මුල්ම කාලේ සල්ලි ප්‍රශ්න හුඟාක් තිබුණා- සුපුන් පෙරේරා



සුපුන්.. කොහොමද ජීවිතේ? මේ අවුරුද්දෙ දැනටමත් විදෙස් සංචාර කිහිපයකටම ආරාධනා ලැබිලා කියලයි ආරංචිය?


ඔව්.. සංචාර කිහිපයකටම ආරාධනා ලැබුණා. පෙබරවාරි මාසෙ 25 වැනිදා මෙල්බන් නුවර සංගීත ප්‍රසංගයක් තියෙනවා. ඒකට රූකාන්ත අයියා, කාංචනා, වස්ති සහභාගි වෙනවා. 'ඉන්ෆිනිටි' සංගීත කණ්ඩායම තමයි සංගීතය සපයන්නෙ. ඊට අමතරව තවත් ප්‍රසංග කිහිපයකටම කැනඩාව, ඉතාලිය ඇතුළු රටවල් කිහිපයකින්ම ආරාධනා ලැබුණා. ඒ දේවල් ඉදිරියෙදි කතාබහ කරලා තීරණය කරන්න පුළුවන් වේවි. ජීවිතේ ගැන කිව්වොත් ජීවිතේ හොඳයි. මේ දිනවල සති අන්තයෙදි බොහෝ සංගීත ප්‍රසංගවලට සහභාගි වුණා. උත්සවවලට සහභාගි වුණා. දෙසැම්බර් මාසය වගේම ජනවාරි මාසයත් කාර්යබහුල මාසයක් වුණා.

'Journey' සුපුන්ගෙ සංගීත කණ්ඩායමයි. 'Journey' ට තියෙන ඉල්ලුම කොහොමද?


ගොඩක් සතුටුදායකයි. මේක කාලයක් තිස්සෙ මගේ හිතේ තිබුණු හීනයක්. මට වෙනස් විදිහේ සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න ඕනෙ වුණා. මම ඇතුළුව සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හත්දෙනෙක් ඉන්නවා. ගිය අවුරුද්දෙ ජූනි මාසෙදි විතර තමයි මේ සංගීත කණ්ඩායම පටන් ගත්තෙ. අපේ සංගීත කණ්ඩායමේ සංගීතය පිළිබඳව, වාද්‍ය භාණ්ඩ පිළිබඳව ලොකු දැනුමක් තියෙන දක්ෂයන් පිරිසක් ඉන්නවා. ඒ නිසා සංගීත කණ්ඩායම පිළිබඳව මට තියෙන්නෙ පුදුමාකාර සතුටක්. පසුගිය ජූනි මාසෙ පටන් ගත්ත සංගීත කණ්ඩායමට ඒ අවුරුද්දෙ අගෝස්තු මාසෙදිම ඔස්ට්‍රේලියා සංචාරයකට ආරාධනා ලැබුණා. ඒක තමයි අපිට ලැබුණු පළමු අවස්ථාව. ඒ ගමනෙදි අපි ඔස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත හතරක ප්‍රසංග හතරක් පැවැත්වුවා. ඒකට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ අවස්ථාව Journey වලට ඉතා හොඳ ආරම්භයක් වුණා. අදටත් සංගීත කණ්ඩායමට හොඳ ඉල්ලුමක් තියෙනවා. පසුගිය මාස දෙක තුන ඇතුළත සංගීත කණ්ඩායමට බොහෝ අවස්ථා ලැබුණා.


ඔබ මේ වෙද්දි තමන්ගෙම ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් ඔබ ගැයූ මුල්ම ගීතය මොකක්ද?


මගේ මුල්ම ගීතය 'රාධාවරී' ගීතයයි. ඇත්තටම ඒක ඒ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවෙ නැහැ. බොහෝ හොඳ ප්‍රතිචාර ලැබුණා.


අපිට සුපුන්ගෙ පවුලේ විස්තර ටිකක් කියන්න?

මගේ පදිංචිය ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ. බොහෝ සාමාන්‍ය පවුලක මම බාලයා. මට අයියලා දෙන්නෙක් සහ අක්කලා දෙන්නෙක් ඉන්නවා. අපි හරිම සරල පවුලක්. පවුලේ බාලයා විදිහට මට පුංචි කාලෙ ආදරය උපරිමයෙන්ම ලැබුණා. ගම හරි සුන්දරයි. ඒ ගමේ ගෙවුණු කාලය හරි සුන්දරයි. හරි අපූරු අත්දැකීම් මම ජීවිතයට එකතු කර ගත්තා. ගමේ පාසලෙන් ඉගෙන ගත්ත මම උසස් අධ්‍යාපනයට මිනුවන්ගොඩ ජනාධිපති විදුහලට ඇතුළත් වුණා. ළමා කාලෙ සුන්දර බව මම වැඩියෙන්ම අත්වින්ඳෙ ගමේ පාසල වුණු වීදියවත්ත සෙනරත් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ ගත කරපු කාලෙයි. පාසලේදි දඟ වැඩ කළා. යාළුවො එක්ක ඇති තරම් සෙල්ලම් කළා. හැබැයි ඒ මොන දඟ වැඩ කළත් මම අධ්‍යාපනයටත් මුල් තැනක් දුන්නා.

පාසලේදි ඔබ සංගීතය විෂයක් විදිහට හැදෑරුවද?

ඔව්.. සාමාන්‍ය පෙළ විභාගයට මම සංගීතය කළා. හැබැයි විෂයක් විදිහට මම සංගීතය වැඩිදුර හැදෑරුවෙ පේරාදෙණිය විශ්වවිද්‍යාල ජීවිතය තුළදීයි. උසස් පෙළ සමත්වෙලා මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ සංගීත විෂය හදාරන්න නම් නෙමෙයි. මම ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය සඳහා විශ්ව විද්‍යාලයට තේරුණා. විශ්වවිද්‍යාලයේ කළමනාකරණය හදාරන්න ගියාම මට සුරේන් දිසානායක ගුරුතුමා මුණගැහුණා. ඔහු හරි අපූරු ගුරුවරයෙක්. ඔහු යටතේ ඔහුගේ සංගීත ආයතනයෙන් මම සංගීතය විෂය හැදෑරුවා. ඒ වගේම ආනන්ද පෙරේරා ගුරුතුමා යටතේ සංගීතය හදාරන්නත් මට අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාල ජීවිතය හරි සුන්දරයි. ජීවිතේ බොහෝ දේවල් ඉගෙන ගත්තා. අත්දැකීම් ලැබුවා. ඒ වගේම ජීවිතේ බොහෝ දේවල් වෙනස් වුණා. මා තුළ වුණු ගායකයා බිහිවුණේ විශ්වවිද්‍යාල ජීවිතය තුළදීයි. විශ්වවිද්‍යාලයේ තිබුණු ප්‍රසංගවලදි ගායකයෙක් විදිහට මම ඉදිරිපත් වුණා.

ඔය අතරෙදි සුපුන් එක්තරා රියැලිටි තරගයකටත් ඉදිරිපත් වුණා නේද?

ඔව්.. ඒකටත් මාව යොමු කළේ මගේ විශ්වවිද්‍යාල ජීවිතේදි මුණගැහුණු යාළුවෙක්. ඒ තරගයට සහභාගි වුණාට පස්සෙ ගෙදරින්, මගේ යාළුවන්ගෙන් වගේම විශ්වවිද්‍යාල යාළුවන් ඇතුළු බොහෝ දෙනෙකුගෙන් හොඳ ප්‍රතිචා‍ර වගේම ආදරය, දිරිගැන්වීම ලැබුණා. ඔවුන්ගේ ඒ ආදරය වෙනුවෙන් ඔවුන්ට යම් දෙයක් දෙන්න ඕනෙ කියන හැඟීම මට තිබුණා. තරගයෙන් ඉවත් වුණාට පස්සෙ මාත් එක්ක හිටපු ඒ අය වෙනුවෙන් සංගීතය තුළින් යමක් කරන්න ඕනෙ කියලා මම හැම වෙලේම හිතුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නෙ විශ්වවිද්‍යාලයක් ඇතුළෙ තියෙන වෙනමම ලෝකයක්. මා තුළ හැංගිලා හිටපු කලාකරුවා බිහි කරන්න විශ්වවිද්‍යාල වටපිටාව ලොකු හේතුවක් වුණා.

වසර දෙකකට වැඩි කාලයක් කොවිඩ් නිසා පීඩා විඳපු ජනතාව අතරට සුපුන්ටත් එකතු වෙන්න සිදුවුණා. ඒ ඉතා දරුණු සිදුවීමක්. මොකද වුණේ.. මොනවද හිතුණෙ?

ඔව්.. ඒක නම් දරුණුම අත්දැකීමක්. සින්දු කිය කියා හිටපු මට කොවිඩ් නිසා කටහඬ අහිමි වුණා. 2021 අගෝස්තු මාසෙ දරුණු විදිහට මටත් කොවිඩ් හැදුණා. දවස් විසි එකක් රෝහලේ ඉඳලා මම ගෙදර ආවා. මම සින්දු කියන්න උත්සාහ කළා. හැබැයි මට සින්දු කියන්න බැරි වුණා. කතා කරද්දි වුණත් උගුර ගොඩක් රිදුණා. මම සති දෙකක් ඒ දුක විඳලා බැරිම තැන කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා. උගුරට දැමූ කැමරාවකින් මගේ උගුරේ තියෙන පේෂිවලට හානි සිදුවෙලා කියලා දැනගත්තා. මට හිතාගන්නවත් බැරි වුණා. වෛද්‍යවරු පුළුවන් තරම් විවේක ගන්න කියලා උපදෙස් දුන්නා. මාස තුනකට වැඩි කාලයක් ආසාවකට නාන කාමරේදිවත් සින්දුවක් කියන්න මට බැරි වුණා. ඇත්තටම ඒ සිදුවීම නිසා මට ඇඬුණා. හිත ගොඩක් කඩා වැටුණා. මම ගොඩක් අසරණ වුණා. දැන් නම් හොඳයි.

අද ගායකයෙක් විදිහට සුපුන් යම් ස්ථාවරයක ඉන්නවා. මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි ලොකු කට්ටක් කෑවා. ස්ථාවර වෙන්න ලොකු කට්ටක් කෑවා. මූණට මාව ප්‍රතික්ෂේප නොකළාට එහෙම ප්‍රතික්ෂේප වීම් මැදින් තමයි අද මම මේ තැනට ඇවිත් තියෙන්නෙ. "මාව ප්‍රතික්ෂේප කරනවා" කියලා මට දැනුණු තැන් තිබුණා. හැබැයි ඒ හැමදේම ඉවසාගෙන මම මේ ගමන ආවා.


විශ්ව විද්‍යාලයට ගිහින් හොඳ අධ්‍යාපනයක් ලබපු ඔබට මේ කලකිරීම්, ප්‍රතික්ෂේප වීම් එක්ක මේ දේවල් අතහරින්න හිතුණෙ නැද්ද?

නැහැ.. මම සංගීතයට සම්බන්ධ වුණේ අනිත් හැමදේම අතහැරලයි. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන උපාධිය හදාරලා පෞද්ගලික ආයතන කිහිපයකම අවුරුදු තුන හතරක් රුකියා කළා. හැබැයි ඒ හැමදේටම වඩා 'මම' ඉන්නෙ සංගීතය තුළ කියලා හිතපු නිසයි මම ඒ හැමදේම අතහැරලා සංගීතයට එකතු වුණේ. ඒ ගත්ත තීරණය මොන බාධා ආවත් වෙනස් කරන්න හැදුවෙ නැහැ. මුල් කාලෙදි ආර්ථික වශයෙන් ගොඩක් අමාරුකම් තිබුණා. ස්ථිර රැකියාවක් කරන කෙනෙක් වගේ ස්ථාවරයක් තිබුණෙ නැහැ. හැබැයි ඒ හැම බාධාවක්ම දුකක්ම මම ඉවසාගෙන හිටියා. අද මටම කියලා වාහනයක් තිබුණට මුල් කාලෙදි මම ප්‍රසංගවලට ගියේ යාළුවන්ගෙ වාහනවලින්. සමහර දවස්වලට හයර් එකට වාහනයක් අරගෙන ගියා. පසුකාලීනව සංගීත කටයුතුවලින් උපයා ගත්ත මුදලින් මගේම වාහනයක් ගත්ත දවසෙ මම ගොඩක් සතුටු වුණා. අද ජීවිතේ ගැන සතුටුයි. මගේ සංගීත කණ්ඩායමත් එක්ක ලොකු ගමනක් යන්න ආසයි.

දිශානි ජයමාලි




Previous Post Next Post