මම දැන් සිංගල් නෙමෙයි - නර්මදා යාපා



නර්මදා යාපා වගේම කවිංග පෙරේරා කියන මේ දෙන්නම නිවේදකයන් විදිහට ජනප්‍රියයි. නර්මදා නිවේදනයට විතරක් නෙමෙයි රූප සුන්දරියක් විදිහටත් නියෝජනය කළා. කාවිංග පෙරේරාගේ රංගන හැකියාවත් නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙනවා. ඒ නිසාම බොහෝ දෙනෙකුගේ ආදරය ලබන්න මේ දෙන්නම වාසනාවන්ත වෙලා. නිවේදනයෙන් එකට දැක ගන්න ලැබෙන කාවිංග හා නර්මදා ඔවුන්ගෙ තොරතුරු ගැන මේ විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


වසරකට වැඩි කාලයක් තිස්සේ ඔබ දෙදෙනා එකට එක වැඩසටහනක් නිවේදනය කරනවා...?


නර්මදා : මම හිරු නාළිකාවේ උදෑසන වැඩසටහනක් කරමින් ඉන්නකොට තමයි හිරු කොපි චැට් වැඩසටහනට ආරාධනා කළේ. ඒ වෙනකොටත් කාවිංග වැඩසටහන කරමින් හිටියේ. එයාට උදව්වක් විදිහටත් වැඩසටහන වර්ණවත් කරන්නත් තමයි මාව මේ වැඩසටහනේ කොටස්කරුවෙක් කර ගත්තේ. කලිනුත් අපි එකට වැඩ කරලා තියෙනවා. ඒ සම්බන්ධතාව නිසා වෙන්න ඇති අපි දෙන්නව කොපි චැට් වර්ණවත් කරන්න ගන්න ඇත්තේ.


කාවිංග : මමත් මේ වැඩසටහන නිවේදනය කරන්න පටන් අරගෙන වසරකට වැඩියි. හරිම සතුටුයි මේ වගේ වැඩසටහනක් කරන්න ලැබීම. මොකද මේ වැඩසටහනට ඇරයුම් ලබන ආරාධිතයන් අපේම හිතවත් කලාවරුවන් හා යාළුවන්. ඒ නිසා හුදෙක් ඕපදූප වැඩසටහනක් කරගන්නෙ නැතුව වැඩේ අර්ථවත් විදිහටත් කරන්න අපි දෙන්නා උත්සාහ ගන්නවා.


ඕනෑම දෙයක් තනිවම කරද්දී තිබෙන අවදානමට වඩා තව කෙනෙක් එක්ක හවුලේ කරන දෙයක අවදානම හා වගකීම වැඩියි, ඒ අවබෝධය දෙන්නා තුළ තියෙනවද?


නර්මදා : තනියම කරද්දී තමන්ම අවදානම හා වගකීම ගන්න ඕන. ඒක පහසු දෙයක්. මේ වැඩසටහන මට ආරාධනා කරලා සම්බන්ධ වුණාට පස්සේ මුල් සති කිහිපය මට පුරුදු නැති ගතියක් දැනුණා. පොඩි චකිතයක් වගේ දෙයක්. නමුත් කාවිංග නිතරම මාව කවර් කළා. උදව් කළා. වරදක් හෝ නුහුරු ගතිය නොදැනෙන්න ඒක මට ලොකු උදව්වක් වුණා. අදටත් අපි දෙන්නා කතාබහ කරලා වැඩසටහන මෙහෙයවන අවස්ථා තියෙනවා.


කාවිංග නර්මදා එක්ක තියෙන යාළුකම කොහොමද..?


නිවේදනයට මට කලින් තමයි නර්මදා සම්බන්ධ වෙන්නේ. එයා වැඩකරමින් හිටපු මැක්ස් ටීවී එකට මම සම්බන්ධ වෙද්දී එයා ඉන් ඉවත් වෙලා දෙරණ ටීවී එකට ගිහින් තිබ්බා. පස්සෙ තමයි මට දෙරණ ට කතා කළේ. අපි දෙන්නා ඉස්සර ඉදලම නිතරම කතබහ නොකළට හොඳ යාළුවෝ. එකට වැඩසටහන් කරලා තියෙනවා.


බොහෝ දෙනෙක් හිතන්නේ වැඩසටහනට එන කලාකරුවන්ගේ පුද්ගලික තොරතුරු, ඡායාරූප, විඩියෝ එහෙම ඔබ හිතාමතා විකාශය කරමින් අපහසුතාවට පත් කරනවා කියලා..?


නර්මදා : රූපපෙට්ටියෙන් දකින කලාකරුවන්ගේ විස්තර ඔවුන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඒ අයට ආදරේ කරන රසිකයන් හරි කැමතියි කියලයි මම නම් හිතන්නේ. මම එහෙම කියන්නෙ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර අනූව. නමුත් අපි කොයිම මොහොතකවත් කලකරුවන් හෝ එන ආරාධිතයන් අපහසුතාවට පත් කරන්න කන්ඩෙම් කරන්න උත්සහා කරන්නේ නැහැ. හුදෙක් විනෝදාස්වාදය උදෙසා විතරයි.


කාවිංග : මේ වැඩසටහනට එන ආරාධිතයන් ගැන සතියකට පෙර ඉදලා සාමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුම්වත් කරනවා. එතකොට එන පිරිසගේ විනෝදාත්මක මොකක් හෝ දෙයක් තිබ්බොත් ඒ එන අයගේ හිතවත් අය අපිට හරි වැඩසටහන් නිෂ්පාදක චතුර හෝ අමල්ව දැනුම්වත් කරනවා. එහෙම අපි දැනුම්වත් වුණු පලියට අපිට තොරතුරක් ලැබුණු පලියට අපි ඒවා දාන්නේ නැහැ. අපි හැමෝම කතාබහ කරලා හානියක් නොවන ඒවා තමයි දාන්නේ. කලාකරුවන්ගේ ආත්මගරුත්වයට හානියක් නොවන කිසි දෙයක් අපි කරන්නේ නැහැ


එතකොට කාවිංග ඔය වගේ අවස්ථාව වලදි අපහසුතාවයට පත් වෙලා නැද්ද , තොරතුරු දුන්නු අය පසුව එය ප්‍රතික්ෂේප කරලා නැද්ද..?


අපහසුතාවයට පත් වුණු අවස්ථාව නම් ගොඩක් තියෙනවා. මට ඇගිල්ල දික් කරලා තියෙනවා. ඒ නිසා මට මොකක් හරි තොරතුරක් , ඡායාරූප, විඩියෝ ලැබුණොත් එය නිවැරදි කරගන්නවා වගේම දෙන කෙනාගේ වොයිස් මේල් එකක් ගෙන්න ගන්නවා. එහෙම දීලා අනේ මම නම් දුන්නේ නැහැ කියලා කියපු අය ඉන්න නිසයි මම නම් වගකීමකින් වැඩ කරන්නේ.


කාවිංග නම් දක්ෂ වගේම ජනප්‍රිය නළුවෙක්. එයා එක්ක රඟපාන්න නර්මදාට කැමැත්තක් නැද්ද..?


එයා එක්ක නෙමෙයි. මම කොහොමත් රඟපාන්න කැමති නැහැ . රංගනය කියන්නේ වෙනම විෂයක්. ඒකට කාවිංග දක්ෂයි. මම කැමති නැහැ .


කාවිංගට කොපි චැට් නිසා හිත් රිදවීම් ඇති වෙලා තියෙනවා කියලා ආරංචියි?


මගේ ජිවිතේ අමතක නොවන සිදුවීම් ගොඩක් වෙලා තියෙනවා මේ වැඩසටහන නිසා. මොකද එන කලාකරුවෝ නිසා මම අපහසුතාවට පත් වෙලා තියෙනවා. මගේ ඉවසීම අසීමිතව තියෙන නිසා ඉවසා දරාගෙන ඉදලා තියෙනවා. ඇතැම් අය හිතන්නේ බලන්නේ නැතුව ඔහේ කතා කරනවා. ඉන් හිත් රිදවිම් වෙනවද කියලා හිතන්නෙ නැහැ . මගේ හිත හරියට රිදිලා තියෙනවා. නමුත් ඉවසීමෙන් කටයුතු කරනවා. මොකද මම කිසි කෙනෙකු එක්ක තරහක් නැහැ; සමගියෙන් වැඩ කරන්නේ. කොපි චැට් වැඩසටහනට බොහෝ දෙනෙක් එන්නේ ආසාවෙන් කියන එකත් කියන්න ඕන.


කාවිංගට ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද..?


මට ටෙලි නාට්‍ය සදහා ආරාධනා ලැබෙනවා. නමුත් මම හිරු නාළිකාවේ නිත්‍ය නිවේදකයෙක් කියලා හිතලා මම ඉන්න නාට්‍ය ඇතැම් නාළිකාවලින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මොන නාලිකාවටද නාට්‍ය දෙන්නේ කියලා මුලින් කියන්න බැහැ නේ. ඒ නිසා මම හිතුවා මේ අමාරු කාලේ මම නිසා අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන් අපහසුතාවට පත් කරන එක සාධාරණ නැහැ කියලා. මම හිරු නාළිකාවේ නිත්‍ය නිවේදකයෙක් නෙමෙයි. ස්වාධීන කලාකරුවෙක්. බලමු ඉදිරියට හොඳ දෙයක් වෙයි කියලා හිතනවා.


මේ රටේ තත්ත්වය එක්ක බුද්ධි ගලනය වෙනදට වඩා වැඩි බවක් පෙනෙනවා, කාවිංග ප්ලෑන්


කරන්නෙත් විදෙස් ගත වෙන්නද..?


කොහෙත්ම නැහැ . මේ රට හදන්න නම් අපි ඉන්න ඕන. ඒ නිසා රටට යමක් කරන්න මම ලංකාවේ ඉන්න ඕන.


නොකියා කාවිංග කියන්නේ පියා වගේ දේශපාලනයට එනවා කියන එකද..?


දෙශපාලනයට එනවා. පොඩි පොඩි දෙවල් ටිකක් කරනවා. නමුත් දේශපාලනයට එන්න මේක නෙමෙයි කාලය.වෙලාවට ඒ ගැන හිතනවා.


නර්මදා කොහොමද දරුවෝ දෙන්නත් එක්ක ගෙවන ජීවිතේ..?


මගේ පුතාලා දෙන්නා එක්ක සතුටින් ජීවත් වෙනවා. නොසිතූ විදිහට මගේ ජීවිතේට ආව ප්‍රශ්න එක්ක මම මානසිකව කඩාගෙන වැටුණා නම් මම අද මෙ‍ෙහම ඉන්නේ නැහැ. හිත ශක්තිමත් කරගෙන දරුවෝ එක්ක ජිවත් වෙනවා. ලොකු පුතාගේ වයස අවුරුදු 8යි. එයාගේ නම ආදිත්‍ය. එයා ෙහාඳට ඉගෙන ගන්නවා. පොඩි පුතාගේ වයස අවුරුදු 3යි. නොවා තමයි එයාගේ නම. මම තමයි මගේ දරුවෝ දෙන්නගේ සියලු වැඩ කරන්නේ. එයාලව තනි කරන්නේ නැහැ . නිවාඩු වෙලාවට ඒ දෙන්නා එක්ක මම ට්‍රැවල් කරනවා.


මේ දෙන්නගේ වැඩත් එක්ක මගේ අම්මා, අක්කා, අයියා මට හරියට උදව් කරනවා. ජිවිතේ අත හරින්නේ නැතුව සතුටින් ජිවත් වෙන්න උත්සාහ කරනවා.


තාත්තා කෙනෙක් නැතුව දරුවෝ හදන එක බරක් නෙමෙයිද..?


ලොකු වගකීමක්. මගේ ජීවිතේ මම මුහුණ දුන් අත්දැකීම් එක්ක මම මගේ පුතාලා දෙන්නව හොඳට හදනවා. මොකද ඒ දෙනත් දවසක ලොකු වෙලා කසාද බඳියි. එතකොට මිනිස්සු කවුද කොහොමද ජීවත් වෙන්නේ කියලා එයාලා ඉගෙන ගෙන ඉන්න ඕන. ඒ නිසා මගේ ලොකුම ආසාව එයාලා යහපත් දරුවෝ කරන එක තමයි.


තනිකම මකා ගන්න, ජිවිතේ අර්ථවත් කර ගන්න ජිවිතේට අලුත් සහකරුවෙක් හොයා ගෙන නේද ඉන්නේ..?


ඔව්. මම දැන් සිංගල් නෙමෙයි. මට ආදරේ කරන්න මගේ ජිවිතේ තේරුම් ගත්ත කෙනෙක් මට ඉන්නවා. මගේ හැම දෙයකටම මට උදව් කරනවා. එයා ගැන විස්තර මම දැන්ම කියන්නේ නැහැ . තව ටික දවසකින් එයා කවුද කියලා දැන ගන්න ලැබෙයි.


ඔහු ඔබේ දරුවන් දෙදෙනාට හොඳ පියෙක් වෙයි කියලා හිතනවද..?


ඔය ප්‍රශ්නයට මම මෙහෙම උත්තර දෙන්නම්. මෙච්චරකල් මම මගේ ජිවිතේ ගැන හිතුවේ නැහැ. දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කවුද කියලා මම හිතුවේ. මම කොයිම මොහොතකවත් හිතුවේ නැහැ මට ආදරේ කරන මාව තෙරුම් ගත්ත කෙනෙක් මට ඕන කියන එක. මගේ ජීවිතේ වැරදුණේ එතැන කියලා මම අද තේරුම් අරන් ඉන්නවා. මට ආදරේ කරන කෙනාගෙන් ලැබෙන උපරිම ආදරේට මම උපරිමයෙන් ආදරේ දෙන්න ඕන. එයාව තෙරුම් ගන්න ඕන. දැන් මගේ ජිවිතේට ආ සහකරුවා බලාපොරොත්තු වෙන ඒ ආදරේ මම දෙන්නත් මම ආදරේ කරන්නත් මම උත්සහා කරනවා. එතකොට දරුවන්ටත් ඒ ආදරේ රැකවරණය ලැබෙයි.







Previous Post Next Post