ලංකාව දාලා යන්න හිතෙන්නෙම නැහැ - ලෝචනා ඉමාෂි




නිවේදනයෙන් කලා ලෝකයට පිවිය සිය රංගන හැකියාවෙන් පුංචි තිරය වේදිකාව සහ සිනමාව හරහා ප්‍රේක්ෂකාගාරයම උඩි යටිකුරු කළ ඇය ලෝචනා ඉමාෂි ගැන අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැහැ. ඇය හැඩකාර වගේම කටකාර රසික ආදරය නොඅඩුව දිනාගත්ත තාරකාවියක්. ඉතින් ඇයගේ නවතම තොරතුරු දැනකියා ගැනීමට සැලැල්ල අපි ලෝචනාව කතාබහකට එකතු කරගත්තා. 


කොහොමද මේ දවස්වල කාලය ගත වෙන්නේ?


රටේ තියෙන තත්වෙත් එක්ක අපිට කිසිම වැඩක් කරගන්න විදිහක් නැතුව ඉන්නේ. කොහෙවත් යන්න බෑ පෙට්‍රල් ටික නැහැ. සල්ලි තිබුණත් ගන්න අත්‍යවශ්‍ය බඩු නැහැ. ගෑස් නෑ. මගේ සැමියා, පුතා නෙදර්ලන්තයේ ජීවත් වුණත් මම ලංකාවේ තමයි ගොඩක්ම රැඳුනේ කලා කටයුතු නිසා. ලංකාව දාලා යන්න මට හිත දෙන්නෙම නැහැ. මම මගේ රටට පණ වගේ ආදරෙයි. මගේ රට අද දැඩිසත්කාර ඒකකයේ ඉන්න රෝගියෙක් වගේ පණ අදිනවා. රටක් පණ අදිනවා බලා ඉන්න සිදුවීම අපි හැමෝගෙම පවක්. මගේ පුතා නෙදර්ලන්තේ සැපට ජීවත් වෙනවා. ඒත් මගේ රටේ දරුවන්ට සැප සම්පත් සතුට හැමදේම නැතිවෙලා. මගේ රටේ දරුවෝ දුක් විඳිද්දී මගේ දරුවා සැප විඳිනවා කියලා මට අම්මා කෙනෙක් විදිහට සතුටු වෙන්න බැහැ. මම මගේ රට දාලා යන්න කැමති නැහැ. ඒත් දැන් නම් රටින් යන්නම යන්න හිතිලා තියෙන්නේ.


මොනවද අලුත් කලා කටයුතු?


වෙළෙඳ දැන්වීම් නම් කළා. ටෙලි නාට්‍යය නම් අලුත් නිර්මාණ මුකුත් කළේ නැහැ. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ වුණත් ඉස්සර වගේ නෙමෙයි, ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. හොඳ නිර්මාණ ලැබුණොත් කරනවා. කරපු චිත්‍රපට තියෙනවා ඉදිරියේදී තිරගත වෙන්න. ඊට අමතරව අලුත් නිර්මාණවලට මේ

වෙලාවේ අත ගැහුවේම නැහැ. මොකද පුතා නිසා මම ටික කාලෙකට නෙදර්ලන්තයට යන්න වෙනවා. 


පහුගිය කාලේ විවිධ කතා පැතිරුණා ලෝවනා විවාහයෙන් වෙන් වෙලා ලංකාවට ඇවිත් කියලා. ඒ අයට  දැන් ඒවට උත්තර හම්බවෙලා ඇති නේද? 


නිහඬ වෙලා ඉඳලා මම ඒවට පහුගිය මාර්තු මාසේ උත්තර දුන්නා. කොරෝනා නිසා මම අවුරුදු දෙකහමාරක් ලංකාවේ හිර වුණා. පුතයි මහත්තයයි හිටියේ නෙදර්ලන්තෙ. පුතයි මහත්තයයි පසුගිය මාර්තු ලංකාවට ආවා. අවුරුදු දෙකහමාරකට පස්සේ පුතා දැක්කම දැනුණු හැඟීම මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. අම්මා කෙනෙක් විදිහට දරුවාව ඇස් මානයේ දකින්න අතගාන්න සිපගන්න බදාගන්න ආසාව තිබුණා. ඒ ආසාව එන්න එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. දැනටත් පුතයි මමයි විතරක් ඉන්න ෆොටෝස් ෆේස්බුක් දැම්මොත් ඔයාගේ ෆොටෝස්වල හස්බන්ඩ් පේන්න නෑනේ, හබන්ඩ් පේන්න නැත්තේ ඩිවෝස් වෙලා වෙන්න ඇති කියලා විවිධාකාර කමෙන්ට්ස් වැටෙනවා. මම කිසිම වෙලාවක ඒවට පිළිතුරු ලබා දෙන්න යන්නේ නැහැ. මට මගේ පවුල සමාජ මාධ්‍යයේ පෙන්වන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි සතුටෙන් ආදරෙන් ඉන්නවා.මම රසිකයන් අතරට යන්නේ කලාකාරිනියක් විදිහට. මම කියන්නේ කලාකාරිනියකගේ කලාව රසවිඳිනවා ඇරෙන්න පෞද්ගලික ජීවිතේ රසවිඳින්න යන්න අවශ්‍ය නැහැ. 


දැන් පුතාට වයස කීයද? 


දැන් ලොකු චන්ඩියෙක්. පුතාට දැන් අවුරුදු 6 සම්පූර්ණයි. එයා පාසල් යන්නේ නෙදර්ලන්තේ. දරුවා ලංකාවේ ඉන්නවට වඩා ඒ රට තුළ ඉතාම හොඳ අධ්‍යාපනයක් ලබනවා කියලා මම විශ්වාස කරනවා. මාර්තු ලංකාවට ආවෙත් පාසල් නිවාඩුවට. ලංකාවට ඇවිල්ලා තාත්තයි පුතයි නැවත නෙදර්ලන්තෙට ගියා. අගෝස්තු නිවාඩුවට පුතා මාස එකහමාරකට විතර ලංකාවට එනවා.


ලෝචනා මෙදා පාර නෙදර්ලන්තේ යන්නේ දිගටම ඉන්නද? 


ඒක ඉතින් හරියට කියන්න බැහැ. ඒ වෙනකොට තියෙන පසුබිම එක්ක තමයි මම එහේ රැඳෙන කාලය තීරණය වෙන්නේ.... හස්බන්ඩ් ට දැන් පුතාව තනියම බලාගන්න අමාරුයි. එයා ළඟ මම ඉන්නම ඕන කාලේ දැන්.... ඒ නිසා මට නෙදර්ලන්තේ ටික කාලයක් ඉන්න වේවී. 


පෞද්ගලික වැඩ කටයුතුත් එක්ක කලාව අතහැරිලම යාවිද? 


සැමියා නම් මට නිතරම කියනවා කලාව අතඇරලා දාලා එන්න කියලා. ඒත් ඒක හරි ගියේ නැහැ. ඉස්සරහටත් ඉතින් ඒකම තමයි කලාව නම් අතහරින්නේ නැහැ. මම රඟපෑවත් නොපෑවත් ලැබෙන ප්‍රේක්ෂක ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ප්‍රේක්ෂක ආදරය තමයි හැමදාම කලාකරුවන් විදිහට අපිව තෘප්තිමත් කරන්නේ. ඒ ආදරේට හැමදාමත් ආදරෙයි.


 නදීශා අතුකෝරළ





Previous Post Next Post