ආදරේ ගොඩක්ම තියෙන්නේ අත්හරින තැන්වල -චතුරංග කොඩිතුවක්කු



චතුරංග කොඩිතුවක්කු කියන්නේ මේ දිනවල තරුණ තරුණියන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වෙමින් ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. චතුරංගව අපි මුලින්ම දැක්කේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වූ හදවතේ කතාව ටෙලි නාට්‍යයේ ආදරණිය අයියා කෙනෙක් විදියට. ඔහු සම්බන්ධ වී තිබෙන්නේ නිර්මාණ සුළු ප්‍රමාණයකට වුවත් මේ වෙද්දී ඔහුව නොදන්නා කෙනෙක් නැතිතරම්. මේ දිනවල හිරු නාළිකාවේ විකාශනය වන ළං වී ටෙලි නාට්‍ය හරහා අපේ ආලින්දයට එන්නේ විසල් තුළින්. 


 චතුරංග මොකද වෙන්නේ මේ දවස්වල?


මේ දවස් වල නම් හිරු නාළිකාවේ විකාශය වන "ළංවී" කියන නාට්‍යය එක්ක තමයි ඉන්නේ. ඊට අමතරව සුපුරුදු විදියට වෙළෙඳ දැන්වීම්, ගීත රෑප රචනාවල රෑගතකිරීම් එක්ක තමයි කාලේ ගෙවෙන්නේ.


"ළංවී" හි විසල් ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.


චතුරංග චරිත තෝරා බේරාගෙනද රඟපාන්නේ?


තෝරා බේරා ගැනීම් එක්ක තමයි නිර්මාණවලට දායක වෙන්නේ නම්. ඒ එක්කම එකවර වැඩ ගොඩක් බදාගෙන කරන්නත් මම ආස නැහැ.


චරිත තෝරා බේරා ගැනීම් කරද්දී වැඩියෙන් සැලකිලිමත් වෙන්නේ මොනවටද?


පිටපතට තමා මුල් තැන දෙන්නේ. ඒ එක්කම අධ්‍යක්ෂවරයා කවුද කියන එකත් මම බලනවා.


චතුරංග කියන්නේ කඩවසම් රංගන ශිල්පියෙක්නේ, මේ කඩවසම් බව චරිතවලට සීමාවෙලා ද තියෙන්නේ


එහෙම සීමාවීමක් වෙලා තියෙනවා. එක චරිතයක් කළාම ඒ චරිතයට කොටු වීමක් සහ ඇතැම් අයගේ මතයක් තියෙනවා කඩවසම් නම් ඔහුට අභියෝගාත්මක චරිත කරන්න අමාරුයි වගේ අදහස්. එහෙම වුණාම ඒ අය චරිතයක් දෙන්න බයද දන්නෙත් නැහැ. ඒ නිසා එහෙම සීමාවීමක් වෙලා තියෙනවා.


චතුරංගට විශ්වාසයක් තියෙනවද ඕනෙම චරිතයක් කරන්න පුළුවන් කියලා ?


ඔව්. මම කැමතියි විවිධ අභියෝගාත්මක චරිත කරන්න. එතකොට තමයි ඒ වැඩේ මට හරියට දැනෙන්නේ.


හදවතේ කතාවෙන් පස්සේ ප්‍රේක්ෂකයා අතරට එන්නේ ‘ළංවී‘ තුළින්,


මම හිතනවා නිතරම රූපවාහිනී තිරයේ පෙනී සිටින්න ගත්තම ප්‍රේක්ෂකයාට වුණත් එපා වීමක් වෙයි කියලා. ඒ නිසා මම කොහොමත් එක නිර්මාණයක් පොඩි කාලයක් නිදහසේ ඉඳලා තමයි තව නිර්මාණයක් භාර ගන්නේ.


ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක්ද?


මම මේ වෙනකම් වෙන වෘත්තියක් කරන්නේ නැහැ. කලාව තමයි මගේ වෘත්තීය වෙලා තියෙන්නේ. අපේ රටේ කලාව පවතින තැන එක්ක වෘත්තීය කලාකරුවෙක් විදියට සමහර නිර්මාණවලට දායක වෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒ තුළ රංගනය වගේම වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනාවලත් ඉන්න නිසා දැනට නම් ලොකු ආර්ථික අපහසුතාවක් ඇතිවෙලා නැහැ.


චතුරංග කියන්නේ විලාසිතාවලට මුල් තැන දෙන කෙනෙක්.


මම ගොඩක් කැමතියි ලස්සනට පිළිවෙළට ඉන්න. මම මගේ ශරීරය සමබරව පවතවාගෙන යන්න ජිම් යනවා. ඒ වගේම බොලිවුඩ් විලාසිතා තමයි අනුගමනය කරන්නේ. එහෙම නැත්නම් මමම මට ගැළපෙන විලාසිතාවන් කරනවා. විලාසිතා කරද්දී පාට ගැන ටිකක් සැලකිලිමත් වෙනවා. මගේ පෙනුමත් එක්ක ඕනෙම ඇඳුමක් ඇන්දම මට ඒ දේ ගැළපෙනවා.


රංගන ශිල්පියෙක් වෙන්නම ද හින මැව්වේ


පොඩි කාලේ ඉඳන්ම මම ගොඩක් චිත්‍රපට බලන කෙනෙක් ඒ නිසා ආසාව තිබ්බේ කලාකරුවෙක් වෙන්න.


පවුලේ විස්තර කිව්වොත්?


පවුලේ මමයි, අම්මයි, තාත්තයි. මම තමයි පවුලේ එකම ළමයා.


ගෙදර කලා පසුබිමක් තිබුණද?


නැහැ. ගෙදර කිසිම කලා පසුබිමක් තිබ්බේ නැහැ. ඒ අය හිතන්නෙත් නැතුව ඇති කවදාවත් මම කලාවට සම්බන්ධ වෙයි කියලා. ගොඩක් වෙලාවට ගෙදර කැමැත්ත තිබ්බේ මම වෛද්‍යවරයෙක් හරි නීතිඥවරයෙක් හරි වෙනවා දකින්න. නමුත් මට විශ්වාස දේ තුළ මම හැමදාම හිටියා.


පාසල් ගියේ


මම පාසල් දෙකකට ගියා. ගොඩගම සුභාරතී මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබලා පසුව කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා.


දැන් කලාවට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?


අවුරුදු හයක් වගේ. මම මුලින්ම වෙළඳ දැන්වීම්වල හිටියේ. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තුනක් වෙනවා.


ගෙවුණු කාලය ගැන තෘප්තිමත් ද?


ඔව් මම තෘප්තිමත්. මම හිතුවේ නැහැ මෙතරම් ඉක්මනින් ටෙලි නාට්‍යවල‍ට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. මේ තැනට එන්න කාලයක් තිස්සේ කැපවීම් කළා. දැනටත් මම රංගනය ගැන හැදෑරීම කරනවා. මට ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන අරන් හිමින් ගමනක් යන්න තමයි මට ඕනේ. මම ගොඩක් ප්‍රසිද්ධිය පස්සෙ යන කෙනෙක් නෙවෙයි.


සිනමාවට කොහොමද මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවද?


සිනමා අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙක් කතා කරලා තියෙනවා. නමුත් ලොකුවට අවස්ථාවක් තවම ලැබිලා නැහැ. මගේ ආසාව තියෙන්නේ සිනමාවට. ඒ නිසා ඉස්සරහට මම බලාපොරොත්තුවෙන් ඉන්නේ සිනමාවට වැඩි ඉඩක් වෙන්කරන්න. බලමු ඉතින් කාලයත් එක්ක ලැබෙන අවස්ථා අනුව.


ආදරය දකින්නේ කොහොමද?


ආදරය විවිධ ආකාරයෙන් දකිනවා. මම හිතන්නේ ගොඩක්ම ආදරේ තියෙන්නේ අත්හරින තැන්වල.


මේ වෙද්දී ආදරවන්තයෙක් ද?


ඔව්.


අපි ඒ ආදරය ගැනත් කියමු


ගොඩක් අය අපේ ආදර කතාව දන්නවා. ඇය මියැසි සංදීපනී. ඇයත් කලාවට සම්බන්ධයි. අපේ ආදර කතාවට දැන් අවුරුදු තුනක් විතර වෙනවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


රටේ තත්වය එක්ක ලොකු බලාපොරොත්තු නම් නැහැ. මේ වෙලාවේ රටේ හැම තරුණයෙක්ගෙම සිහින බොඳ වෙලා තියෙන්නේ. ඒ නිසා අද තියෙන වැඩ ටික අද හරියට කරන්න තමයි උත්සාහ කරන්නේ. බලාගෙන ඉන්නවා ඉස්සරහට මොනවද වෙන්නේ කියලා.


චතුරංගට ආදරේ කරන බොහෝ අය ඉන්නවා, ඒ අයට කියන්න යමක් ඇති?


අනිවාර්යෙන්ම, ඒ අයගේ ආදරය නිසා තමයි අපි මේ විදියට ඉන්නේ. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඒ ආදරයට. හැමදාම ඔය ආදරේ එක්ක මා එක්ක ඉන්න.






Previous Post Next Post