහ වුණේ වෙන් වෙන්න නෙමෙයි. ඒත් මගේ ජීවිතේ එහෙම කර්මයකට මට මුහුණ දෙන්න සිදු වුණා. මට පිං නැති වුණා ආදරේ විදින්න හා පවුල් ජීවිතයක් ගෙවන්න. දැන් දරුවෝ දෙන්නා මගේ ජීවිතේ. ඒ වගකිම් කොතරම් බර වුණත් මට දරාගෙන ඉන්න පුළුවන්. හිතේ හයිය තියෙනවා දරා ගන්න .


දරුවෝ දන්නවද ඔබ නිළියක් හැටියට කටයුතු කළා කියලා , .?


මම ලංකාවට ඇවිත් ඊට පහුවදා සිරස වැඩසටහනකට සම්බන්ධ වුණා. දරුවෝ දෙන්නත් ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා කතා කළා. ඔවුන්ට සිංහල තේරෙනවා කතා කරන්න බැහැ. නමුත් මට ලැබෙන ප්‍රතිචාර ගැන පුතාලා දෙන්නා පුදුම වුණා. එයාලට දැන් තේරෙන වයසක ඉන්න නිසා මම නිළියක් නිවේදිකාවක් විදිහට කටයුතු කළා කියලා දැන් දන්නවා. ඔවුන්ට ඒක පුදුමයක්.


ඔබේ දරුවෝ දෙන්නම ක්‍රිඩාවට දක්ෂයි. ප්‍රාන්ත මට්ටමිත් ක්‍රීඩා කරන එක ඔබට ආඩම්බරයක්..?


ලොකු පුතා ටාරියෝ වයස 15යි. එයා Nova Scotia ප්‍රාන්ත පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කරනවා. හරියට ලංකාවේ ජාතික කන්ඩායමට ක්‍රීඩා කරනවා හා සමානයි. දාහක් ළමයි පෝලිමේ ඉද්දි දක්ෂතාවලින් ඉහළ නිසා මගේ දරුවා තේරුණා. පොඩි පුතා ජේඩන්. වයස 9 යි. එයා බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක්. ඒ දෙන්නම බාස්කට් බෝල් හා ෆුට් බෝල් ක්‍රීඩාවට ලොකු කැපවීමක් කරනවා. ලොකු පුතා ආසාවට චොක්ලට් එකක්වත් කන්නෙ නැහැ. කෑම පාලනය කරමිනුයි එයාගේ ක්‍රිඩා ජීවිතේ මේන්ටේන් කරන්නේ. ඉතින් ඒ වගේ ලස්සන හිත් තියෙන දරුවෝ දෙන්නෙක් ලබන්න මම පිං කරලා තියෙනවා. ඒ තමයි දැන් මගේ ලෝකේ.


ආයෙමත් රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්.., ඊටත් උත්තර දීලම අපි කතාබහ අවසන් කරමු..?


එහෙම අවස්ථාවක් ලැබුණොත් හොඳ තීරණයක් ගන්නවා. වෙලාව හදාගෙන ඇවිත් යන්න උත්සාහ කරනවා. බලමු. ආයෙමත් රඟපාන්න ආසාවක් තියෙනවා. මම කැනඩාවේ ෆුල් ටයිම් ජොබ් එකක් කරනවා, ෆයිනෑන්ෂල් පැත්තේ. ඒ ජොබ් එකේ වැඩත් එක්ක කාලය හදාගෙන රඟපාන්න බලනවා.


 හර්ෂණි වීරරත්න



Previous Post Next Post