දැන් එහෙම හිතුවට මම පස්සේ මොනවා කරයිද දන්නෙ නැහැ-ආක්ෂා චමුදි




බහ තෝරන කාලෙම මයිකෆෝනයක් ඉදිරියේ තාලයට ගීත ගායනා කරන්න තරම් දක්ෂතාවයක් ඇති කරගත් ඈ කලාවට ඕපපාතිකයෙක්. දෙරණ ලිට්ල්ස්ටාර් ඔස්සේ ඇගේ හැකියාව මුළු රටට පෙන්වමින් තවමත් හැමෝගෙම ආදරේ ලබා ගන්න තරම් වාසනාවන්ත චරිතයක්. ඈ නමින් ආක්ෂා චමුදි. ප්‍රසංග වේදිකාව දෙවනත් කරන ඇය ගැනයි මේ කතාබහ.

ආක්ෂා අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු මොනවද ..?


මම දැන් හත වසරේ ඉගෙන ගන්නේ. හොඳින් ඉගෙන ගන්න වගේම සංගීතය පැත්තෙන් අලුත් නිර්මාණ කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. චතූ බණ්ඩාර අක්කා ලියපු “දින එකිනෙක ගෙවෙනා“ අලුත් ගීතයක් මෑතකදි කළා. ගීතය සංගීතවත් කළේ තරිදු බණ්ඩාර අයියා. මේ ගීතය ඉක්මනින් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රියන්ත කොළඹගේ මහත්මයා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක පසුබිම් ගායනයට එක්වන්න ලැබුණා. ඒක තමයි මම චිත්‍රපටයක් සඳහා ගැයූ පළමු ගීතය. මේ වෙද්දී ගීත 15ක් විතර මම කරලා තියෙනවා.


ගායිකාවක් වුණාට රඟපාන්නත් පුළුවන් නේද ..?


මම ටික කාලයක ඉඳලා දෙරණ ටීවී එකේ විකාශය වෙන සංගීතය ඩ්‍රාමා එකේ රඟපානවා. ඒකට විතරයි දැන් සම්බන්ධ වෙන්නේ. ඒකේ ෂූටිං තියෙන්නේ මාසෙට එක පාරක් වගේ තමයි.


ජීවත් වෙන්නේ හම්බන්තොට. නිර්මාණ වැඩ කටයුතු වලට වගේම සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න අපහසු ඇති නේද?


මගේ ගම කටුවන. මම ඉගෙන ගන්නේ කටුවන ජාතික පාසලේ හත්වෙනි ශ්‍රේණියේ. ජීවත් වෙන්නේ හම්බන්තොට. හයිවේ එක තියෙන නිසා යන්න එන්න පහසුයි. ඉස්කෝලේ යන නිසා කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ ගොඩක් වෙලාවට සති අන්තයේ. ඒ නිසා තවම ප්‍රශ්නයක් වෙලා නැහැ


ආක්ෂාට සින්දු කියන්න පුළුවන්. ලස්සන කට හඬක් තියෙනවා කියලා මුලින්ම අඳුරගත්තේ කවුද ..?


මගේ අම්මා. අම්මා කියලා තියෙනවා මම අවුරුදු තුනෙන් විතර සින්දු කියන්න පටන් ගත්තලු. අපේ ගෙදර හැමෝම දෙරණ ලිට්ල්ස්ටාර් බලන අතරතුර මම කිව්වලු අම්මට “අම්මේ මටත් කොහොම හරි ටීවී එක ඇතුළට ගිහිං සින්දු කියන්න ඕන“ කියලා. ඊට පස්සේ තමයි අම්මා මම වෙනුවෙන් ඇප්ලීකේෂන් එකක් දාලා ඒකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මගේ වයස අවුරුදු හයයි.


ඒ වයසෙදි කොහොමද ආක්ෂා සින්දුවල වචන එහෙම මතක තියා ගත්තේ..?


මම නිතරම සින්දු අහනවා. ගායනා කරනවා. ඒ නිසා මට වචන මතකයි. සමහර සින්දු ලියලා කටපාඩම් කරගෙන තියෙනවා. දැන් වුණත් මට හොඳට සින්දු මතකයි. සින්දු කියද්දි වචන මතක නැතුව පැටලිලා නැහැ ඒ නිසා.


ආක්ෂාට ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ආශිර්වාදය නිතරම ලැබෙන කෙනෙක් ..?


ඔව්. මට ප්‍රවිණ ගායක ගායිකාවන් ආදරෙයි. මුණ ගැහුනාම මාත් එක්ක කතා කරනවා. සුබ පතනවා. ඇංජලින් ගුණතිලක මහත්මිය විශේෂයෙන් මතක් කරන්න ඕන. එතුමියගේ ගීත ඕන වෙලාවක ගායනා කරන්න මට අවසර දුන්නා. මම එතුමියට ගරු කරනවා. මට පුළුවන් විදිහට එතුමියගේ ගීත මම ආරක්ෂා කරනවා.


ප්‍රතිචාර ඉහළ පුංචි ගායිකාවක් ..?


ප්‍රසංග වේදිකාවට ගිහිං සින්දු කිව්වම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මම මේ වෙද්දී රටවල් දෙක තුනකට ගිහින් සංගීත ප්‍රසංගවල සින්දු කියලා තියෙනවා. මට අමතක නොවන ප්‍රතිචාර ලැබුණේ කුවේට් ප්‍රසංගයට ගිය දවසේ. එතකොට මට වයස අවුරුදු හතක් විතර ඇති. එදා මාව බලන්න ගොඩක් අය ආවා. බේර ගන්න බැරුව බැරිම තැන මාව කාමරේක දාලා තිබ්බා . ආදරණීය ජනතාව මාව බලන්න ආපු එක ලොකු සතුටක්. ඒක මට තවම මතකයි. එදා මාමා කෙනෙක් මාව වඩාගෙන ඉද්දි තමයි මම ගීත ගායන කළේ.


ඉස්කෝලේ ගොඩක් ප්‍රතිචාර හොඳයි. සමහර අය මාව දැක්කම සින්දුවක් කියන්න කියලා කියනවා. විදුහල්පති තුමා ඇතුළු සියලුම ගුරුවරු මට උදව් කරනවා අතපසු වෙන පාඩම් මට වෙනම කියලා දෙනවා. ඒක මට ගොඩක් වටිනවා. දැන් මගේ පෙනුම ටිකක් වෙනස් වෙලා නිසා මඟ තොටේ හමුවන අය එකපාරටම ප්‍රතිචාර දක්වන්නෙ නැහැ . ආක්ෂාද අහලා කතා කරන්නේ, ඒ නිසා පාරේ යද්දී දැන් ටිකක් නිදහසේ යනවා.


පවුලෙන් ලැබෙන සහය ගැනත් කියමු..?


මගේ අම්මා චන්ද්‍රා. ගෘහණියක්, තාත්තා අජිත් ව්‍යාපාරයක් කරා. මගේ වැඩ එක්ක දැන් තාත්තා කාර්යබහුල වෙලා. මට ඉන්නේ අයියයි අක්කයි. අක්කා අයේෂා කැම්පස් අවුට් වෙලා ගුරුවරියක් විදිහට වැඩ කරනවා. එයාටත් සින්දු කියන්න පුළුවන්. අයියා අචන, මැනේජ්මන්ට් කෝස් එකක් කරනවා. එයාට නම් ටිකක්වත් සින්දු කියන්න බැහැ. හැමෝම මට උදව් කරනවා.


 හර්ෂණී වීරරත්න



Previous Post Next Post