මදි මදි නංගි තව පද්දන්න කියලා උදය අයියා කෑ ගැහුවා- පබෝදා සංදීපනී




පබෝදා සංදීපනී කියන්නද? රශිප්‍රභා සංදිපනී කියන්නද?


අපි පබෝදා සංදීපනී කියලා කියමු නේද? මගේ නම තියෙන්නේ රශ්මිණී පබෝදා සංදීපනී කියලයි. මම චූටි කාලේ "ඔෂීන්" චරිතයට හඬ කවද්දී අපේ අම්මා රශිප්‍රභා සංදීපනී කියලා පොඩ්ඩක් වෙනස් කළා. ඒ කාලේදී මම රශිප්‍රභා සංදීපනී වුණා. කාලයකට උඩදි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "වෑකන්ද වලව්ව" චිත්‍රපටයට සම්බන්ධ වෙද්දී ලෙස්ටර් සර් "පබෝදා සංදීපනී නමින් යන්න" කියලා කිව්වා. ඉතින් ඇත්තටම මම පබෝදා සංදීපනී නමට කැමතියි.


කාලෙන් කාලයට පබෝදා "ගින්දරී" වෙනවා. ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තම කිව්වොත් දැන් "ගින්දරීට" අවුරුදු විස්සක් වෙනවා. "බහුභූතයෝ" චිත්‍රපටයට මීට අවුරුදු විස්සකට උඩදී සම්බන්ධ වෙද්දී මේ තරම් දුරක් මාව මේ චරිතය අරගෙන යාවි යැයි මම හිතුවේවත් නැහැ. "බහුභූතයෝ" චිත්‍රපටයේ සිට ඒ ලැබුණු ප්‍රතිචාරවල කිසිම අඩුවක් ලැබුණේ නැහැ. චිත්‍රපටයක ඒ තරම් කොටස් තිරගත වෙද්දී නොවෙනස්ව ඒ ආදරය ලැබීම ගැන ගොඩාක් සතුටුයි. 


මීට අවුරුදු විස්සකට පමණ උඩදී යක්ෂණියකගේ චරිතයකට පබෝදාට උදයකාන්ත වර්ණසූරිය ආරාධනා කරද්දී ඇත්තටම මොකද හිතුණේ?


ඇත්තම කිව්වොත් ඒ චරිතය මම හරිම ආසාවෙන් බාරගත්තා. ඒ දවස්වල හින්දි චිත්‍රපට බලලා තිබුණ ආසාව නිසාම ඒ වගේ චරිතයක් කරන්න මට ආසා හිතුණා. ඒ වෙද්දී මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "වෑකන්ද වලව්ව" චිත්‍රපටයට පමණයි සම්බන්ධ වෙලා හිටියේ. ඒකට වඩා "බහුභූතයෝ" කියන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ චරිතය කරන්න මම ආසා කළා.


අත්දැකීම් නැතිකම නිසාම ටිකක් ලැජ්ජා වුණා කියලත් ආරංචියි...?


ඔව්නේ. එතකොට මම ගොඩක් පොඩියිනේ. රඟපාලාත් ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ. ඒ නිසා දෙනෝදාහක් ගැවසෙන නුගේගොඩ වගේ නගරවල සමහර කොටස් රඟපාන්න මුලින් පොඩි ලැජ්ජාවක් නම් තිබුණා. ඒ වෙද්දී කට්ටිය මාව දන්නේවත් නැහැනේ. කැමරාවත් ගොඩාක් දුර ඉඳන් රූගත කිරීම් කළේ. ඉතින් රෙද්ද හැට්ටෙ ඇඳගෙන නුගේගොඩ ඇවිදගෙන යද්දී ගොඩාක් දෙනා නැවතිලා බලාගෙන හිටපු දවස් තිබුණා. සමහර වෙලාවට මම කැමරාව කොහේද තියෙන්නේ කියලවත් දන්නේ නැහැ. උදය අයියා ඇඟ පද්දගෙන යන්න කියද්දී මම ඒ විදිහට ගියා. "ගින්දරී - 2" කරද්දී නම් ඒ චකිතය කිසිම දෙයක් නැහැ. "බහුභූතයෝ" රූගත කරලා අවුරුදු දොළහකට පස්සේ තමයි ගින්දරී - 2 කළේ. ඊට අවුරුදු පහකට හයකට පස්සේ තමයි ගින්දරී 3 තිරගත වුණේ


ගින්දරී - 3 චිත්‍රපටයේ ඒ ලාලිත්‍ය ඇවිදීම්, කතාකරන විලාසය ආදියත් අධ්‍යක්ෂවරයාගේ අදහසක්ද?


ඔව්නේ. ඒ ඇවිදීම පවා කිව්වේ උදය අයියම තමයි. සමහර කොටස් රූගත කරද්දී "මදි... මදි... නංගී... තව පද්දන්න..." කියලා කියනවා. බහුභූතයෝ රූගත කරන්න පටන් ගනිද්දී උදය අයියා ඇඳපු චරිතයේ චිත්‍ර ටිකක් තිබුණා. යක්ෂණියගේ ඇඳුම් ඇන්දම වෙනම චිත්‍රයක් සහ කෙල්ල වගේ ඉඳිද්දී වෙනම චිත්‍රයක් තිබුණා. උදය අයියා ඒ වෙනුවෙන් ගොඩාක් කැපවුණා. මගේ හැට්ටය පවා මහන්න උදය අයියයි, අක්කයි ආවා. ඒ තරමට ඒ චරිතය ගැන ගොඩක් මහන්සි වුණා... කැපවුණා... ඇත්තටම මේක අවුරුදු විස්සක Team Work එකක්.


අවුරුදු විස්සක් ඒ පෙනුම තියාගන්න පබෝදා මොකද කළේ?


හැමදාම මගේ ඇඟ ඒ විදිහට තියෙන්නේ නැහැ. දැන්නම් මම පොඩ්ඩක් මහත් වෙලා. හැබැයි නිර්මාණයකට සම්බන්ධ වුණොත් ඒ නිර්මාණයට අනුව ඇඟ හදා ගන්නවා. එහෙම නැතිව මම දුක් විඳිමින්, කන්නේ නැතිව ඉන්නේ නැහැ. වැඩේ ඉවරවුණාට පස්සේ මම හොඳට කනවා. හැබැයි අවශ්‍යතාවයට මම ඇඟ හදාගන්නවා. පිටරටවල වගේ හැමතිස්සේම දායක වෙන නිර්මාණ පෝලිමක් අපේ රටේ නැහැනේ. පෝලිමට හොඳ වැඩ තියෙනවා නම් අපිත් ඇඟ ලස්සනට හදාගෙන පරිස්සම් කරගෙන ඉඳීවි. ඒ නිසා ඇඟ ගැන එහෙම හිත හිතා උනන්දු වෙන්නේ නැහැ.... වැඩ හොඳ ‍නිර්මාණයකට කතා කළොත් මම ඇඟ හදාගන්නවා.


මේ දවස්වල මොකද කරන්නේ?


"සිහින ගෙනෙන කුමාරියේ" ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම සරත් වීරසේකර මහතාගේ චිත්‍රපටයකටත් දායක වුණා. මේ වසරේදී ලලිත් රත්නායක මහතාගේ අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හොඳ නිර්මාණයක හොඳ චරිතයකට සම්බන්ධ වෙන්න මම ආසයි.


අද රංගන ශිල්පිනියක්. නමුත් ඔෂීන්ගෙන් ඇරඹි ඔයාගේ හඬකැවීම් ශිල්පිනිය තාමත් ඇඟ ඇතුළේ ඇති...?


ඔව්... ඔෂීන්ට අදටත් මම හරි ආදරෙයි. "ගින්දරී" කරන කාලේදීත් මම හඬකැවීම් ශිල්පිනියක් විදිහට වැඩ කළා. හැබැයි මේ වෙද්දී නම් මම අලුත් නිර්මාණයකට දායක වෙලා නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් බාරගන්නවා. මගේ ජීවිතේ මම මේ කලාව පටන් ගන්න දවසේ ඉඳන් මම හොඳ මිනිසුන් එක්ක, හොඳ වැඩක් එක්ක වැඩකරන්න අවස්ථාව ලැබුණා. ටයිටස් තොටවත්ත මහතා, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි දැවැන්තයින් එක්ක වැඩකරන්න මට අවස්ථාව ලැබුණා... මේ වෙද්දීත් ඒවායේ ප්‍රතිඵල මට තාමත් ලැබෙනවා. කොච්චර කාලයක් ගතකළත් මුලදී කරපු ඒ නිර්මාණවල ප්‍රතිඵල තාමත් තියෙනවා.


පුංචි තිරයේදී ලැබෙන හැම නිර්මාණයකටම දායක වෙන්නේ නැහැ... එහෙම නේද?


ඔව්... මම සිනමාවට ගොඩක් කැමැතියි. හැබැයි ටෙලිනාට්‍යවලට තමයි මට ආරාධනා ගොඩක් ලැබෙන්නේ. හැබැයි ඒ නිර්මාණ මම තෝරා බේරාගැනීමක් නම් කරනවා. තාමට මට මේක වෘත්තියක් විදිහට ගන්න අපහසුවක් තිබෙනවා. මේක මගේ වෘත්තිය. මම ජීවත්වෙන්නේ මේකෙන්. නමුත් මට විඳින්න පුළුවන්, මම ආස චරිතයක් හැර මම නිර්මාණ බාරගන්නේ නැහැ. මුලින්ම මට ඒ චරිතය විඳින්න ඕනෙ. සල්ලිවලට නිර්මාණයන් කරලා ඒකෙන් ප්‍රේක්ෂකයින්ට යමක් විඳින්න නැත්නම් ඒ ගන්න සල්ලිවලින් වැඩක් නැහැ. ඒ නිසා පසුගිය වසරේදී ආරාධනා ලැබුණු ටෙලිනාට්‍ය කිහිපයක්ම මට ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා.


කාලයක් පබෝදා ලංකාවේ. තවත් කාලයක් විදෙස්ගත වෙනවා. මේ යන්නේ කොහේද?


මගේ තාත්ති ඉන්නේ ප්‍රංශයේ. ඉතින් මම තාත්ති බලන්න ඒ රටට ගිහින් ටික දවසක් එයත් එක්ක ඉන්නවා. ගිය අවුරුද්දේ මාර්තු වාගේ තමයි මම ලංකාවට ආවේ.


පබෝදා... ජීවිතේ අද දැනෙන්නේ කොහොමද?


මම මේ ගෙවන ජීවිතයට සතුටුයි. මගේ ජීවිතය ඒකාකාරී නැහැ. හැමවෙලේම ජීවිතේ වෙනස් වෙනවා. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ජීවිතේ එක්ක මට පැමිණිල්ලක් නැහැ. මනුස්සයෙක් විදිහට ඉපදිලා, කලාකාරියක් විදිහට ජීවත් වෙලා ලබන්න පුළුවන් උපරිම ගෞරවය ආදරය ලැබිලා, හොඳ දෙමව්පියෝ ලැබිලා, හොඳ දරුවෙක් ලැබිලා මේ ගෙවන ජීවිතේ ගැන මට හරි සතුටුයි.


ලැබුවා වූ 2023 අවුරුද්දේ තිබෙන බලාපොරොත්තු මොනවාද?


හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මගේ පුතාට අවුරුදු නවයයි. ඒ නිසා එයාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. එයා ගොඩාක් හොඳ දරුවෙක්. ඉතින් ඒ බලාපොරොත්තු එක්ක 2023 අවුරුද්ද මම සතුටින් පිළිගත්තා.


දිශානි ජයමාලි





Previous Post Next Post