මම අද කොහේ ගියත් දැන හඳුනගෙන ගොඩක් දෙනෙක් කතා කරනවා - ශෂී ඇන්ජලීනා



ලංකාවේ නව පරපුරේ ගායක ගායිකාවන්ගේ මියුසික් වීඩියෝ අතරින් වැඩිම සංඛ්‍යාවකට නිරූපණයෙන් දායක වූ නිරූපණ ශිල්පිනියන් අතරින් ඉහළින්ම සිටින සුන්දර රුවකට හිමිකම් කියන ආදරණීයම චරිතයක් තමයි ශෂී ඇන්ජලීනා. ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිගේ නොදැක ඉන්න බෑගීතයෙන් අතිවිශාල ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට පුංචි තිරයටද  සම්බන්ධවී සිටිනවා. තම රංගන හැකියාව වෙනුවෙන් පසුගිය දා සම්මානයට ද පාත්‍රවෙන්න හැකියාව ඇයට උදාවෙනවා. 


ශෂී මුලින්ම කියමු ද පසුගියදා ලැබුණු සම්මානය ගැන ? 


2020 රයිගම් ටෙලීස් සම්මාන උළෙල නැගී එන නිළියට හිමි සම්මානය තමයි ලැබුණෙ. ඉතින් ඒ ගැන අප්‍රමාණ සතුටක් තියෙනවා. මොකද මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වෙද්දී අවුරුදු 10ක් වෙනවා. ඒ අවුරුදු 10 ඇතුළත මේ වගේ වටිනාකමක් ලැබීම ලොකු දෙයක්. හීනයක් සැබෑ වුණා කියලා තමයි හිතට දැනෙන්නෙ.


ඉතින් මේ සම්මානය ලැබුණු නිර්මාණය ගැනත් කියමු ?


සම්මානය ලැබුණේ සාලින් ද රත්නායක අධ්‍යක්ෂවරයාගේ ‘පෝර්ක් විදිය' නිර්මාණය වෙනුවෙන්. ඒ අපේ සැබෑ ජීවිතේ හා ගැටුණු කතාවක්. ඉතින් ඒ නිර්මාණය වෙනුවෙන් ලොකු ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා හිටියා. එහි මගේ චරිතය වුණේ මන්දාකිණි. ඒ චරිතය ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳ ගත්තා. චරිත ස්වභාවයට සහ චරිත රංගනයට ගොඩක් දෙනෙක් ආදරේ කළා. ඉතින් ලැබුණු ප්‍රතිචාර නම් විශිෂ්ටයි. 


සම්මානයකට පාත්‍ර වෙන්න අවස්ථාව ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණ ද? 


ලොකු බලාපොරොත්තුවක් නම් තිබුණෙ නැහැ. නමුත් චරිත රංගනය වෙනුවෙන් නම් හොඳම ප්‍රතිචාර තිබුණා. මට මේ චරිතය ගොඩ නගා ගන්න අධ්‍යක්ෂවරයා ඇතුළුව මේ කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ප්‍රවීණ, නවක හැම දෙනාම ලොකු ශක්තියක් වුණා. ඒ හැමදේම නිසා තමයි මට  මේ සම්මානය අතට ගන්න ලැබුණේ. ඉතින් ඒ ගැන කියන්න බැරි තරම් ලොකු සතුටක් තියෙනවා. මොක ද මේ නිර්මාණය වෙනුවෙන් රූගත කිරීම් කරන්න ලොකු කට්ටක් කෑවා අපි හැමෝම. රූගත කිරීම්  සිදුවුණේ කොවිඩ් වසංගතය දරුණුවටම තිබුණු කාලේ. ඉතින් අවදානමක් අරගෙන රංගන ශිල්පීන් ඇතුළු හැමෝම ඉතා සහයෝගයෙන් වැඩ කරගෙන ගියේ. සමහර දවස්වලට උදේ හයට රූගත කිරීම්වලට ගියාම  ගෙදර යද්දී පාන්දර දෙකයි, තුනයි, නමුත් ඒ හැමදේම අපි කළේ ලොකු වගකීමකින්. ආදරයකින්. ඒ නිසාම වෙන්න ඇති අපි කැප කරපු හැමදේකම ප්‍රතිඵලය ලබාගන්න හැකි වුණේ. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනෑ මාව මේ චරිතය වෙනුවෙන් දායක කරගත මෙහි අධ්‍යක්ෂ සාලින්ද රත්නායක මහත්මයාට. ඔහු මාව විශ්වාස කරලා මේ චරිතය භාරදීම ගැන ගොඩක් සතුටුයි. 



ශෂී ඇන්ජලීනා කියන්නෙ මියුසික් වීඩියෝ කලාව ඇතුළෙ කිරුළ පළන් යුවතියක්. ඔබ නැති මියුසික් වීඩියෝවක් නැති තරම් මම හරි නේද? 


ඔව්. ඇත්තටම මම මේ වෙද්දී මියුසික් වීඩියෝ 250කට අධික සංඛ්‍යාවකට වගේ දායක වෙලා තියෙනවා.  ක්ෂේත්‍රයට එන්නෙත් ඒ හරහානේ. ඉතින් තවමත් වීඩියෝවලට කරන ආරාධනාවල නම් අඩුවක් නැහැ. කොහොමත් මාසෙකට එක වතාවක් වගේ මම දායකවුණු වීඩියෝවක් එළි දක්වනවා. ඉතින් ඒ වෙනුවෙනුත් හොඳ ප්‍රතිචාර නම් තියෙනවා. 


මියුසික් වීඩියෝ නිරූපණයත් එක්ක බලදී රංගන අත්දැකීම කොහොම ද ශෂීට දැනුණේ ?


ඇත්තටම ඒක ලොකු අත්දැකීමක්. ඒ වගේම ලොකු වෙනසක්. මට කොහොමත් මියුසික් වීඩියෝවලටම සම්බන්ධ වෙලා වැඩ කරද්දී ඒකාකාරී බවක් දැනුණා. ඒ නිසාමයි මට පුංචි තිරයට සම්බන්ධ වෙන්න හිතුණෙත්. ටෙලිනාට්‍ය රංගනය හිතනවට වඩා ගොඩක් වෙනස්. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මියුසික් වීඩියෝවල නිරූපණයක් විතරත්න තියෙන්නෙ. නමුත් රංගනයේ දී ඊට හාත්පසින්ම වෙනස්. කතා බහ කරන විදිය, දෙබස් උච්චාරණය ඒ හැමදේම තියෙනවා. ඉතින් ඒක නිරූපණයට වඩා ලොකු වගකීමක්. මටත් ඒ අත්දැකීම ලබාගන්න ලොකු ආසාවක් තිබුණා.


නමුත් මුලදී නම් මම ඒ වෙනුවෙන් වැඩිපුර සම්බන්ධ වුණේ නැහැ. ඉතා සුළු නිර්මාණ කිහිපයකට විතරයි දායකත්වය ලබා දුන්නෙ. ටික කාලයක් නිහඬව ඉඳලා මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් අරගෙන තමයි ටෙලි නිර්මාණ රංගනයට අවතීර්ණ වෙන්න හිතුවේ. නමුත් හීනයක් තිබුණා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට වගේ සිනමා  ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙන්න. ඒ දෙකටම සම්බන්ධ වෙන්නත් මට ඇත්තටම අවස්ථාව ලැබුණා. ඒ ගැන ඇත්තටම සතුටුයි. 


ශෂී නිවේදනයටත් සම්බන්ධ වෙලා හිටියා නේද ? 


ඔව්. මම අවුරුදු 6 ක් විතර දෙරණ නාලිකාවේ නිවේදිකාවක් විදියට වැඩ කළා. ඒ වගේම ස්වර්ණවාහිනියෙන් වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන ගියා. නමුත් පසුගිය කාලෙ වසංගත තත්වයත් එක්ක ඒ ගොඩක් දේවල් නැවතුණා. දැන්නම් එක් එක් උත්සව ඇතුළු වැඩසටහන්වල නිවේදන කටයුතු කරගෙන යනවා. ආරාධනා ලැබෙන විදියට. 


මේ ලැබිලා තියෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නෙ ?


ඇත්තටම මාරම සතුටුයි. ඒ ප්‍රතිචාර ආදරය වචනවලින් විස්තර කරන්න බෑ. මේ ආපු ගමන් මගේ කවදාවත්ම රසික ආදරේ බිඳක්වත් අඩු වුණේ නැහැ. වැඩි වුණා විතරයි. මම අද කොහේ ගියත් දැන හඳුනගෙන ගොඩක් දෙනෙක් කතාබහ කරනවා. ඒ ප්‍රතිචාර ඒ ආශිර්වාදයන් මගේ මේ ගමනට ලොකු ශක්තියක්. ඉතින් ඒ ආදරණීයන් නිසා තමයි අපි අද මෙතන ඉන්නෙ.


ධනු විජේරත්න





Previous Post Next Post