එදා තාත්තට වෙච්ච පොරොන්දුව රැකගෙන අදටත් මම රඟපානවා -මොරින් චාරුනී




රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයට පය තිබ්බෙ කොහොමද කියල කවුරුම හරි මගෙන් අහනවනම් ඒ යටගියාව පටන් ගත්ත තැනට ගිහින් අතීතය මෙනෙහි කරමින් ඒවට උත්තර දෙන්න මම ගොඩක් කැමතියි. මොකද ඒ අතීතයට යනව කියන්නෙ මගේ හිත සතුටින් පිරෙනවා කියන එක. ඇත්තම කිව්වොත් මේ වෙලාවෙ රූගත කිරීම් අතරතුර පුංචි විවේකයකින් පසු වුණත් හිත පොඩ්ඩක් කලබලයි. ඒ නැවත මම දර්ශන තලයට යන්න සූදානම් විය යුතු නිසා. 


● මගේ බාල කාලෙ


කලා ක්‍ෂේත්‍රය තුළ මගේ උපන්ගම විදියට ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ කටුනේරිය වුණත් මම උපන්නෙ කුරුණෑගල ඇඹලවත්තෙ වදාකඩ. පාසල් ජීවිතේ ආරම්භ කරන්න තමයි තාත්තගෙ ගම වූ කටුනේරියේ පදිංචියට එන්නෙ. එහෙම ආපු මම සාමාන්‍ය පෙළ දක්වා කටුනේරිය බාලිකාවෙන් ඉගෙන ගෙන වෙන්නප්පුව බාලිකාවට ඇතුළත් වෙලා උසස් පෙළින් අධ්‍යාපන කටයුතු හමාර කරනවා.


ඒ කාලෙ හැටියට මම උසස් අධ්‍යාපන කටයුතු විදියට තෝරාගත්තෙ ලක්නව් සංගීත උපාධිය හදාරන්න. උපාධියෙන් පස්සෙ ගුරු පත්වීමක් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒත් ගුරුවරියක් ලෙස කටයුතු කරන්න ලැබුණෙ සති දෙකක් තරම් ඉතාමත් කෙටි කාලයක්. මොකද පෙර පිනකට ඒ කාලෙදිම මට අහම්බෙන් කලාවට එකතු වෙන්න අවස්ථාව උදා වුණා.


ඒක වෙන්නෙ මෙහෙමයි. මගේ හොඳම යාළුවෙක් හිටිය දීප්ති කියල. එයාට ඉන්ටර්විව් එකක් තිබුණා ෆිල්ම් එකකට සම්බන්ධ වෙන්න. එයාගෙ තනියට තමයි මම ගියේ. අපේ තනියට මගේ පොඩි මාමා පියල් කුමාරතුංගත් ආවා. ඔහු හරිම කැමතියි කලා කටයුතුවලට.



● රංගන ක්‍ෂේත්‍රයට


එදා ඒ විදියට තිර පරීක්ෂණ තිබුණෙ ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ මහත්මයගෙ පළමුවෙනි අධ්‍යක්ෂණය වූ කරදිය වළල්ල චිත්‍රපටය සඳහා. එහි උප ප්‍රධාන චරිතය වූ අයිරා ලෙස මාව තෝරා ගත්තෙත් සිරිල් අංකල්ම තමයි. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 22 ක් විතර කියල තමයි මගේ මතකයට එන්නෙ. ඩොනල්ඩ් කරුණාරත්න අයියා තමයි ස්ක්‍රීන් ටෙස්ට් එක කළේ. ඔහු අද ජීවතුන් අතර නැතත් මම ආදරෙන් මතක් කරනව.


කරදිය වළල්ලෙන් පස්සෙ අසිපත මමයි, චණ්ඩින්ගෙත් චණ්ඩියා, සක්කර සූත්තර, ත්‍රිශූලය ආදී චිත්‍රපටවලට දායක වෙමින් ටිකෙන් ටික රංගන ක්‍ෂේත්‍රය ග්‍රහණය කර ගත්තා. ඒ දේවල් දැකලා අම්ම ගොඩක් සතුටු වුණා. ඇය කලාවට බොහොම කැමති කෙනෙක් නිසාම මේ දේවල්වලට මාව තව තවත් උනන්දු කරමින් ලොකු ශක්තියක් වුණා.


● තාත්තාගේ අකමැත්ත


ඒත් තාත්තගෙ නම් පොඩිම කැමැත්තක්වත් තිබුණෙ නෑ. හැම වෙලාවෙම කිව්වෙ අපරාදෙ ගුරු පත්වීමක් අතඇරලා රංගනය තෝරගන්නෙ. පැන්ෂන් එකක් තියෙන ගෑනු ළමයෙකුට ගැලපෙනම රස්සාවක් ඒත් රඟපාන්න යනවා කියන්නෙ ඒ දේවල් නැති වෙන එක අනික ගෑනු ළමයින්ට සුදුසු තැනක් නෙමෙයි කියල. ඒත් අන්තිමේ අම්මගෙ කැමැත්තට ඉඩ දීලා මට කිව්වා ඕවට ගිහිල්ල නම එහෙම කැත කරගෙන ගමට නම් එන්න එපා කියල. අන්තිමේ මම ඒ විදියට ඉන්නවා කියලා තාත්තට පොරොන්දු වෙලා චිත්‍රපටයේ රූගත කිරීම්වලට මඩොල්කැලේ ගියා.


එදා ඉඳලා අවුරුදු දොළහක් යනකම් හෙවනැල්ල වගේ මම ෂූටින් යන හැම තැනකටම මගේ අම්මත් ආවා. ඔය අතරෙ මගේ විවාහය සිද්ධ වුණා. සැමියා නමින් ගිහාන් ඉඹුලාන. එකම දුව ජනනි ඉපදුනාට පස්සෙ මම අවුරුදු තුන හතරක් කලාවෙන් අයින් වෙලා දුවගෙ වැඩ කරගෙන හිටියා. කිසිම අලුත් වැඩක් භාර ගත්තෙ නෑ. සම්බන්ධ වෙලා හිටපු නිර්මාණවල ඉතුරු වෙලා තිබුණ වැඩ අම්මත් එක්ක දුවව අරගෙන ගිහින් අවසන් කළා.




● සුවිශේෂ චරිත නිරූපනයක


චිත්‍රපට පහ හයක රඟපෑවට පස්සෙ බර්ට්‍රම් නිහාල් මහත්මයාගෙ සාමයේ තරුව ටෙලිනාට්‍යයේ මරියතුමියගේ චරිතය රඟපාන්න අවස්ථාව උදා වුණා. පළමු ටෙලිනාට්‍යය හරහා එවැනි චරිතයක් හිමි වීම ගැන හැමෝටම වඩා සතුටු වුණේ මගේ තාත්තා. ඒ ඔහු උපතින් කතෝලික ආගමේ නිසා. ඒ වගේම තාත්තගෙ පවුල්වල ගොඩ දෙනෙක් ඒ ගැන සතුටු වුණා වගේම මා ගැන ආඩම්බරෙන් කතා කළා.  නත්තල් දවසක රෑ පෙන්නපු ඒ නාට්‍යය බොහෝ දෙනෙක් නරඹල හොඳ කිව්වා. ඊළඟ අවුරුද්දෙ පාස්කු නාට්‍යයෙත් මට ජේසු ස්වාමි දරුවන්ගේ මව ලෙස රඟපාන්න ලැබීම සුවිශේෂී අවස්ථාවක්.


● ආගම් දෙකක් මැද


තාත්තා කතෝලික වීමත් අම්මා බෞද්ධ වීමත් නිසා සීයට පනහ පනහ මම ඔය ආගම් දෙකම අදහමින් ඒ තුළ දෝලනය වෙමින් තමයි එදා සිට මේ දක්වා ජීවත් වෙන්නෙ. දුව ටිකක් උස් මහත් වුණාට පස්සෙ මම සති පූජා ටෙලිනාට්‍යය සහ අංජලිකා සිනමා පටය හරහා නැවත රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙනවා. කොච්චර නිර්මාණ අතරෙ හිටියත් මගේ අතින් තමයි දුවගෙ වැඩ කටයුතු හැම එකක්ම සිද්ධ වුණේ. මම නැතිම වෙලාවල්වල අම්මත් නංගිලා දෙන්නත් දුව ගැන සොයා බලමින් ඒ කටයුතු සිදු කළා.


මොන තරම් වැඩ තිබුණත් දුව ග්‍රේඩ් වන්වල ඉඳලා උසස් පෙළට එනකම් එයාගෙ හැම ටර්ම් ටෙස්ට් එකකටම මම අනිවාර්යයෙන් නිවාඩු ලබා ගෙන එයාව දිර්මත් කරමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ගොඩක් උදව් කළා. ඔය සිදුවීම් නිසා ක්‍ෂේත්‍රයේ අය ඒ දවස්වල මට විහිළු කරනවා අන්න අන්න මොරින් ටර්ම් ටෙස්ට්වලට නිවාඩු ගන්නව කියල. කියන්න සතුටුයි අද මගේ දුව විදේශ රටක පී.එච්.ඩී එක කරන ගමන් ඉන්නෙ.


● ගෙදරට මුල්තැන


ඔය හැමදේකටම මගේ අම්මා නංගිලා දෙන්නා මල්ලි වගේම සැමියා ගිහාන් ලබාදුන්නෙ විශාල සහයෝගයක්. ගෙදර ඉන්න වෙලාවට උයන්න පිහන්න රෙදි සෝදන්න ගේ දොර අතුපතු ගාන එක වගේ හැම කටයුත්තක්ම සිද්ධ වුණේ මගේ අතින්. ඒ විතරක් නෙමෙයි පුංචි කාලෙ ඉඳලම මම වගා කරන්නත් දක්ෂයි. ගෙදරට එදිනෙදා අවශ්‍ය එළවළු පලතුරු වගේ බොහෝ දේ වගා කළා.


අලංකාරයට කියලා විසිතුරු පැළ වර්ග නම් හිටෙව්වෙම නෑ. බුදු හාමුදුරුවන්ට පූජා කරන්න සුදුමල් ගහක් දෙකක් වගේම පල්ලියේ වාස්වලට දාන්න ඇන්තුරියම් මල් ගස් කීපයක් වවල තිබුණා.


● ආගම ගැඹුරින්


කාර්යබහුල වීමට අකමැති නිසා සමහර නිර්මාණ අතහරින්න සිද්ධ වුණා. අද ඒව මතක් වෙනකොට පෘතග්ජන පුද්ගලයෝ හැටියට හිතේ කොනක පුංචි දුකක් මතු වෙනව. ඒත් ඒ දුක හිත පුරා පැතිරි නොයන විදියට සමනය කරගන්න මට පුළුවන්. මොකද මම බුද්ධ ධර්මය වගේම ක්‍රිස්තු ධර්මයත් ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරපු නිසා මගේ ලැබීම එපමණයි කියල හිත හදාගන්න මට හැකියාව තියෙනවා.


බොහෝ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි දුවව කලාවට එවන්නෙ නැත්තෙ ඇයි කියන එක. ඇත්තම කිව්වොත් එයා පුංචි කාලෙ කලාවට එනවට මම කැමති වුණේ නෑ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙයි කියලා. පස්සෙන් පහු මම එයා රංගනයට එනව දකින්න කැමති වුණාට එයාට ඒවට එන්න විවේකයක් තිබුණෙ නෑ.


● ප්‍රියතම විලාසිතා


ගෑනු ළමයෙක් විදියට එදා කාලෙත් මම විලාසිතාවලට ලොකු තැනක් දීපු කෙනෙක් නෙමෙයි. වැඩිපුර කැමති ඔසරිය අඳින්න. ඊට අමතරව සාරිය, ගවුම, සාය හැට්ටෙ, දිග කලිසම වගේ හැම ඇඳුමම අඳිනවා. ඒ මොන ඇඳුම ඇන්දත් විලි වැහෙන්නනෙ අපි අඳින්න ඕන කියන තැන ඉඳගෙන සමාජය අවුල් කරන්නෙ නැතුව අඳින එක තමයි මගේ ප්‍රියතම විලාසිතාව.


● අද දවස


දුව පිටරට ඉගෙන ගන්නවා. මහත්තයා පිටරට හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියාවක නිරත වෙනවා. මම කටුනේරියේ මගේ අම්මත් එක්ක ජීවත් වෙන අතරතුර රංගන කටයුතුවලට දායක වෙමින් කල්ගත කරනව. මගේ නංගිලා දෙන්නත් මල්ලිත් වගේම බොහෝ ඥාති හිතමිත්‍රාදීන් මේ අවට ඉන්න නිසා ඔවුන්ගේ සොයා බැලීම් ආරක්ෂාව අපට නිරතුරුවම හිමිවෙනවා. ඒ හැම කෙනෙක් එක්කම මම සතුටින් සහයෝගයෙන් ජීවත් වෙනව. මම හැමදාම ඉස්සරහට ආවෙ මැද මාවතේ. ඒ ගමන එන්න මගේ ගෙදර හැමෝමත් සැමියා ගිහාන්, ඥාතීන්, යාළු හිත මිත්‍රාදීන් දීපු සහයෝගය අමතක කරන්න බැහැ. ඒ හැමෝම මට නොවැටී උඩට නගින්න ඉනිමග අල්ලපු අය. ඔවුන්ගේ සහයෝගය නැත්නම් මම අද මෙතැන නැහැ.


අද දවසේ මම ගෙදරින් එළියට ගිය ගමන් විශාල පිරිසකගේ ආදරයට ප්‍රතිචාරයට ලක්වෙන තැනට පත්වෙලා ඉන්නව. ඇත්තටම ඒ ආදරය ගෞරවය මම දකින්නෙ පෙර පිනට වාසනාවට හිමිවුණ සම්මාන විදියට. මොකද විශාල පිරිසකගේ ආදරයට ලක්වෙනව කියන්නෙ අමාරු දෙයක්. ඒ තුළ මට ආදරය කරන හැමෝටම මමත් ආදරෙයි.


● හීන නැති අනාගතයක්


අනාගත බලාපොරොත්තු විදියට මම මගේ එකම දුව ගැනවත් ලොකු ලොකු දේවල් තියාගෙන නැහැ. එයා ඉපදුනේ එයාට උවමනා නිසා නෙමෙයි. මගෙත් මහත්තයාගෙත් තිබුණ විශේෂ කැමැත්තකට අනුව තමයි ඇය මේ ලෝකෙට කැඳෙව්වෙ. ඒ විදියට ඉපදුන දරුවට නිසි අධ්‍යාපනය ලබා දීලා සාරධර්ම සිරිත් විරිත් උගන්වලා එයාගෙ ජීවිතේ එයාගෙ කියන තැනට ගෙනත් දීලා ඉවරයි. මේ වෙද්දි එයා ජීවිතේ හොඳ නරක තේරුම් අරගෙන තමන්ගෙ ජීවිතේ නිසි මගට ගෙනියන්න දැනුම් තේරුම් තියන කෙනෙක් නිසා මටත් මහත්තයටත් තියෙන්නෙ එයාට සුදුසු කෙනා තෝරාගත්තට පස්සෙ ඒ දේවල් පිළිවෙලක් කරල දෙන එක තමයි.


ඔය අතරෙ එකම එක පොදු බලාපොරොත්තුවක් නම් තියෙනව. ඒ අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න ඉදිරි පරපුරට නිදහසේ ගුණවන්ත ඥානවන්ත පිරිසක් විදියට ඉදිරියට යන්න තියෙන බාධක මඟහැරිලා ඔවුන්ගෙ අනාගතය වගේම රටේ අනාගතයත් ලස්සන වෙන්න ඕන කියන එක.


ධම්මික හේවාවසම්




Previous Post Next Post