පෙනුම වැදගත් ඒත් ඒ රංගනය නෙවෙයි - දුලංජ දිල්ශාන්




ඔහු නමින් දුලංජ දිල්ශාන්. දුලංජ කලාවට අත්පොත් තබන්නේ වේදිකාවෙන්. මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන නාඩගම්කාරයෝහි ප්‍රාදේශීය මන්ත්‍රීවරයකුගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඔහු ඔහු කලා කටයුතු ගැන විස්තර මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


 මේ දිනවල දිගටම රූගත කිරීම් නේද? 


ඔව්. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ වගේම ස්වර්ණවාහිනියේම විකාශය වන වන්ස් අපෝන් ටයිම් ඉන් කලම්බෝ ටෙලිනාට්‍යයේත් රූගතකිරීම් කරනවා.


 රඟපාන්න කැමැත්තක් ඇතිවෙන්නේ?


පාසල් කාලේ ඉඳලම මම රඟපාන්න ආසයි.රංගනයට මාව යොමු කරන්නේ පාසලේ නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ ගුරුතුමිය. ඇගේ මඟ පෙන්වීම මත මම ටවර් හෝල් නාට්‍ය පාසලට ඇතුළත් වෙලා එහි උපාධිය කරනවා. ඒ අතරතුර වේදිකා නාට්‍යවල රඟපෑවා. ඔය කාලෙදිම මම ස්ක්‍රීන් ඇක්ටින් ඉගෙනගන්න සද්ධා සර්ගේ (සද්ධා මංගල සූරියබණ්ඩාර) ඇකැඩමියට ගියා. එහිදී මට හාරකෝටිය ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම තමයි පටන්ගත්තේ මේ ගමන.



දුලංජනගේ ගම කොහෙද? ඉගෙන ගත්තේ කොහෙද වගේ දේ දැනගන්න ඔබේ ප්‍රේක්ෂකයෝ කැමැතිවෙයි?


මගේ ගම පන්නල. මූලික අධ්‍යාපනය ලැබුවේ බෝපිටිය මහා විදුහලෙන්. පසුව මම හෙන්ඩියගල රතනපාල මහා විදුහලට ගියා.


 කලාව වෘත්තීයද?


නැහැ. මම වෘත්තීයෙන් ගුරුවරයෙක්. පුත්තලම ආඬිගම මහා විද්‍යාලයේ මම සේවය කරන්නේ. කලාව වෘත්තීය කරගන්න කැමැති වුණත් පවතින වාතාවරණය එක්ක එහෙම කරලා යැපෙන්න අමාරුයි නවකයෙක්ට. ඒ නිසාම රැකියාව කරන අතරතුර රඟපානවා.


 

දුලංජට මන්ත්‍රී කෙනෙක් වෙන්න ලැබෙන්නේ කොහොමද?


(සිනාසෙමින්) මම ඒ වන විටත් අග්නි පියාපත් නාට්‍යයේ රඟපාමින් සිටියේ. එය අධ්‍යක්ෂණය කළෙත් නාඩගම්කාරයෝ අධ්‍යක්ෂ ශිවගුරුනාදන් මහත්මයාමයි. නාඩගම්කාරයෝ නාට්‍යයේ මන්ත්‍රීගේ චරිතයට ආරාධනා කරන්නෙත් ඔහුමයි. ඒ වන විටත් නාඩගම්කාරයෝ ප්‍රේක්ෂකයා ඉතාම ආදරයෙන් වැලඳගෙන තිබුණා. ඒ නිසාම එහි චරිතයක් මට ලැබීම ගැන ඉතාම සතුටු වුණා.


 

මේ චරිතය ගොඩනඟන්න මොනවද දුලංජනට අලුතින් එකතු කරන්න වුණේ?


මේ චරිතය මට ලැබෙන විටම මගේ ඔළුවට ආවේ මන්ත්‍රී කෙනෙක් වුණාම කොහොමද බොරුව මේන්ටේන් කරන්නේ කියලා. බොරු පිළිවෙළක් තිබීම. බොරුව මවාපෑම වගේ කාරණා. අධ්‍යක්ෂ ශිවා සර්ත් (ජයප්‍රකාෂ් ශිවගුරුනාදන්) බොහෝ දේ මේ චරිතයට එකතු කළා. ඔහුගේ අනුදැනුම එක්කයි මේ චරිතය ඔබ දකින ආකාරයෙන් ගොඩනඟන්න හැකි වුණේ.


 

කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඉතාම හොඳයි ප්‍රතිචාර. මේ දවස්වල අහන්නෙම නිධානේ ගත්තද කියලා. කීයක් හරි දෙනවද අහනවා. (සිනාසෙයි) මේ නාට්‍යයේ විශේෂත්වය එයයි. මෙහි එන සෑම චරිතයක්ම ප්‍රේක්ෂකයාට මතක හිටින චරිත.


 

වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබෙන්න ඇති?


ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගේ සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යයට ආරාධනා කළා. එහි චරිතයක් නිරූපණය කළා. ඉදිරියේදී එය දකින්න හැකි වේවි. චිත්‍රපටයේත් පොඩි චරිතයක් කළා.


 

වේදිකාවෙන් ලැබුණු පන්නරය රංගනයට කොහොමද බලපෑවේ?


වේදිකාවේ වගේ කැමරාව ඉදිරියේ රඟපාන්න බැහැ. එය දෙවිදිහක්. නමුත් කැමරාව ඉස්සරහා බය නැතුව රඟපාන්න ආත්මශක්තියක් වේදිකාවෙන් ලැබෙනවා. චකිතයකින් තොරව චරිතය නිරූපණය කරන්න වේදිකාවෙන් හොඳ පන්නරයක් ලැබෙනවා.


 

මන්ත්‍රීතුමා වෙන්නෙම අකරතැබ්බ නිසා අමතක නොවන සිදුවීම් ගොන්නක් ඇති?


නාට්‍යයට මට ආරාධනා කරලා රූගත කිරීම් පටන් ගන්න දවස් දෙකකට කලින් මම ඇක්සිඩන්ට් වුණා. මගේ අත් කකුල් ඔක්කොම බැන්ඩේජ් කරලා තිබුණේ. මම සද්දා සර්ට මේ ගැන කිව්වම ඔහු කිව්වා එක්කෝ නාට්‍යයෙන් අයින් වෙන්න.නැත්නම් ඔය ඉන්න විදිහට රඟපාන්න චරිතය වෙනස් කරගමු කියලා. චරිතය ආරම්භයේදීම මෝටර්සයිකලයෙන් වැටිලා බැන්ඩේජ් වෙලන් ඉන්න හේතුව ඒක.


තවත් දවසක මාලන් එක්ක රඟපාන අවස්ථාවක ඔහුගේ කාර් එකේ නැඟලා යන්න තිබුණා. ඔහුගේ චරිතේ හැටියට ඔහු ඉතාම වේගයෙන් ඒ කාර් එක පදින්නේ. ඒත් මම බයයි හයියෙන් යනවට. බයටම මට කෑ ගැස්සුණා. (සිනාසෙයි)


 

නළුවෙක්ට පෙනුම කොයිතරම් බලපානවද?


මම විශ්වාස කරන්නේ නෑ පුයර දාගෙන සුදු පාටට ඇඟ පුම්බගෙන ම නළුවො ඉන්න ඕන කියලා. එහෙම අයත් ඉන්න ඕන. සමහර නළුවො ඉන්නවා එයාලගේ පෙනුමට වඩා මතක තියෙන්නේ එයාලා රඟපාන චරිත. පෙනුම වැදගත් වුණාට පෙනුමම නෙවෙයි රංගනය කියන්නේ.


 

දුලංජනට ඇත්තටම මන්ත්‍රී කෙනෙක් වෙන්න හිතිලා නැද්ද?


අපෝ නෑ. මම ආස ම නැති දෙයක් දේශපාලනය.


 

පවුලේ විස්තර?


මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තායි අයියයි මමයි. මට පෙම්වතියක් ඉන්නවා. නුදුරේදිම විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. රටේ ප්‍රශ්න තමයි ගැටලුව (සිනාසෙයි)


 

තිළිණි රාජපතිරණ





Previous Post Next Post