සංගීත්ගෙයි මගෙයි ආදරය හංගන්න වුවමනාවක් නැහැ - දිනිති වල්ගමගේ

 


මේ දිනවල බොහෝ දෙනාගේ ඇස් යොමුවෙලා තියෙන්නේ දිනිති දිහාටයි. ඒකට හේතුව දිනිති වල්ගමගේ රංගන ශිල්පී සංගීත් සතරසිංහ හා ප්‍රේමයෙන් බැඳී සිටීම කියලයි කනින් කොනින් අහන්න ලැබුණේ. ඒ අතරේ කකුලේ ආබාධයකින් පෙළෙන බවත් අපට දැනගන්න ලැබුණා. ඒ නිසාම දිනිතිගේ ප්‍රේමය, විවාහය වගේම ඇගේ සුවදුක් දැන ගන්නත් අපි ඇයට කතා කළා…


දිනිති මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල කිසිම වැඩක් කරන්නෙ නැහැ. ඒකට හේතුව මගේ කකුලේ ආබාධය. වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව මම දැන් විවේක ගන්නවා. තව සති දෙකකින් විතර කකුලේ ආබාධය හොඳ අතරට හැරෙයි කියලා වෛද්‍යවරු පවසනවා. එතෙක් ප්‍රතිකාර සහ විවේකය ලබමින් කාලය ගෙවනවා. ඇත්තටම භාරගත්ත චිත්‍රපටයක සහ ටෙලි නාට්‍ය දෙකක වැඩ නතර වෙලා තියෙන්නේ මගේ මේ අසනීපය නිසා.


දිනිතිට කකුලේ ආබාධය ඇතිවුණේ කොහොමද?

බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්න ගිහින් තමා කකුලේ ආබාධය ඇතිවුණේ. මම හිතුවේ පොඩි තුවාලයක් කියලා. ඒත් MRI පරීක්ෂණයෙන් පසුව දැනගත්තේ කකුලේ ටිෂූ ඉරිලා කියලා. යන්තම් ඇවිදගන්න පුළුවන් වුණත් වැඩ කරගන්න නම් ගොඩක් අමාරුයි.




ඔබ මූලිකත්වය දීලා තියෙන්නෙ රැකියාවටද රංගනයටද?

මම මූලිකත්වය දීලා තියෙන්නේ මගේ රැකියාවට. මම මගේ රැකියාවට හරිම ආදරෙයි.


එතකොට රංගනයට හිමිවෙන්නේ අඩු සැලකිල්ලක්ද?

රංගනය කියන දේ මට පුංචි කාලෙ ඉඳන් අමුතු දෙයක් වුණේ නැහැ. මගේ තාත්තා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරු උපදේශකවරයෙක්. පාසල් කාලයේ ඉඳන්ම මට රංගනයට අවස්ථා හිමිවෙලා තියෙනවා. රංගනය වෘත්තිය විදිහට තෝරගන්න මට ඕන තරම් අවස්ථාවත් තිබුණා. ඒත් මට ඕන වුණේ වෙනත් පැත්තකින් ඉදිරියට යන්නයි. ඒ නිසා විද්‍යා අංශයෙන් මම උපාධියත් සම්පූර්ණ කළා.


ගුවන් සේවිකාවක් වීමද දිනිතිගේ එකම හීනය වුණේ?

නැහැ. මට ඕන වුණේ රට රටවල්වල ඇවිදින්න සහ ඒ රටවල් නරඹන්න. ඒ සඳහා සුදුසුම රැකියාව තමයි මම තෝරගත්තේ.


මේ වෙද්දි රටවල් කීයකට ගිහින් තියෙනවාද?

දැනට රටවල් 50 කට විතර ගිහින් තියෙනවා.


ඔබේ දෙමාපියන් ඔබ ගැන සතුටු වෙනවද?

අම්මටයි තාත්තටයි ඕන වුණේ මම කථිකාචාර්යවරියක් වෙනවා දකින්නයි. නමුත් කිසිම දවසක ඔවුන් මට බල කළේ නැහැ. අපේ තාත්තා කිව්වෙ තමන්ගේ ජීවිතේ තමන්ට සතුටු විය හැකි දේවල් කරන්න, එතැන තමයි ජීවිතයේ සතුට තියෙන්නෙ කියලා.


දිනිති දැන් විවාහයටත් සූදානම් නේද?

ඔව්. දැන් ඉතින් මගේ විවාහ වෙන වයසත් හරි.


සංගීත් සතරසිංහ සමග තිබෙන ඔබේ ප්‍රේම සම්බන්ධය ලෝකයට රහසක් කරගෙන හිටියා නේද?

අපිට අපේ ආදරේ ගැන සඟවන්න වුවමනාවක් තිබුණේ නැහැ. අපි මුලින්ම හොඳ යාළුවෝ වුණා. යාළුවො විදිහට අපි දෙන්නා සහ අපේ අනිත් යාළුවෝ හැම තැනකටම ගියේ එකට. නිතර අපේ ජීවිතවල දුක සතුට බෙදාගත්තා. කාලයක් මේ යාළුකම පවතිද්දී සංගීත් සහ මම තේරුම් ගත්තා අපි අපිට ගැළපෙනවා කියලා. එතැන පටන් අපි ආදරවන්තයන් වුණා.

ඇත්තටම අපේ හඳුනා ගැනීම ප්‍රේම සම්බන්ධයක් පවත්වන්න හිතාගෙන පටන්ගත්තා නම් අපිට, අපි ගැන මේ තරම් තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි යාළුවෝ වගේ ඉද්දි අපි අපේ දුර්වලතා වගේම හොඳ දේවලුත් හඳුනා ගත්තා. අද අපි දෙන්නා ඉන්නේ හොඳ අවබෝධයකින්.


දිනිතිගේ විවාහ උත්සවයත් උත්කර්ෂවත් අන්දමින්ම පවත්වනවාද?

ඒක චාම් විදිහට කරන්න තමයි අපි දෙන්නම අදහස් කරගෙන ඉන්නේ. මම කොහෙත්ම ලොකු උත්සවවලට කැමති නැහැ. මම හිතන්නෙ ඒ දේවල් සඳහා කරන වියදම් අපරාදෙ කියලයි. ඒ සල්ලිවලින් ජීවත් වෙන්න අපහසු කී දෙනෙක්ට උදව් කරනන් පුළුවන්ද? මගේ උපන්දින සාදය මම සැලසුම් කළ දෙයක් නෙවෙයි. සංගීත් මං වෙනුවෙන් කරපු දෙයක්. ඔහු මං වෙනුවෙන් කළ දේ මම සතුටින් භාරගත්තා.


අනිත් අය වෙනුවෙන් උදව් කරන්නත් දිනිතිට සංගීත්ගේ සහයෝගයත් ලැබුණා අපි දැක්කා…

මම හරි ආසයි හැම කෙනෙක්ම සතුටින් ඉන්නවා දකින්න. මම මට පුළුවන් හැම වෙලාවකම උදව් අවශ්‍ය අයට උදව් කරනවා. අපි කෙනෙක්ට දෙයක් දුන්නොත් තමයි අපිටත් සතුට ලැබෙන්නේ. ඇත්තටම මම දානයක් දෙනවා කියල හිතද්දි මට ඒ දේ හොඳට කරගන්න මුදල් වැඩියෙන් ලැබෙනවා. සංගීත් සහ මම අතර බැඳීම වැඩිවෙන්නත් අනික් අයට උදව් කිරීමේ ගුණාංගය බලපෑවා.


ඔය දෙන්නගේ ආදරයට දෙමාපිය ආශිර්වාදයත් ලැබුණලු නේද?

අම්මයි, තාත්තයි කියන්නේ දරුවෙකුට ළඟම ඉන්න දෙන්නා. ඉතින් දෙමාපියන්ගේ කැමැත්තක් නැතිව මම ජීවිතේ කිසිම දෙයක් කරන්නේ නැහැ.


ජීවිතයේ සතුට දැන් දිනිති ළඟ නතර වෙලා නේද?

මම පුංචි දෙයකින් වුණත් සතුටු වෙන කෙනෙක්. මට ලැබිලා තියෙන දෙයින් සතුටු වෙන්න මට පුළුවන්. අද සමාජයේ ගොඩක් දෙනා තමන්ට ලැබිලා තියෙන දෙයින් සතුටු නොවී වෙන ගමනක් යන්නයි හදන්නේ. ඒත් මට ලැබෙන පුංචි දෙයින් සතුටු වෙන්න පුළුවන්.


ධම්මිකා සුරංජි පතිරණ






Previous Post Next Post